Back
/ 35
Chapter 3

Part 3

සීමාවෙන් එහා

"අම්මේ... මං ආවෝ!!"

සපත්තු දෙකයි බෑග් එකයි සාලෙන් හලාගෙන මම කෑගහගෙනම කුස්සියට දිව්වා. හප්පේ සුවඳ...අම්මා මාලු මිරිස් හොදි හදනවද කොහෙද සුවඳ එනවා කෑම කාමරේටම.

මං හරි...! රෑට කන්න මාලු මිර්ස් හොදි තමා...මං හොද්ද හැඳිගගා පාඩුවේ හිටපු අම්මගෙ උරහිසට පොඩි තට්ටුවක් දැම්මා.

"චූටි පුතා ආවද?"

"ම්හ්ම්..."

මං පොඩි එකා වගේ අම්මගෙ පිටිපස්සෙන් හේත්තුවක් දාගන්න ගිහාම අම්මා කෑගැහුවා.

"ඊක්කා මේ...මම නාලා ඉන්නේ. දාඩිය පෙරාගෙන ඇවිත් ඇලෙන්නැතුව නාගෙන එන්න ගිහින්."

හප්පේ ඉතින් එයාගෙ ගෑස්. නාලා වගේ තමා...අම්මා කොණ්ඩෙ ගාන අලුත් කරපිංචා ෂැම්පු එක මාරම සුවඳයි. අම්මා නාන වෙලාවට ඒක ගාද්දි සුවඳ එනවා ගෙදර කොහෙ හිටියත්. දැනුත් ඒ සුවඳ එනවා කොණ්ඩෙන්. ආය ඉතින් අම්මා නාලා ඇඟට කොලොන් හලාගනවා, ඇඳුමට පවුඩර් හලාගන්නවා, ඔය ඔක්කොම සුවඳයි මාලු මිරිස් සුවඳයි මික්ස් වෙලා මට නිකන් අමුතු කරකැවිල්ලක් ආවා.

"හා අනේ ඉතින්...ආවා විතරනේ."

මම පොඩි කණු කුණුවක් දාලා කුස්සියේ බංකුවෙන් ඉඳගත්තා.

"අයියා කතා කරාද අම්මෙ?"

"ම්ම්...ලෙක්චස් යන්න ලෑස්ති වෙනවා කියලා කිව්වෙ."

"ආ...මාත් කතා කරන්නම්කො පස්සෙ. මම නාලා එන්නම් එහෙනම් ඈ."

"හා හා. ඔයා ආසා උඳු වඩේ ඇති ඇවිත් කන්නකො. මම තේ හදන්නම්..."

මම අම්මා ආයෙ කෑගහන්න කලින් කම්මුලෙන් ලාවට කිස් එකක් තියන් උඩ තට්ටුවේ මගෙ කාමරේට ආවා. මම ඇඳුම් මාරු කරලා නාලා කියලා කෑම කාමරේට ඇවිත් උඳු වඩේ එකත් කකාම කුස්සියට ගියා.

"ආ චූටි පුතා...වතුර උණු වෙනවා ඉන්න මම ඔයාටත් එක්ක තේ හදන්නම්."

"ඉන්න ඉන්න අප්පච්චි මම හදන්නම්-"

"නෑ නෑ... අද චූටි මුලින්ම කැම්පස් ගිය දවසනෙ. ඉඳගන්නකො අදට මම හදලා දෙන්න."

"ම්ම් හාකො එහෙනම්..."

කවුරුහරි හදලා දෙනවනම් මාත් කැමති ඉතින් ඇත්තම කිව්වොත්. මම ඒ දෙන්නටත් උඳුවඩේ කට ගානෙ කවලා ඇවිත් ආයෙම බංකුවේ කකුල් දෙකත් පද්ද පද්ද ඉඳගත්තා.

"කොහොමද චූටි පුතා ඉතින් අද...?"

"තාමනම් ඉන්ග්ලිශ් කෝස් එකනෙ අම්මෙ. ආය ශෝ එක ගැන කතා කරගත්තා අද."

"ඔයා ඉතින් සිගින්නෙ කොහොමත් නේ...?"

අප්පච්චි අහද්දි මම හිනාවෙලා ඔලුව වැනුවා.

"ඔව්...මට සෝලෝ අයිටම් එකක්ම දුන්නා."

"ඇත්තට?!?"

"ඔව් අම්මෙ...ඒ ක්ලාස් එකේ ගොඩක් අය මාව දන්නවත් එක්ක. එයාලම තමා සජෙස්ට් කරේ."

"මම දන්නවනෙ ඉතින් මගෙ කොල්ලා දස්සයා කියලා..."

අප්පච්චි මට තේ එක දෙන ගමන් ඔලුව අවුස්සලා කියද්දි මම ගොන් පහේ හිනාවක් දැම්මා.

"මේ...අම්මෙ."

"ම්ම්..."

