Back
/ 35
Chapter 4

Part 4

සීමාවෙන් එහා

පුරුදු විදිහටම කේසීසී එක ගාවින් බැහැපු මම වැව රවුම පැත්තට පාර මාරු වුණා. තාම 7.45ට වගේ වෙලාව. අද මේ ගිටාර් එකත් උස්සන් එන්න වුණානෙ ප්‍රැක්ටිස් නිසා. පහුගිය දවස් දෙකේනම් ඒක ගේන්න වුණේ නෑ. බදාදා, බ්‍රහස්පතින්දා හවස අයිටී කෝස් එකනෙ. අද සිකුරාදා ආයෙ ශෝ එකේ ප්‍රැක්ටිස් නිසා මම ගිටාර් එකත් අරන්ම ආවා.

පහුගිය දවස් දෙකේ විශේෂයක් වුණේ නෑ. උදේ ඉන්ග්ලිශ් කෝස් එකට යනවා, කනවා, හවස අයිටී කෝස් එකට යනවා. එදා හවස කතා කරාට පස්සෙ ලවන් උදේම ක්ලාස් එකට එන්න පුලුවන්ද අහපු නිසා මම පහුවදා ආපු ගමන්ම ගියා ඉතින්, 8.00ට වගේ.

ඒ වෙලාවට වෙන මොකාටද එන්න අමාරුවක් තියෙන්නෙ නේ... අපි දෙන්නා 8.25 විතර වෙනකන් ක්ලාස් එකටම වෙලා කියව කියව හිටියා. විශේෂයක් කියලා කියවන්න නෑ ඉතින්. එදා ෆෝන් එකෙන් කියෙව්වා වගේ වල්පල් තමා කියවන්නෙ. ඒත් පොඩි වෙලාවක් හරි එහෙම ලවන් එක්ක කතා කරන්න හම්බුණු එකට මම කැමති.

මාත් ඔහේ මේසෙ ගාවට වෙලා කියවලා ගෙනාපු කෑම එකත් දීලා ක්ලාස් එක පටන් ගන්න වෙලාව ළං වෙද්දි හොඳ ළමයා වගේ මගෙ පුටුවෙන් ඉඳගෙන ඉන්නවා. ටිනාශා තමා ඔය දවස් දෙකම එළියට වෙලා කවුරුහරි එනවද බලන් හිටියෙ, ඒකිත් එනවනෙ කලින්.

යාලුවො වුණාම ඔහොම කටු කන්න වෙනවා ඉතින්. කොහොමත් ටිනාශා ඉස්සර මාවයි සිනෙලිවයි පාවලා දීලා තමා අර සිටුවේශන්ශිප් එක හම්බෙන්න ගියේ. මොකද හරියට දෙයක් නැතුව ගෙදරට කියන්නත් බෑනෙ කොල්ලෙක් හම්බෙන්න යන්වා කියලා. දැන් ඉතින් කලගුණ සලකපන් ඒවට. ක්ලාස් එකේ ළමයෙක් ඒ පැත්තට එනවනම් ඒකි මට පොඩි රින්ග් කට් එකක් දෙනවා, එතකොට තමා මම ගිහින් ඉඳගන්නෙ.

මේකනෙ ඉතින්...මමත් ටීචර්ස් ටේබල් එක ගාවම පුටුවක් තියන් ඉඳගෙන හිටියෙ, කවුරුහරි ආවොත් හරි නෑනෙ. අනික එක දවසක් නෙවෙයි හැමදාම ඔහොම මම ටීචස් ටේබල් එක ළඟ දකින එක කොහොමත් හරි නෑනෙ. ටිනාශා නිසා ශේප් වුණා ඒකත් කොහොමහරි.

අදත් ලවන් ඉන්නවා කිව්වා මම එනකන්. එහෙම දෙයක් කියනවා ඇරෙන්න එයා ලොකුවට කෝල්ස් මැසේජ් කරෙත් නෑ ආයේ. එහෙම කරන්න තරම් දෙයක් නෑනෙ ඉතින් ඇත්තටම අපි අතර. පොඩි මෙව්වා එකක් තිබ්බ පළියට නටාගෙන හැමදාම පැය ගණන් කෝල් කරන්නැතුව බවුන්ඩරි එකක් තියන් ඉන්න අයට තමා මමත් කැමති.

මේ දවස් දෙක තුනට ලවන් ඩීසන්ට් විදිහට ගුඩ් මෝනින් එකක් එවනවා, මමත් රිප්ලයි කරනවා. ඊට පස්සෙ ලොකුවට මැසේජ්නම් කරේ නැතිම තරම්. ක්ලාස් එකෙත් ළමයි ආවට පස්සෙ ඉතින් අපි දෙන්නා ලෙක්චරර් ඇන්ඩ් ස්ටුඩන්ට් විතරයි. ඒ නිසා උදේ යන්තම් අර කතා කරන එකක් තමා දවසටම.

කොහොමත් රේස් යන්න ඕනෙ නෑනෙ...නේ? මේ විදිහ හොඳටම හොඳයි.

මම වැව රවුමෙ බස් හෝල්ට් එක පාස් කරනවත් එක්කම වගේ මට කෝල් එකක් ආවා. මම අරන් බලද්දි, ඔහෝ...මගෙ සහෝදර ප්‍රේමෙ කෝල් කරන්නෙ. මොකෝ දන්නෑ.

"හෙලෝ අයියෙ...ගුඩ් මෝනින්!"

"හැමදාම කියනවා තොට මෝනින් වුණ පළියට මට මෝනින් නෙවෙයි කියලා."

"මාත් ඉතින් හැමදාම කියනවනෙ මට ඒක අදාළ නෑ කියලා...හහ්. මට මෝනින් නම් මෝනින් එච්චරයි."

අයියයි මායි ඉතින් සාමාන්‍ය මිනිස්සු වගේ කෝල් ආන්ස්වර් කරන්නෙ නෑනෙ...ඔහොම තමා පටන් ගන්නෙ හැමදාම.

"මොකෝ තවුසෙ කරන්නෙ ඉතින්...රෑට කාලා එහෙමද ඉන්නෙ?"

"ඕ බං...මේ අසයිමන්ට් වගයක් තියනවා ඒවා බලන ගමන්."

"ම්ම්..."

"උඹ මොකෝ ලෙක්චර්ස් යන ගමන්ද?"

"ඔව් අයියෙ...මේ වැව රවුමෙ දැන්."

"හා පරිස්සමට යමන්...උඹට ගන්නත් බැරිවුණා බං වැඩ මේ ටිකේ."

අයියා ඇත්තටම මට කතා කරන්නෙ ඔහොම පොඩි හරි වෙලාවක් හම්බුණොත් තමා. එයා එහෙ PhD කරන ගමන් ටීචින් ඇසිස්ටන්ට් විදිහටත් ඉන්නවනෙ. වැඩ ඉහටත් උඩින්.අනික අපෙ ටයිම් ඩිෆරන්ස් එකත් පැය දහයක් වගේ.

අයියා අම්මටනම් කතා කරනවා නිතරම. එතකොට මං ගැන අහනවා, මමත් හැමදාම අම්මගෙන් අයියා කතා කරාද කියලා අහනවා. ඒ ඇරෙන්න අපි දෙන්නට කෝල් කරන්න වෙන්නෙම නැති තරම්.

"කමක් නෑ අයියෙ...මටත් දැන් කැම්පස් පටන් ගත්ත නිසා ටිකක් වැඩ. ගන්න වුණේ නෑ ඒ නිසා."

"ම්ම්...උඹෙ වැඩ ගැන අහන්නත් එක්ක තමා මං මේ ගත්තෙ."

ඒ ටෝන් එකනම් ඇල්ලුවෙ නෑ පුතේ මට.

"මොන...?"

"මස්සිනා ගැන දැන්ම මාධ්‍යට ප්‍රකාශ කරන්නැහ්...?"

ඔය ඇහුවෙ...දෙන්නා දෙමහල්ලෝ ඇමරිකාවත් ගිනි තියලා වගේ.

"මොන මස්සිනෙක්ද??"

"අනේ අනේ මේ...උඹ අයියටත් කොලේ වහන්වනෙ ඉතින්."

"උඹට පිස්සුද බං අයියෙ?? මෙහෙ ඇති උඹෙ මස්සිනෙක් නෑ...!"

"එහෙනම් අර මනමාල හිනාවකුත් දාගෙන කා එක්කද මල් කඩන්නෙ??"

මූ කොහොමද ඒක දන්නෙ?? හරි මල් කැඩුවෙ නෑ...ඒ වුණාට එහෙම පොඩි දෙයක් සිද්ධ වුණානෙ. යකෝ BBC පරාදයි අපෙ ගෙදර පුවත් සේවය එක්ක.

"උඹ කොහොමද ඒකක් දන්නෙ?"

"ඒ කියන්නෙ උඹ මල් කැඩුවා??"

"අනේ මම කඩපු මලක් නෑ අයියෙ...මං ඇහුවෙ උඹට කොහෙන්ද ඕවා ආරංචි වෙන්නෙ කියලා."

මම දන්නවා ඉතින් කොහෙන්ද කියලා...උගෙන්ම දැනගන්න ඕනෙ මට ඒත්.

"ඒවා වැඩක් නෑනෙ...මට ආවා තොලත් හපාගෙන මනමාල හිනාවක් දාන් ඉන්න මගෙ බාල සහෝදරයගෙ ලම්සන පොටෝ එකක්. ඒ කවුද බං එහ්...? උඹ ඔච්චර ලස්සනට-"

"අනේ අයියෙ!! කවුද ඕක එව්වෙ කියහන්..."

"අප්පච්චි..."

අයියා හයියෙන් හිනාවෙන ගමන් කියද්දි මම ඇස් කරකලා වෙන පැත්තක් බලාගත්තා. ඇත්තටම මෙහෙමයි හැබැයි...තරහින් වගේ රඟපෑවට මට හිත ඇතුළෙන් දැනුණෙ සතුටක්.

මේ වගේ රිලේශන්ශිප් එක්කට නෙවෙයි ස්ට්‍රේට් රිලේශන්ශිප් එකක වුණත් ළමයෙක්ගෙන් දාහක් ප්‍රශ්න අහන බාල්දි දාන සමාජයක් ඇතුළෙ මගෙ අම්මා, අප්පච්චි, අයියා මේ විදිහට ඒ ගැන රිඇක්ට් කරන එක...එයාලා ඔක්කොම සපෝටිව්. ඒ අතින් මම වාසනාවන්තයි ගොඩක්.

"එහෙනම් උඹ අප්පච්චිගෙන්ම අහගනින් ඒ ගැන..."

"උඹෙ මිනිහා ගැන දන්නෙ අප්පච්චිද උඹද??"

"අනේ මට ඇති මිනිහෙක් නෑ අයියෙ-"

"හරි හරි බං...හැබැයි මොකක්හරි සීන්කෝන් එකක් තියනවා ඈ. උඹ රෙඩි වුණාම මට කියහන්. හරිද??"