"මට හෙට ඉඳන් වැඩිපුර කෑම එකක් දෙනවද...?"

මම ශේප් එකේ වැඩි ගාණක් නැතුව ඇහුවට මොකද සීඅයිඩී ටයිප් ඇස් හතරක් මගෙ දිහාට යොමුවුණා. මම පාඩුවේ එළිය බලාගෙන තේ එක බොන්න ගත්තා.

"ඒ කාටද? ඕවට ඉතින් මේ පේරා වලට වගේ දුර ළමයි එහෙම එන්නෑනෙ..."

"එහෙමනම් නෑ තමා අම්මෙ...ඒ වුණාට ඉන්නවා බෝඩ් වෙලා ඉන්න එක්කනෙක්. ඔයා දෙන්නකො කෑම එකක්. හා බෑද...?"

මම සුපුරුදු පොඩි එකාගෙ හුරතලේ දාද්දි අම්මට හිනා ගියා.

"දෙන්නම් අනේ...ඕක මහ දෙයක්ද?"

"මේ මාලි...හොඳට බත් එක බැඳලා දෙන්න ඈ. ඔය කවන්න යන්නෙ සමහරවිට අපෙ අනාගත බෑණට වෙන්නත් බැරි නෑ."

අප්පච්චි කිව්වත් එක්කම පාඩුවේ බිබී හිටපු තේ එක මගෙ නහයෙන් කටින් ආවා. ඇයි අප්පා මෙහෙම කතා හදන්නෙ?? අර කෙල්ලො දෙන්නා හොඳයි මේ නාකි ජෝඩුවට වඩා බලන් ගිහාම.

"අනේ මොකක්ද අප්පච්චි!! මනුස්සකමට බත් එකක් ගිහින් දෙන්න ගිහාම ඔයාලා..."

ඒකටනම් අම්මගෙත් කට කොනක හිනාවක් යනවා මම දැක්කා. හා හා හිනාවෙන්නකො දෙන්නම එකතු වෙලා.

"ඉස්සර මනුස්සකමට එක්කනෙක් මට හැමදාම බත් එකක් දෙන්න ඇවිත් තමා මාත් ගොඩ ගියේ...නේ මාලි?"

"ම්ම්..."

දෙන්නම මනමාල හිනාවක් දාගෙන කියද්දි තමා මටත් එයාලගෙ සුප්‍රසිද්ධ ලව් ස්ටෝරි එක මතක් වුණේ. අම්මයි අප්පච්චියි දෙන්නම පේරා කැම්පස් එකේනෙ. අප්පච්චි කොළඹ, අම්මා මෙහෙ නුවරමයි. කලින් අම්මලා ඉඳලා තියෙන්නෙනම් පැණිදෙණියෙ.

අම්මයි අප්පච්චියි දෙන්නම සයන්ස් ෆැකල්ටි එකේ එක බැච් එකේ. දෙන්නා පොඩ්ඩ පොඩ්ඩ ෆිට් වෙන කාලෙ අම්මා අප්පච්චිටත් එක්ක බත් එකක් අරන් එනවලු ගෙදරින්...ඒක තමා ඔය දැන් කිව්වෙ. පස්සෙ ඉතින් යාලු වුණාට පස්සෙ මොකටද බත් දෙකක්?? අම්මා එක ලොකු බත් එකක් බැඳන් එනවලු දෙන්නටම.

කොහොමහරි ග්‍රැජුවේට් වුණත් එක්කම වගේ එයාලා මැරි කරලා. ඒත් එක්කම වගේ තමා අපි දැන් ඉන්න ගෙදර පදිංචියට ඇවිත් තියෙන්නෙ. අප්පච්චි මුලින්ම ඇසිස්ටන්ට් ලෙක්චරර් ඉඳලනෙ පේරා වලම...ඉතින් හිඳගල හිටියම ළඟයිනෙ යන්න එන්න.

බැඳලා අවුරුදු දෙකකින් විතර අයියව හම්බෙලා. ඊට ටික කාලෙකට පස්සෙ තුන්දෙනාම ඇමරිකාවට ගිහින් තියනවා අප්පච්චිට PhD කරන්න. අම්මා කොහොමත් ඉස්සර ඉඳන් ආසාවෙන් ඉඳලා තියෙන්නෙ ටීචින් වලට. ඉතින් එහෙ ගිහිල්ලත් ටීචින් තමා කරලා තියෙන්නෙ.

ඉතින් මාව හම්බෙලා තියෙන්නෙ එහෙදි...මම අද සින්දුවේ 'He likes my American smile' කෑල්ල ශ්‍රී ලංකන් කරන්න ගිහිල්ලත් ආයෙ ඔරිජිනල් එකම කිව්වෙ ඒකයි. පොඩ්ඩක් විතර ඇත්තනෙ ඉතින් ඒකත්.