"ම්ම්..."

"අන්නේම...දැන් කොහෙද ඉන්නෙ?"

"දැන්නම් කැම්පස් එක ගාව. පාර පනින්න යන්නෙ මම තියන්නද?"

"හා හා...පරිස්සමින් වැඩ ටික කරගනින් ඈ. බුදුසරණයි."

"අයියත් පරිස්සමින්...බුදුසරණයි."

මම පාර පැනලා කැම්පස් එක ඇතුළට ආවා. 8.05යි...අයියට එක එක එව්වා පැහැදිලි කරන්න ගිහින් සූට්ටක් පමා වුණා ඉතින්. ටිනාශා ඇවිත් කොහෙහරි ඇතිනෙ. මම ඉක්මනට ක්ලාස් එකට ගියා.

ඒ ක්ලාසස් වල තියෙන්න ග්ලාස් ඩෝ එකක්. අර ඔෆිස් වල එහෙම තියෙන්නෙ...පහළ ටික තනිකරම බොඳ වෙලා වගේ. උඩත් ලාවට බොඳ වෙලා හැබැයි ඇතුළෙ කවුද ඉන්නෙ බලාගන්න තරමට විනිවිද පේනවා.

මම ක්ලාස් එක ගාවට ගිහින් බලද්දි මම දැක්කා කවුරුහරි ගර්ල් කෙනෙක් ලවන්ගෙ ටේබල් එක ගාව ඉන්නවා. ආ...මට මතකයි මෙයාව. ඉන්ග්ලිශ් වල වෙන ක්ලාස් එකක ඉන්නෙ. මොකද යකෝ මේ උදේ වෙන ක්ලාසස් වල බඩගාන්නෙ.

ක්ලාසස් සවුන්ඩ් පෲෆ් නිසා මට ඇහෙන්නෙත් නෑ මුකුත්. හැබැයි පේන විදිහටනම් නැටවිල්ල වැඩි ඈ...පුදුම ඇඹරිල්ලක්නෙ ඒක. යකෝ සර් කෙනෙක් එක්ක ඔය කතා කරන්නෙ...

එළියට වෙලා බලන් ඉන්න තරමට මගෙ ඇඟේ මාලු නටනවා වගේ එකක් මට දැනුණා. මම ඇතුළට යන එක හරිද?? වැරැද්දක් නෑ ඉතින්...මේක මගෙ ක්ලාස් එකනෙ. ආපු ගමන් ක්ලාස් එකට යන්න මට අයිතිය තියනවනෙ. මේ එක එක නැට්ටිච්චියො ආවා කියලා මම ඇයි දොර ගාව හිටන් ඉන්නෙ??

"එක්ස්කියුස් මී සර්..."

මම දොරත් ඇරගෙන ඇතුළට යද්දිම කෙල්ලගෙ මූණත් දෙල් වුණා. මම ආවෙ මගෙ ක්ලාස් එකට...හැබැයි ඒකි මගෙ දිහා බලන් ඉන්නෙ නිකන් මම ඒකි සංසර්ගෙ යෙදෙන තැනට බලෙන් ආවා වගේ.

"ආ විදුර්...ගුඩ් මෝනින්."

"ගුඩ් මෝනින් සර්..."

මම ලවන්ට ග්‍රීට් කරගෙන කෙල්ල දිහාත් ඇස් කොනින් බලලා පාඩුවේ මගෙ පුටුවෙන් ගිහින් ඉඳගත්තා. මටත් බලාගන්න බැරියැ දැන් මොකක්ද මේ ඩ්‍රාමා එක කියලා.

ඒකි මාව ආවා කියලා සත් පහකට ගණන් නොගෙන ආයෙම ලවන් දිහාට හැරුණා.

"සර් ප්ලීස්...එක පාරක්-"

"මම කිව්වනෙ විනුරි...ඔයාලගෙ ක්ලාස් එකේ දේවල් වලට මට ඉන්වෝල්ව් වෙන්න බෑ. ඔයාට තේරෙනවනෙ ඒක නේද?"

ලවන් ඒක කිව්වෙ ගොඩක් සන්සුන්ව...හැබැයි හරි මහන්සි පාටකින්. මේකි කොච්චර වෙලා මෙතන ඉඳන් ලවන්ට වද දෙනවද දන්නෑ. මම දිගටම රබර් කන දාගෙන හිටියා.

"සර් ඒත්...දිව්‍යා මිස් සර්ගෙ යාලුවනෙ. පොඩ්ඩක් කියලා බලන්න ප්ලීස්..."

ලවන් තවත් මහන්සි පාටකින් පුටුවට හේත්තු වෙලාම ඉඳගත්තා. අනික මට හොඳටම තේරෙනවා මම ආවට පස්සෙ ලවන්ට කීයටවත් මේ කතාව කන්ටිනිවු කරන් යන්න ඕනෙ නෑ. එයා දෙතුන් පාරක්ම මං දිහා බැලුවෙ ඉක්මනට ඒ මොන කතාව හරි ඉවර කරලා මාත් එක්ක කතා කරන්න තියන වුවමනාවට කියලා මම දන්නවා.

"දිව්‍යා මිස් මගෙ යාලුවා වෙන්නෙ ක්ලාස් එකෙන් පිට. යාලුවො වුණ පළියට අපි දෙන්නගෙ ක්ලාසස් වල දේවල් වලට ඉන්වෝල්ව් වෙන්න මට කිසිම අයිතියක් නෑ විනුරි."