අප්පච්චි PhD කරාට පස්සෙ ආයෙම අපි ඔක්කොම මෙහෙ ආවා. ආයෙම කිව්වට මම ඉතින් ආවෙ මුලින්ම. ඊට පස්සෙ අප්පච්චි පේරා වලම සීනියර් ලෙක්චරර් වුණා, ඩීන් වෙලත් හිටියා සයන්ස් ෆැකල්ටි එකේ. දැන්නම් රිටයර්ඩ්. අම්මා දැන් වයිස් ප්‍රින්සිපල් කෙනෙක් නුවර ලොකු ඉස්කෝලෙක.

අවුරුදු ගාණක් ඇමරිකාවෙ හිටපු උගත්තු දෙන්නෙකුට අපෙ කමියුනිටි එක අමුත්තක් වෙන්න බෑනෙ නේ? මම ඒ දෙන්නට ඒ ගැන කිව්වෙ ඒ ලෙවල් ඉවර වෙලා ගෙදර ඉන්න කාලෙ. කියපු ගමන්මනම් ඒ දෙන්නා ශොක් වුණා. වෙන මොකටවත් නෙවෙයි...මේ ලංකාවෙ සාමාන්‍යයෙන් ඒ වගේ කෙනෙක්ව සමාජෙ පිළිගන්න විදිහ අමුතුවෙන් කියන්න ඕනේ නෑනෙ. ඒ දේවල් වලට මට මූණ දෙන්න වෙයි කියන එකට.

ඒ ඇරෙන්න උඹ අපෙ පුතෙක්ද, උඹව හැදුවටත් ලැජ්ජයි, ආයෙ ඔය කටින් අම්මා අප්පච්චි කියන්නවත් එපා වගේ සාමාන්‍යයෙන් ඇහෙන දේවල්නම් ඒ දෙන්නගෙ කටින් පිටවුණේ නෑ.

"අපි දෙන්නා මේක පිළිගත්තට සමාජෙ මේ දේවල් පිළිගන්නෑ චූටි පුතා...එදාට ඔයා 'එයත්' එක්ක මේ දේවල් වලට මූණ දෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕන. අපි ඔයත් එක්ක ඕන දේකට ඉන්නවා. ඒත් මෙහෙම දේකදි අපිට වුණත් ඔයාට සපෝට් කරන්න පුලුවන් සීමාවක් තියනවා. කවදාහරි ඒ කවුරු වුණත්...ඔය දෙන්නා මේ ගමන යන්න ඕන තනියම. තේරුණාද?"

අම්මයි අප්පච්චියි එදා මට කිව්වෙ එච්චරයි. අයියත් දැන් PhD කරන්න ඇමරිකාවෙ ගිහින් ඉන්නෙ. ඒ නිසා මේවා එයාටත් අලුත් දේවල් නෙවෙයි. වෙන මොන දේ නැතත් මගෙ පවුල, මගෙ හොඳම යාලුවෝ වෙනසක් නොකර මාව පිළිගන්න තරම් මම වාසනාවන්තයි.

"චූටි මම හෙට ඉඳි ආප්ප හදන්න ඉන්නෙ කමක් නෑනෙ...?"

"අපෝ කමක් නෑ අම්මෙ. කොහොමත් ලංකාවෙ කෑම කන්න පුරුදු වෙන්න එපැයි."

අනවශ්‍ය තොරතුරකුත් පිටවුණාද මන්දා...

"ඒ කිව්වෙ...ඇයි බෑණා පොඩ්ඩ ලංකාවෙ නෙවෙයිද?"

"නෑ එයා- අනේ අප්පච්චි!! නවත්තගන්නකො ඕක...!"

"හරි හරි ඔයා කියන්නකො චූටි පුතා..."

අම්මා මෙතන රණ්ඩු බේරන්න හැදුවට එයත් ඉන්නෙ හිනාව නවත්තගෙන කියලා මට තේරෙනව.

"මගෙ යාලුවා UK ඉඳන් ළඟදි ඇවිත් තියෙන්නෙ..."

මම යාලුවා කියලා බර කරලා කියද්දි අප්පච්චිට පොඩි කැස්සක් ඇවිත් වතුර එකකුත් අරන් බිව්වා.

"හා හා මම රසට කිරි මාළු හොද්දකුත් එක්ක හදන්නම්කො...නැන්දම්මගෙ කෑම වලට රහ වැටෙන්න."

"ඒ පාර ඔයත් පටන්ගත්තද...?? අනේ මම යනවා."

මම කෝප්පෙත් හෝදලා ගස්සගෙන එද්දි දෙන්නම හයියෙන් හිනාවෙනවා මට ඇහුණා. ගස්සගෙන ආවට ආයෙ කන්න යන්න එපැයි. කමක් නෑ තව වෙලා තියනවා...තාම රෑ හත හමාරට වගේනෙ. මම ඉතින් පොතත් අරගෙන ඇඳෙන් ඉඳගත්තෙ ඒකවත් කියවන්න. ලොකු හුස්මක් අරන් මම චැප්ටර් ටූ පෙරළුවා.

අනේ විදුර් බූරුවො...උඹ ලවන්ව මවාගෙන හිටියට ඔය ඉන්නෙ ලවන් නෙවෙයි. කෝලම් නොකර කතාව කියවපන්.

මගෙ ඔලුව ඇතුළෙ එකා කෑගහපු නිසා මම තීරණය කරා ඕන මඟුලක් කියලා දිගට කියවන් යන්න. ඇත්ත තමානෙ ඉතින්...මම බලෙන් ලවන්ව මවාගෙන හිටපු පළියට කතාව කියවන්නැතුව ඉන්නද??

කියවන්න කියලා ගත්තට ඉතින් පිටු දෙකයි කියවන්න හම්බුණේ...ෆෝන් එක රින්ග් වුණා. දන්නැති නම්බර් එකක්...මේ රෑ?

"හෙලොව්..."

"හෙලෝ විදුර්..."

කටහඬ අහපු පමාවට මට පොඩි හිනාවක් ආවා. මම පොතත් පැත්තකින් තියලා බැල්කනි එකට ඇවිත් අත් වැටට හේත්තු වුණා.

"කවුද මේ...මම නම්බර් එක දන්නෑනෙ."

"නම්බර් එක දැනගන්නම ඕනද මාව අඳුරගන්න ම්ම්?"

මෙයාගෙ ෆෝන් එකෙන් කතා කරද්දි කටහඬ තවත් ගැඹුරුවට ඇහෙනවනෙ අප්පා...නිකන් මොකක්ද මොකක්ද වගේ.මම දබර ඇඟිල්ලෙන් වැටට පොඩි තට්ටුවක් දාන ගමන් තොලක් හපාගත්තා.

"නම් කියන්නැතුව අපිනම් අඳුරගන්න දන්නෑ ඉතින්...මොකෝ ඔයා මයිකල් ජැක්සන්ද එහෙම අඳුරගන්න."

"මම ඔයාගෙ ඉන්ග්ලිශ් සර් කතා කරන්නෙ..."

ලවන් කියද්දිම මට හයියෙන් හිනාගියා. එයාටත් ඒකට හිනා යනවා මට එහා පැත්තෙන් ඇහුණා.

"ඉන්ග්ලිශ් සර් මොකෝ ඉතින් මේ මහ රෑ...?"

"ඔයා මේකට කියන්නෙ මහ රෑ කියලද විදුර්?? තාම අටටවත් නෑ..."

"අනේ මේ ඉන්න...මම කැම්පස් එකට ගිහින් කියනවා හරිද සර් මට රෑට රෑට කතා කරනවා කියලා."

"කියන්න ඉතින්...ඊට පස්සෙ ආයෙ කතා කරන්න වෙන්නෑනෙ කොහොමත්."

හපොයි...නෑ එහෙම වෙන්න ඕනෙ නෑ ඉතින්.

"ඇයි මොකෝ කට වැහුණෙ...ම්ම්?"

"මුකුත් නෑ...මෙහ් මගෙ නම්බර් එක කොහෙන්ද?"

"ස්ටුඩන්ට් ඩීටේල්ස් තියනවනෙ ඉතින් මං ගාව..."

"ඔයා හැම ස්ටුඩන්ට් කෙනෙක්ටම මෙහෙම කතා කරනවද ඉතින්...?"

"නෑනෙ...විශේෂ අයට විතරයි."

සැක්...මට දැනෙනවා ආයෙම මගෙ කම්මුල් රෝස පාට වෙනවා. අනික එයාගෙ ෆෝන් එකෙන් ඇහෙන කටහඬත් එක්ක ඒ කියන දේවල් හෙනම අමුතුයි. මට ලැජ්ජයි...

"විශේෂ අය ගොඩක් ඉන්නවද..?"

"විදුර්...ගුටි කන්න යන්නෙ දැන්නම්. දැන් ඇති ඔය වල්පල් ප්‍රශ්න ඇහුවා."

මට ආයෙමත් හිනා යන්න ආපු නිසා මම තොලක් හපාගත්තා.

"වේවැලෙන්ද ඉතින් ගහන්නෙ..? ඔයා සර්නෙ කොහො-"

"විදුර්...!"

මෙයා මේ සද්ද දැම්මට එයත් හිනාවෙනවා කියලා මට තේරෙනවා. ඒ වුණාට දැන් ඇති වගේ කෝලම් කරා.

"ම්ම්...කියන්න."

මම පොඩ්ඩක් සොෆ්ට් විදිහට අහද්දි ලවන් යන්තම් හිනාවෙනවා මට ඇහුණා.

"ඔයා ලස්සනට සින්ග් කරනවනෙ...මම අද ඔයාගෙ තව වීඩියෝස් බැලුවා."

ලවන් ඒක කියපු විදිහට ආයෙත් මම රතු පාට වුණා. මට ඒකට කියන්නවත් දෙයක් හිතාගන්න බැරිවුණා ඇත්තටම. එයා මගෙ පෆෝමන්ස් බලලද...?