දැන්නම් ලවන්ගෙ කටහඬ එන්න එන්න සැර වෙනවද කියලත් මට හිතුණා. ඒත් එයා උපරිම ට්‍රයි කරනවා ප්‍රොෆෙශනල් වෙන්න. මොනවා වුණත් ස්ටුඩන්ට් කෙනෙක්නෙ, අනික කෙල්ලෙක්.

මොකක්ද මේ විනුරි කියන්නෙ?? මෙයා දිව්‍යා මිස්ගෙ ක්ලාස් එකේද? දිව්‍යා මිසුත් ඉන්ග්ලිශ් යුනිට් එකේ ලෙක්චරර් කෙනෙක්. දවල්ට කෑම කද්දි ලවන්, දිව්‍යා මිස්, රජිත සර් කෑම කන්නෙ එකට කියලා මම දැකලා තියනවා. ඒ තුන්දෙනා සම වයස් වගේ නිසා ගොඩක් හිතවත් මං හිතන්නෙ. දැන් මොකක්ද මේ ඒ යාලුකම ඇදිලා ආපු ප්‍රශ්නෙ...මම තව ටිකක් කන දාන් හිටියෙ තේරුම් ගන්න.

ලවන් කියපු දේට විනුරි උත්තර නොදුන්න නිසා ලවන් ආයෙම කතා කරා.

"දිව්‍යා මිස් ඔයාලගෙ අයිටම් එකට කැමති නැත්තම් ඒක මිස් එක්ක කතා කරලා විසඳගන්න...නැත්තම් ඔයාලා කතා කරලා අයිටම් එක චේන්ජ් කරන්න. ඒක ගැන ඔයාලගෙ ක්ලාස් එකට අදාලම නැති මම කතා කරන්න යනවා කියන්නෙ...ඒක හරි විදිහ නෙවෙයි නේද විනුරි?"

ඔහෝ...මට දැන්නෙ තේරෙන්නෙ. මේක මේ අයිටම් එක සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි වගේ. අපිත් ඉස්කෝලේ කාලෙ ඕන තරම් අයිටම්ස් කරලා තියනවා, ඒවට සමහර සර්ලා මැඩම්ලා අකමැති වෙලත් තියනවා. ඒ වෙලාවට අපි කරේ ඒ අදාළ සර්,මැඩම් එක්ක ඒක කතා කරපු එක. නැත්තම් අපි අපි කතා කරලා විසඳගත්ත එක. මෙහෙම වෙන සර්ලා එක්ක තොඳොල් වෙන්න ගියෙ නෑ.

ඉඳ...ලා හිටලා හරි වෙන සර් කෙනෙක්ට මැඩම් කෙනෙක්ට කිව්වනම් කිව්වෙ එයාලා අපි එක්ක යාලු ෆිට් එකේ ඉන්න තරමට හිතවත් නම් විතරයි. ඒත් ලවන්ගෙයි මෙයාගෙයි එහෙම හිතවත්කමක් නෑනෙ...අපි මේ කැම්පස් එකට ආවෙත් මේ සතියේ. අනිවාර්යෙන් මේ බොරු හේතුවක් හදාගෙන ලවන් එක්ක කතා කරන්න ඇවිත් තියෙන්නෙ.

ඒක තේරුණ ගමන්නම් මට නොසෑහෙන්න මල පැන්නා...ඇයි යකෝ. මම මගෙ සීට් එකට වෙලා විනුරිට රවාගෙනම හිටියා. ඒකිට පේන්නෑ හැබැයි මට පිටුපාලනෙ ඉන්නෙ. හැබැයි ලවන්ටනම් මාව දැකලා හිනායන්න ඇවිත් අමාරුවෙන් නවත්තගන්නවා මම දැක්කා. නැත්තම් අර ඉසකුඩිච්චිය හිතයි එයා එක්ක ෆ්ලර්ට් බැක් කරනවා කියලා.

"හරි- සර් මට තේරෙනවා...ඒත් එක පාරක්. ප්ලී~~ස්. ට්‍රයි කරන එකේ වැරැද්දක් නෑනෙ."

ට්‍රයි කරන එකේ වැරැද්දක් නෑ- මම කියන්නෑ ඉතින්.

"හරි හරි විනුරි...මම එක පාරක් කියලා බලන්නම්."

වෙලාවට ලවන් එහෙම හරි කිව්වෙ. නැත්තම් මෙතන කීය වෙනකන් නටවයිද දන්නෑ.

"අනේ තෑන්ක්ස් සර්...තැන්ක් යූ සෝ~~~මච්."

සෝ එකේ ඇදිල්ල විතරක්. ආපු වැඩේ වුණානම් පලයන්කො දැන්.

"නෝ ප්‍රොබ්ලම් විනුරි...එහෙනම් දැන් ක්ලාස් එකට යන්න. පටන් ගන්නත් ළඟයිනෙ."

අනේ ඇත්තට මෙහෙම එලවනකන්ම කෙල්ලො පැළපදියම් වෙලා ඉන්නවද තැන් තැන් වල. නම්බුව තියන් යන්නැතුව...ඒ අතින් අපෙ කෙල්ලො කොච්චර ඩීසන්ට්ද.

"ඕහ්...ඕකේ සර්. මම යන්නම්. එහෙනම් කියන්න හොඳේ..."

අන්තිම ටිකත් නළවලාම කියපු විනුරි ක්ලාස් එකෙන් එළියට ගියා. මම විනුරි ගිය දොර දිහාත් රවාගෙන බලලා නැගිටලා ටීචස් ටේබල් එක ගාවට ගියා.

"විදුර්...මොකද මේ?"