"ත්-තෑන්ක්ස්..."

"මට ආසම හිතුණෙ ඔයා දවසක් ඒවි කියපු එකට..."

"එහෙමද...ඇයි ඒ?"

"දන්නෑ...ඔයා පොඩ්ඩක් හිතලා බලන්නකො. ඒ සින්දුවම ලස්සනයි ඒත්- ඒ ලයින් එකට මම ගොඩක්ම ආසයි."

"දවසක් ඒවි අපිත්, අපේ හීන වලට යාවී...ඒ හැම මොහොතේ ළඟින්, ඔබ හිටියොතින් ඇති..."

මම රහසින් වගේ ඒ ලයින් එක කියද්දි තප්පර ගාණක්ම ලවන් මුකුත් නොකියා හිටපු නිසා මම ආපහු කතා කරා.

"ලවන්...?"

"ම්ම්..."

"මොනවාහරි කියන්නකො...ඇයි කතා කරන්නැත්තෙ?"

"ඔයාට කවදාහරි කවුරුහරි ගැන එහෙම හිතිලා තියනවද විදුර්...?"

මම ඒකට උත්තරයක් දෙන්න ටිකක් වෙලා ගත්තා. මීට කලින්...? නෑ එහෙම හිතිලා නෑ...ඒත් මම කොහොමද එයාට කියන්නෙ ළඟදි ඉඳන් එහෙම හැඟීමක් මෝදු වෙනවා කියලා?

"මම- මම දන්නෑ ලවන්...සමහරවිට ඉස්සරහට එහෙම හිතෙයි."

"ඇයි ඉස්සරහට...?"

ලවන් ඒක ඇහුවෙ දඟකාර විදිහට. ඔව් ඉතින්...නොතේරෙන්න බෑනෙ මොකක්ද මම මීන් කරන්නෙ කියලා.

"අනේ බූරුවො..."

"ලෙක්චරර්ට මූණට බූරුවා කියන කෙනෙක් දැක්කමයි මං මේ..."

"ඔයාට ඒ වෙලාවට තමානේ ලෙක්චරර් කම් මතක් වෙන්නෙ?? රෑට රෑට මල් කඩන්න තියාගත්තම ඒවා මතක් වෙන්නෑ..."

හෝව්ව්ව්ව් මොකක්ද මං ඒ කිව්වෙ?? මොකක් වුණත් කියලා ඉවරනෙ.

"මල් කඩන්න?? අපි දැන් මේ-"

"නෑ නෑ මං එහෙම එකක් කිව්වෙ නෑ ඔයාට එහෙම එකක් ඇහුනෙත් නෑ හරිනෙ? හරිනෙ??? එහෙම එකක් වුණේ නෑහ්...!"

"ම්ම්...හා එහෙම එකක් වුණේ නෑ."

"ඒකනෙ...වුණේ නෑ."

"ඉතින් ඔයා මොකද කරන්නෙ...?"

"මම පොත කියව කියව හිටියෙ..."

"ඔහ්...එහෙමද?"

ඒක කිව්ව ගමන් එයාගෙ කටහඬේ උද්‍යෝගෙ අඩුවුණේ ඇයි කියන්න මං දන්නෑ. එයාමනෙ මේ පොත ලස්සනයි ගන්න කියලා කිව්වෙ. ඉතින් එහෙම තියෙද්දිත්...? අනික අද උදේත් ඔය ගැන මගෙන් ඇහුවා මට හොඳට මතකයි.

"ඇයි ලවන්...?"

"ඇයි...මුකුත් නෑ."

"ඔයා- එක පාරට වෙනස් වුණා වගේනෙ."

"අනේ නෑ ළමයො...මෙහ් දැන් ඔයා දිගටම ඕකෙ මාවද මවාගන්න යන්නෙ?"

"ඕ ඇයි...?"

මම වැලමිට අත් වැටට තියන් හේත්තු වෙලා පස්සත් දික් කරගෙන පොඩි මනමාල හිනාවක් දාන් ඇහුවා.

"ඕකෙ ඉස්සරහට තව ගොඩක් දේවල් වෙන්න තියනවා...ඒවටත් මාව මැවිලා පෙනෙයි එතකොට."

ඕහ්...එහෙමත් එකක්ද? මටනම් අවුලක් නෑ...අර ඉසකුඩිච්චිය මවාගන්න බෑ හැබැයි ඒත් එක්ක.

"මටනම් අවුලක් නෑ ඉතින්..."

මම තව ටිකක් අවුස්සන්න කියලා හිතන් කිව්වා.

"ආසා ඇති..."

"ආසයි නේන්නම්..."

"විදුර් ඔය කියන ඒවා හොඳට හිතලද කියන්නේ?? ඔහේ කියවනවා හිතට එන හැම එකම..."

ලවන් හයියෙන් හිනාවෙවී කියද්දි මටත් පොඩි ලැජ්ජා බයක් ඇතිවුණා. ඇත්ත තමා...පොඩ්ඩක් කට පාලනේ කරගන්න ඕනෙ.

"වැඩිය ගණන් ගන්න එපා ඉතින් දන්නැද්ද...වයසෙ වැරැද්ද."

මම කියද්දි ලවන් ආයෙම හිනාවුණා.

"ඒක නෙවෙයි...දැන් කොච්චර විතර කියෙව්වද ඉතින්?"

"මොකද අනේ ඕක ඔච්චර අහන්නෙ?? ඔයා රෙකෝඩ් තියාගන්නවද මගෙ රීඩින් ස්පීඩ් එක ගැන...?"

නෑ ඇත්තනෙ ඉතින්...අද උදෙත් ඇහුවා. හැබැයි ආපහු මට අනිත් පැත්තට හම්බුණේ ලොකු හිනාවක්.

"නෑ ඉතින් මම නිකන් ඇහුවෙ...කොච්චර විතර කල් යයි වගේද ඉවර කරන්න?"

"ම්ම්...මේකෙ චැප්ටර්ස් පනහක්ද කොහෙද තියනවනේ? මාස දෙකක්වත් යයි මේ තියන වැඩත් එක්ක."

"මාස දෙකක්...විතරද?"

විතරද අහන්නෙ?? හරිනම් ඒ වැඩිත් එක්ක. මම සති දෙකෙන් ඕනම පොතක් කියවලා ඉවර කරන කෙනෙක්. මේ පොත අම්බානට ලොකුයි හැබැයි...ඒ නිසා ශුවර් මාස දෙකක්වත් යනවා.

"විතරද අහන්නෙ?? පිස්සුද අනේ...? ඔයාට ශුවර්ද ලවන් ඔයා පොත් කියවනවා කියලා?"

මම ඇහුවෙ හිනාවෙලා වුණත් ලවන්ගෙන් සද්දයක් තිබුණෙ නෑ...එයා මොනවාහරි කල්පනා කරනවා වගේ.

"ලවන්..."

"අ- ඇයි...?"

"ඔයා ඇයි සැරින් සැරේ ඔහොම වෙන්නෙ? මොකක්හරි ප්‍රශ්නයක් තියනවද...?"

"න්-නෑ...මට පොඩි බඩ්ඩක් අහන්න තියනවා. ඒක කල්පනා කරේ..."

"මොකද්ද ඉන්ග්ලිශ් සර්ට අහන්න තියන බඩ්ඩ...?"

මම කිව්වා විතරයි ලවන්ට එක පාරට හිනාවක් එළියට පැන්නා.

"විදුර්...කෑවනෙ මූඩ් එක."

ඒ ගමන හිනාගියේ මට. හරි හරි දැන්නම් ඇත්තටම අනම් මනම් කියවිලි ඉවරයි ඈ...

"හරි අහන්නකො ඔය බඩ්ඩ."

"මේ...ඔයා කීයට විතරද කැම්පස් එකට එන්නෙ?"

"අදනම් අට වෙද්දි ආවා ලවන් හෙටත් එහෙම පුලුවන් වෙයි...ඇයි?"

"එහෙනම් ආපු ගමන් ක්ලාස් එකට එනවද...?"

ඕකද දැන් ඔය මහලොකු බඩ්ඩ?? කමක් නෑ ඉතින්... ඒ අහපු විදිහට බෑ කියන්න පුලුවන්ද...? මම මනමාල හිනාවක් දාගෙන බිම බලාගත්තා.

"ඒ මොකෝ...?"

"ආයෙ ඉතින් ප්‍රශ්න අහන්න තියාගත්තනෙ..."

"හරි හරි එන්නම්..."

මම ආයෙත් තොලක් හපාගෙන කිව්වා. මේ හපන හැපිල්ලට මගෙ ෆස්ට් කිස් එකට කලින්ම මොකක්හරි වෙනවා තොල් දෙකට.

මම ඒ වෙලාවෙ වැටට හේත්තු වෙලා කාමරේ පැත්තට හැරිලා හිටියෙ. එක පාරට දොර පැත්තෙන් ආපු ෆ්ලෑශ් එළියට මගෙ ඇස් නිලංකාර වෙලා ගියා. මේ මොන-

"හප්පේ සෝක් හිනාව ඈ...මනමාලයෙක්ගෙවත් දැකලා නෑ මෙහෙම මනමාල හිනාවක්."

"අප්පච්චි...!!"

"ආ චූටි පුතා කෑම ලෑස්ති පහළට එන්න..."

මම කෑගහපු එක තඹේකට ගණන් ගන්නැතුව කියපු අප්පච්චි කාමරේ දොරත් බාගෙට වහගෙන පහළට ගියා.

"මාලි...මේ එන්නකො බඩ්ඩක් පෙන්නන්න!"