ලවන්නම් කිසිම දෙයක් වුණේ නැති ගාණට ලස්සනට හිනාවෙලා ඇහුවා.

"මොකද අහන්නෙ?? කේන්ති මට..."

"උදේම කේන්ති ගන්න හොඳ නෑ...කෝ එන්නකො."

ලවන් වෙන පුටුවක් ටීචස් ටේබල් එක ගාවින් තිබ්බම මම වෙනදා වගේම එයා ගාවින් ඉඳගත්තා. මම තාම රවාගෙන ඉද්දි මට ඇස් කොනෙන් පේනවා ලවන් වැලමිට මේසෙට තියලා ඒ අත උඩින් ඔලුව තියාගෙන මගෙ දිහා බලාගෙන ඉන්නවා.

"තරහ ගියාමත් හුරතල් හැබැයි..."

මට ලාවට වගේ ඇහුණ නිසා මම හිටපු විදිහටම ලවන් දිහා බැලුවා. එයා දිහානම් රවාගෙන ඉන්න බෑ ඉතින්...මම පොඩ්ඩක් සන්සුන් වුණා.

"ඔයාට විහිලු...ඔය ආවෙ අයිටම් එකක් නිසානම් නෙවෙයි. ඔයා එක්ක කතා කරන්න ඕනවට."

"මම දන්නවා..."

මම ආයෙම ඔලුව උස්සලා ඇස් දෙකත් ලොකු කරගෙන ලවන් දිහා බැලුවා. කිසි ගාණක් නැතුව කියපු ලස්සන.

"දන්නවා කියන්නෙ...?"

"ඇයි මං බබෙක් වගේ පේනවද...මට තේරෙනවා මොකටද ආවෙ කියලා."

"එහෙනම්...? අනේ මේ කතාවට එහෙම යන්න එපා ඕනවට වඩා."

"විදුර් ඒ ස්ටුඩන්ට් කෙනෙක්නෙ...මගෙ වචනයක් එහෙ මෙහෙ වුණත් ඇති මං ගැන කම්ප්ලේන් එකක් යන්න. මම පරිස්සමින් වැඩ කරන්න ඕන ඔහොම දේවල් වලදි."

ලවන් තාමත් සන්සුන් විදිහට කියද්දි මම බිම බලාගෙන හිටියා. මම දන්නෑ ඇයි මට එච්චර කේන්ති කියලා. මට ලවන් ගැන කිසිම අයිතියක් නැතිකොට. සමහරවිට මම මෙච්චර නොසන්සුන් වෙන්නෙත් ඒකම වෙන්න ඇති...අපි දෙන්නා අතර ඔෆීශියලි මොනවාහරි තිබ්බනම් ඔය සැරින් සැරේ එන නැට්ටිච්චියන්ව මම ගණන් ගන්නෑ. ඒත්...මමත් නිකන්ම ලවන්ට කැමති අය අතරෙ එක්කනෙක් විතරද කියලා හිතෙනවා මෙහෙම වෙද්දි.

මම කල්පනා කර කර ඉද්දි මට දැනුණා ලවන් හිමින් එයාගෙ සුලැඟිල්ල මගෙ සුලැඟිල්ලෙ පටලගන්නවා. මට ඒ පොඩි ටච් එක දැනුණ ගමන් මම ආයෙම ලවන් දිහා බැලුවා. එයා තාමත් ඉන්නෙ සන්සුන්ව... එයාගෙ ඇස් දෙක හරි සන්සුන්. සමහරවිට ඒ එයාගෙ ඇස් දෙකේ පාට නිසා වෙන්න ඇති...කොච්චර ඇවිලෙන වෙලාවක වුණත් ඒ අලු පාට ඇස් දෙකේ තියෙන්නෙ හරි නිවුණු ගතියක්.

අනිත් එක...අපි කතා කරන්න ගත්තත් හරි ලවන් අද තමා මාව යන්තම් හරි ඔහොම ඇල්ලුවෙ. මම අපි දෙන්නගෙ පැටලුනු ඇඟිලි දෙක දිහා බලාගෙන හිටියා. මම ගොඩක් කැමති මේ විදිහට...

මම කියන්නෙ...අපි අතරෙ මොකක්හරි තියනවා. ඒක ඇත්ත. එහෙම ආකර්ෂණයක් ඇති වුණ පළියට, කතා කරපු පළියට මම ඔයාට කැමති අපි යාලු වෙමු කියලා සම්බන්ධයක් පටන් ගන්න මට ඕනෙ නෑ.

මම හැමදාම හිතුවෙ කවුරු එක්ක යාලු වුණත්, අපෙ ළමයෙක් හරි වෙන කවුරුම හරි කෙනෙක් ඔය දෙන්නා යාලු වුණේ කොහොමද අහද්දි එයාට කියන්න ලස්සන කතාවක් තියෙන්න ඕන. 'ආ අපි දෙන්නා දැක්කා එයා ඇහුවා අපි යාලු වුණා' කියනවට වඩා.

ඉතින් එහෙම ලස්සන කතාවක් එනකන් මේ යන විදිහ හොඳයි...වෙන එක එක්කනා අපි දෙන්නා මැද්දට එන්න හැදුවා කියලා ඒ කතාව වෙනස් වෙන්න ඕනෙ නෑ. මං හිතන්නෙ ලවන්ට දැනෙන්නෙත් එහෙම. මගෙන් විරුද්ධත්වයක් නෑ කියලා දැනුණ ලවන් මගෙ ඇඟිල්ල එයාගෙ ඇඟිලි දෙකක් මැද්දට අරන් හිමින් පිරිමදින්න ගත්තා. මම එයා එක්ක යන්තම් හිනාවුණා ඒකට.

"එයා මාත් එක්ක ෆ්ලර්ට් කරන් ආවට ඔයාට පේනවද මාත් ෆ්ලර්ට් බැක් කරා වගේ...ම්ම්?"

ලවන් එයාගෙ පුරුදු සන්සුන් කටහඬින්ම අහද්දි මම ඔලුව වැනුවා. එයා කවුද කියන එක කොහොමත් මට මේ දවස් ගාණට තේරිලා තිබ්බෙ. මෙහෙම පැහැදිලි කරන්න ඕනෙ නෑ.

"විදුර්...ඔය කවුරු මට කැමති වුණත් මට අදාළ නෑ. මම හිතන්නෙ මම කැමති කෙනා ගැන විතරයි."

ලවන් එහෙම කියද්දි මට නොදැනිම මගෙ මූණෙ හිනාවක් ඇඳුනා.

"ඔහ්...ඔයාට හිත ගිය කෙනෙක් ඉන්නවද ඒ කියන්නෙ?"

මම සාමාන්‍ය වුණා කියලා තේරුණ නිසාද කොහෙද ලවන් මගෙ ඇඟිල්ල අතෑරලා අත් දෙකම මේසෙ උඩින් තියලා පොඩ්ඩක් ඉස්සරහට බර වුණා.

"ඔව්නෙ...ඔයා දන්නවත් ඇති."

"ම්ම්...එහෙමද? මටත් කියලා තියන්නකො සප් එකක් දෙන්න පුලුවන්ද බලන්න-"

මම කියලා ඉවර කරන්නත් කලින් ලවන් එයාගෙ අත මගෙ මූණ ගාවට ගෙනත් ඇඟිලි තුඩු දෙකකින් මගෙ කම්මුලක් අල්ලලා ආයෙම අත පහළ දාගත්තා. ඔය ඉතින්...ඕන්නැති වැඩනෙ කරන්නෙ. මම ලවන්ගෙ ඇස් දෙක දිහා බලන්න ලැජ්ජයි ලැජ්ජයි වගේ නිසා හිනාවෙලා බිම බලාගෙනම හිටියා.

"ඔන්න ඔය රෝස පාට වෙන විදිහට තමා මම ආසම..."

සැක් මේක හරියන්නෑ...රෝස පාට නැතිවෙන්න බෙහෙතක්වත් ගන්න ඕන. මම මොකක්හරි කියන්න හිතාගෙන කට අරිද්දිම මගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.

ටිනාශා?? තාම ක්ලාස් එක පටන් ගන්න වෙලා තියනවනෙ. මෙච්චර කලින් වෙනදා කවුරුත් එන්නෑ. මම කෝකටත් මම ඉඳන් හිටපු පුටුව තිබ්බ තැනින් තියලා නැගිට්ටත් මම ගිහින් ඉඳගන්න කලින් ක්ලාස් එකේ දොර ඇරුණා.

ආයෙමත්?? මොන හුයන්නක්ද මේ??

"විනුරි...ඇයි ආයෙමත්? මොකක්හරි ප්‍රශ්නයක්ද?"

ලවන් කලින් වගේම සාමාන්‍ය විදිහට ඇහුවා. ඒකට අවධානෙ දුන්නත් විනුරිගෙ ඇස් ටික වෙලාවකට මගෙ ළඟත් නවතිනවා මම දැක්කා...ඒක සාමාන්‍ය බැල්මක්නම් නෙවෙයි. මොන මංගල්ලයක්ද මේ?? කෙල්ලෙක් වුණේ නැත්තම් ඇත්තමයි...

"අනේ සර් බලන්නකො...මම පෑන දාලා ගිහිල්ලනෙ. මෙතන තියනවද බලන්න ආවෙ."

ඒකත් ඉබේ වුණ අත් වැරැද්දක් නෙවෙයි කියලනම් මට තේරුණා.

"ඔහ් එහෙමද? බලන්නකො මෙතන තියනවද කියලා එහෙනම්."

ලවන් එහෙම කියන ගමන්ම ටීචස් ටේබල් එක ළඟින් නැගිටලා මෙහාට වුණා. ඒක හොඳයි...නැත්තම් පෑන හොයනවා කියලා එයි කරේ නගින්න.

"ආ...මේ තියනවා සර්. තැන්ක් යූ."

විනුරි කිව්වෙ මගෙ දිහාත් අමුතු විදිහට බලන ගමන්. මං හිතන්නෙ පෑන හොයන්න කියලා තව ටිකක් කියවන්නද කොහෙද ඇවිත් තියෙන්නෙ. දැන් ඉතින් මමත් ඉන්න නිසා එහෙම කරන්න බෑනෙ.

"මීට පස්සෙ පොඩ්ඩක් කල්පනාවෙන් වැඩ කරන්න විනුරි...හැමෝටම ඩිස්ටර්බ්නෙ නැත්තම්."

ලවන් තාමත් හරි සන්සුන් විදිහට කිව්වත් ඒකටනම් මට හිනා යන්න ආවා. සැක් මේ මූණෙන් සබ්ටයිට්ල්ස් පෙන්නන වැඩේ අතෑරගන්න ඕන. විනුරිගෙ මූණටත් හෙනයක් ගැහුවා වගේ වුණා මම දැක්කා...හොඳ වැඩේ.

"අහ්- යෙස් සර් ඔෆ් කෝස්."