යසයි...මෙච්චර වෙලා හිතුවෙ කාමරේ දොර වහලා කියලනෙ බලද්දි ඒක හායි ගාලා ඇරගෙන කෝලම් කරලා තියෙන්නෙ. දැන් ඉතින් කෑම මෙසෙත් බයිට් වෙන්න හිත හදන් පලයන්.

"ඇයි විදුර්...?"

"මේ...කෑම කන්න පහළට එන්නලු. ඔයා කාලද ඉන්නෙ?"

"මම සිතුම්ය ආවම කනවා..."

"ම්ම්...එහෙනම් හෙට හම්බෙමු."

මම කියද්දි ලවන් සොෆ්ට් විදිහට හිනාවුණා.

"හරි...පරිස්සමින්."

"ඔයත් පරිස්සමින්..."

**********

Third person's pov

පැය ගාණක් කල්පනා කරලා ගත්ත කෝල් එක අන්තිමට ලවන් කට් කරේ කවදාවත් නොදැනුණු තරමෙ පුදුම සතුටකින්.

'නම්බර් එක තිබ්බ පලියට එහෙම කතා කරන එක හරිද...විදුර් මොනවා හිතයිද?'

කෝල් එක ගන්න කලින් ලවන් එයාගෙන්ම සිය පාරක් විතර අහගත්තා.

ඒත් විදුර් කතාකරපු විදිහත් එක්ක ලවන්ට ඒ හිතපු හැම දෙයක්ම අමතක වෙලා ගියා. විදුර් කතා කරන විදිහ හරි හුරතල්...මොකක්හරි එයාට විතරක් හිනායන කතාවක් කියාගෙන විදුර් හිනාවෙන හැම වෙලාවකම ලවන්ගෙ පපුව හිරිවැටෙනවා එයාට දැනුණා.

ඒ හැඟීම ඔඩු දුවන්න ඉඩ දෙනවා කියන්නෙ සීමාවෙන් එහාට අඩිය තියන එක කියලා දැන දැන වුණත්...ලවන්ට ඕනෙ වුණේ නෑ හිතට දැනෙන ඒ ආගන්තුක හැඟීම නවත්තන්න.

සමහර දේවල් කොච්චර සීමා දාලා හිර කරන්න හැදුවත්...හිත් දෙකක් ටිකින් ටික බැඳෙන්න ගන්නකොට ඒ සීමා ඉබේම බිඳෙනවා. එහෙම ඉබේම බිඳෙන්නැත්තම්...හැම සීමාවක්ම බිඳින්න තරම් හයියක් ඒ බැඳෙන හිත් දෙකේ ගොඩනැගෙනවා.

කෝල් එක කට් කරද්දිම එයාගෙ මූණට ආපු අමුතු හිනාවත් එක්කම අනිත් පැත්ත හැරුණු ලවන්ගෙ හිනාව ඒ තප්පරේම අතුරුදහන් වුණා.

"හරි හරි මාව දැකලා ඔය ලස්සන හිනාව අයින් කරගන්න එපා...උඹෙ මූණෙ ඔච්චර එළියක් දැක්කමයි."

සිතුම්ය එහෙම කියාගෙන ලවන් හිටපු බැල්කනි එකට එද්දි ලවන්ගෙ අතුරුදහන් වෙච්ච හිනාව ආයෙම යන්තම් කට කොනක ඇඳුනා.

විනාඩියක් විතර යනකන් යාලුවො දෙන්නා අතර කතාවක් ඇතිවුණේ නෑ. දෙන්නම බැල්කනි එකේ අත් වැටට හේත්තු වෙලා රෑ අහස දිහා බලාගෙන හිටියා.

මුලින්ම දෙන්නා අතර නිශ්ශබ්දතාවෙ බිඳින්න හිතපු සිතුම්ය ලොකු හුස්මක් පහළ දැම්මා.

"ඒ කියන්නෙ- උඹ මේක නවත්තන්නෙ නෑ...?"

"මම විදුර්ට ගොඩක් කැමතියි සිතුම්ය...මම කොහොමද හිතට දැනෙන දේ නවත්තන්නෙ?"

"විදුර් හොඳ කොල්ලෙක්...එයා ලස්සනයි. උඹෙ ටයිප්...උඹට එයා ගැන කැමැත්තක් හිතුණ එක අහන්න දෙයක් නෙවෙයි."

"....."

"ඒත්...උඹ තාම මෙහෙට ඇවිත් අවුරුදු දෙක තුනයි. උඹ මොනවද බං දන්නෙ?"

"උඹ මොකක්ද කියන්නෙ...?"

"ලවන්...අවුරුදු දහයකට කලින් මුලින්ම සීමාව පනින්න තීරණය කරේ මම. ඒ ගත්ත තීරණේ නිසා මම අද තාම විඳවනවා. මම කැමති නෑ- උඹටත් ඒ දේ වෙනවා දකින්න-"

"එහෙම වෙන්නෙ නෑ..."