ලවන්ට බොරු හිනාවක් දීපු විනුරි ආයෙ සැරයක් මගෙ දිහා බලලා ක්ලාස් එකෙන් එළියට ගියා. මේ පොඩි සිද්ධියෙන් හරි...මට හැබැයි එක දෙයක් තේරුණා. මම පොඩ්ඩක් ලවන් ගාවට කිට්ටු වුණේ ඒක කියන්න කියලා හිතාගෙන.

"ලවන්...මේ- මම හිතුවෙ-"

"අපි කෝකටත් ආයෙ උදේට මෙහෙම හම්බෙන්නැතුව ඉමු..."

ඒ කියන්නෙ ලවන්ටත් ඒක හිතිලා. ඔව්...ඒක කෝකටත් හොඳයි. මොනවා වුණත් අනිත් අය අපිව දන්නෙ ලෙක්චරර් ඇන්ඩ් ස්ටුඩන්ට් විදිහට. අනික අපි දෙන්නම ආවා විතරයි. මෙහෙම දේවල් වෙන්න ඕනෙ නෑ.

"ඔව් ම- මමත් කියන්න ගියේ ඒක තමයි."

මම පුලුවන් තරම් සාමාන්‍ය විදිහට කියන්න හැදුවත් මට දුක හිතුණා. එක විනාඩි විස්සක් හරි නිදහසේ කතා කරන්න තියන එකනෙ. ඒක තේරුණ නිසාද කොහෙද ලවන් හිමින් මගෙ නිකටින් අත තියලා මගෙ ඇස් එයාගෙ ඇස් එක්ක සමාන්තර කරා.

"දුක් වෙන්න එපා...ඔයා ඔහොම ඉද්දි-"

"ම්ම්...?"

ලවන් ඒකට උත්තරයක් දුන්නෙ නෑ. එයා යන්තම් හිනාවෙලා මගෙ කම්මුලට ඇඟිල්ලකින් තට්ටුවක් දාලා ආයෙම අත සාක්කුවට දාගත්තා.

"අපි ආයෙ මෙහෙම හම්බෙන්න ඕන්නෑ...අපි එළියෙ කොහෙහරි තැනක හම්බෙමු. ම්ම්?"

"ඒත් ලවන්...අපිට කැම්පස් එක ඇතුළෙවත් නිදහසක් නැත්තම් ඔයා හිතනවද අපිට එළියෙදි නිදහසක් තියෙයි කියලා."

"ඒ ගැන බයවෙන්න එපා...එළියෙ ඕන තරම් මිනිස්සු ඉන්නවනෙ. අපි හයිලයිට් වෙන්නෙ නෑ."

ඒ මොකක්ද කිව්වෙ?? එළියෙ මිනිස්සු ගොඩක් ඉන්න එකම තමා ප්‍රශ්නෙ...අනික මේ ලංකාව. කොල්ලො දෙන්නෙක් එකට ඉන්න එකම මදිද හයිලයිට් වෙන්න.

"ලවන් මේ UK නෙවෙයි ලංකාව හොඳද...?"

මම කෝකටත් කියලා මතක් කරලා දුන්නත් ලවන් ඒකට හිනාවුණා.

"මම කිව්වනෙ...ඒ ගැන බයවෙන්න එපා. අපිට එළියෙදි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒත් මෙහෙම අපි දෙන්නා විතරක් ඉන්න තැනක මට වුණත් කරන්න පුලුවන් දේවල් අඩුයි."

"ම්-මොකද්ද?? ඔයාට කරන්න පුලුවන් දේවල් කිව්වෙ...?"

මට ඒ අපබ්‍රංසෙ තේරෙන්නැතුව ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියත් ලවන් හිටියෙ කිසිම කලබලයක් නැතුව.

"You'll know...eventually. දැන් හොඳ ළමයා වගේ ගිහින් ඉඳගන්නකො 8.30ටත් ළඟයිනෙ. අද ප්‍රැක්ටිස් ඉන්නවනෙ?"

ගාණට කතාව වෙනස් කරා නේ...කමක් නෑ මම දැනගන්නම්කො ඔය කොරන්න පුලුවන් දේවල් මොනවද කියලා. මම කටත් ඇද කරගෙන හිටියත් ලවන් ඒ බලන් ඉන්න විදිහට කේන්ති ගන්නවත් බෑනෙ අප්පා. මම ආයෙම බිම බලාගත්තෙ මගෙ කම්මුල් රෝස පාට වේගෙන එනවා කියලා මට තේරුණ නිසා.

"ඔහොම හැම වෙලේම රෝස මලක් වගේ පාට වෙන්න ගියොත්නම් මට මෙතන උගන්නන්න වෙන්නෑ හොඳේ...කෝ ඉතින් ඉඳගන්න ගිහින්. මම ඉක්මනට එන්නම්."

එහෙම කියපු ලවන් මට කිසි දෙයක් කියන්නවත් නොදී දොරත් ඇරන් එළියට ගියා. රෝස මලක් කියලද ඒ කිව්වෙ?? අනේහ්හ්හ් මට දැනෙනවා නිකන් මගෙ බඩ දඟලනවා වගේ අමුතු ෆීලින් එකක්. මෙතනම කකුල් පණ නැතුව ඇදගෙන වැටෙන්න කලින් මම සීට් එකට ගිහින් ඉඳගත්තා. දැන්නම් එක එක්කනා ක්ලාස් එකට එන වෙලාව. මම තාමත් අර කලින් දැනුණ ෆීලින් එක දරාගන්න බැරුව මගෙ බෑග් එක බදාගෙන එක කම්මුලක් ඒකට තියලා තද කරගෙන හිටියා.

"අපෙ අප්පේ...තක්කාලි ගෙඩියක් වගේ මූණෙ හැටි."