ලවන් කිව්වෙ ස්ථිරවම. එයා දන්නෑ එයාට එච්චර හයියක් කොහෙන් ආවද කියන්නවත්...ඒත් විදුර් මතක් වෙද්දි ඕන බාධාවක් දරාගන්න පුලුවන් අමුතු හයියක් එයාගෙ හිතට එනවා කියන්න එයා දන්නවා.

"උඹ කොහොමද එහෙම වෙන්න නෑ කියන්නෙ?? උඹට මට බෑ ලවන් මේවා වෙනස් කරන්න-"

"එතකොට අපි හැමදාම ඉන්න ඕනෙ මේ සීමාව ඇතුළෙද සිතුම්ය?? අපිට බැරිද අපිට ඕනෙ විදිහෙ කිසි දෙයක් කරන්න? අපි ආදරේ කරන කෙනාව තෝරගන්න ඕනෙත් එතකොට ඒ සීමාව ඇතුළෙ ඉඳන්ද??"

කවදාවත් දැකලා නැති තරම් තරහකින් ලවන් කෑගැහුවත් සිතුම්යගෙ අවධානෙ යොමුවුණේ ඒ ගැන නෙවෙයි.

"ආදරේ...ලවන් උඹ කිව්වෙ එහෙමද? උඹ විදුර්ට ආදරෙයිද...?"

සිතුම්ය මෘදු විදිහට අහද්දි ලවන් තප්පර ගාණක් සිතුම්ය දිහා බලන් ඉඳලා ආයෙම හිස් අහස දිහා බලාගත්තේ එයා කියපු දේ බරපතලකම තේරුම් අරගෙන.

"මගෙන් අහන්න එපා බං...මේ දැනෙන හැඟීම වචන කරන්න මට තේරෙන්නෑ. විදුර්...එයා ගැන මගෙ පපුවට දැනෙන හැඟීම මීට කලින් කිසි කෙනෙක් ගැන දැනිලා නෑ."

ලවන්ගෙ කඳුලු පිරුණු දියමන්ති වගේ ඇස් දෙක දිලිසෙද්දි ඒවට මූණ දෙන්න බැරිවුණ සිතුම්ය බිම බලාගත්තා.

"ඒත් ඒ ආදරේනම්...මම උඹට අද පොරොන්දු වෙනවා සිතුම්ය. අපි දෙන්නට එකතු වෙන්න පුලුවන් දවසක් එනකන් මම ෆයිට් කරනවා..."

ලවන් කියනවත් එක්කම එයා ළඟට ගිය සිතුම්ය ලවන්ගෙ උරහිසින් අතක් තියාගත්තා.

"ලවන්...කවදාහරි උඹට විදුර් එක්ක හැමදාම සතුටින් ඉන්න පුලුවන් දවසක් එනවනම් එදාට මේ මම තරම් සතුටු වෙන කවුරුත් නෑ."

"....."

"ඒත් මතක තියාගනින්...උඹලා දෙන්නට එකට ඉන්න පුලුවන් විදි තියෙන්නෙ දෙකයි. එක්කො උඹ මෙහෙ නවතින්න ඕන, නැත්තම් විදුර් එහෙ එන්න ඕන. ඒ දෙකම කරන්න බෑ කියලා උඹ දන්නවා."

අහන්න කොච්චර අකමැති වුණත්...ඒ තිත්ත ඇත්ත තමන්ට ආයෙමත් මතක් කරපු සිතුම්ය ලවන්ගෙ උරහිසට තට්ටුවක් දාලා අපාට්මන්ට් එක ඇතුළට ගියා.

ආයෙමත් අත් වැටට හේත්තු වුණ ලවන් සීමාවක් නැති අහස දිහා බලන් ඉන්න ගත්තා.

"අන්ධකාරෙන් සීමා දාලා තිබ්බත් හඳටත් පුලුවන් වුණානම් ඉර මුණ ගැහෙන්න...මට බැරිවෙන එකක් නෑ නේද කවදාහරි විදුර්ව මගෙ ළඟම තියාගන්න...?"

---------------

මම පොඩි බඩ්ඩක් කියන්නද? 😁 ඔයාලා වැඩිය අවදානෙ දෙන්නැති දෙයක් තියනවා, මම ෆස්ට් චැප්ටර් එකේ ඉඳන්ම මෙන්ෂන් කරපු දෙයක්. ඒක ගැන පොඩ්ඩක් කල්පනා කරන්න...ගොඩක් දේවල් අහුලගන්න පුලුවන් වෙයි.

ගොඩක් දේවල් නැතත් පොඩි අයිඩියා එකක් හරි 🫢 මගෙ හිතේ තියන එව්වා ඔක්කොම තේරෙන්නෑනෙ කොහොමත්

මොකද පස්සෙ මමම කියනවට වඩා මං කැමති රීඩර්ම පොඩි පොඩි ඒවා තේරුම් ගන්නවනම් 😁

Share This Chapter