"අනේ මේ ටිනාශා...!"

*******

උදේ වරුව නොදැනිම ගෙවිලා ගියා. ඉන්ග්ලිශ් කෝස් එක කොහොමත් වෙලාව යනවා දැනෙන්නෑ. නිකන්ම ඉඳගෙන අහගෙන ඉන්නවා විතරක් නෙවෙයි ස්පීච්, ඩ්‍රාමා වගේ ප්‍රැක්ටිකල් දේවලුත් තියන නිසා. ඒ වගේ දේවල් තියෙද්දි කොහොමත් ක්ලාස් එක බෝරින් නෑ. මටනම් කොහොමත් බෝරින් නෑ ඉතින්...ඒක වෙනම කතාවක්.

ඊට පස්සෙ අපි කාලා එහෙම ආවෙ ප්‍රැක්ටිස් පටන් ගන්න. අපෙ ක්ලාස් එකෙන් මගෙ අයිටම් එකට අමතරව තව ගෲප් ඩාන්ස් එකක් තියනවා. ටිනාශා ඉන්නෙ ඒකෙ. ඉතුරු අය ඩ්‍රාමා එකක් කරනවා.

අපිට ප්‍රැක්ටිස් කරන්න දීලා තියෙන්නෙ හවස එකේ ඉඳන් හතර වෙනකන්. ඒත් දන්නවනෙ ඉතින්...කතා බහ කරලා කට්ටිය ආර්ගිව් කරලා අනම් මනම් ඔක්කෝම ඉවර වෙලා ප්‍රැක්ටිස් පටන් ගද්දි දෙක විතර වෙනවා. ඒත් මෙහෙම ප්‍රැක්ටිස් කරලා බෑ...තව සති තුනයි තියෙන්නෙ. ක්‍රිස්මස් කාලෙත් එක්කම වගේ තමා ටැලන්ට් ශෝ එක තියෙන්න ප්ලෑන් කරලා තියෙන්නෙත්.

මටනම් අමුතුවෙන් ප්‍රැක්ටිස් කරන්න දේකුත් නෑ...කියන්න ඉන්න සෝන්ග්ස් දෙකම මම මීට කලින් සින්ග් කරලා තියනවා. ඒත් එක පොඩි මිස්ටේක් එකක් හරි වුණොත්? ඒ නිසා මාත් අනිත් අය වගේම මහන්සි වුණා.

අන්තිමට හතරට ඉවර වෙන්න තිබ්බ ප්‍රැක්ටිස් පහ පහුවෙනකනුත් තිබුණා. හෙට සෙනසුරාදානෙ...ළමයින්ට රෑ වෙන එක ගාණකුත් නෑ හෙට නිවාඩු නිසා. අනික මෙතන ඉන්න හැමෝම වගේ එන්නෙ වාහන වල, නැත්තම් ගෙවල් වලින් එනවා එක්කන් යන්න. ඒ නිසා කොහොමටත් ප්‍රශ්නයක් නෑනෙ.

මටත් ගෙදර වාහනයක් තියනවා. ඒ කිව්වෙ බයික් එකක් තියනවා...ඒක ගත්තෙ මගෙම සල්ලි වලින්. ගොඩක් වෙලාවට ඕකෙ තමා මම කැෆේ එකට යන්නෙ එහෙම. ආයෙ අප්පච්චිගෙ කාර් එක තියනවා. ඒකනම් මම පාවිච්චි කරන්නෙ අඩුවෙන්. අප්පච්චිට හදිසියකට තියෙන්නෙ ඒකනෙ.

මට බයික් එකේ කැම්පස් එන්න පුලුවන්කම තිබිලත් මම එන්නෙ බස් එකේ. ඇයි අහන්න එපා...මටත් දෙන්න හරි උත්තරයක් නෑ. එක හේතුවක්නම් මේකයි. බයික් එකේ ආවොත් වැව රවුමෙ පයින් එන්න වෙන්නෑනෙ...ඒක නිකන් පිස්සු හේතුවක් තමා ඒත් ඒ ටිකේ හිමීට පයින් එන්න මම ආසයි. අනික ඉතින් මගෙ තෙල් ටිකත් ඉතුරුයිනෙ...බස් එකේ එන්න ඒ හැටි වියදමක් යන්නෑ.

ඒත් අදනම් බයික් එකේ ආවනම් හොඳයි කියලා හිතුණා මට රෑ වුණ නිසා. මොකද ඔක්කොම දේවල් ඉවර වුණේ රෑ හතට විතර. දැන් ඉතින් පලයන්කො මේ රෑ ටවුමට. එක්කො ගෙදරටම පික්මී එකක් දාගන්නවා.

සිනෙලියි ටිනාශයි නම් පහ පහුවෙනවත් එක්කම දාලා මැසේජ් එකක් දාලා තිබ්බා ඒ දෙන්නා යනවා කියලා. ඔව් ඉතින් උන් දෙන්නා කෙල්ලො දෙන්නෙක්නෙ. අනික ටිනාශා ටවුමට යන්නත් එපැයි...ගිය එක හොඳයි ඒ නිසා.

අද ගොඩක් අය ප්‍රැක්ටිස් කරේ ස්ටේජ් එකේමයි...ක්ලාසස් ගොඩක අයත් හිටියා. ඒකයි ටිකක් වැඩිපුරත් එක්ක වෙලා ගියේ. ඇයි ඉතින් අයිටම්ස් කීයක්ද. මම ප්‍රැක්ටිස් ඉවර වෙලා හෝල් එකේ කොනක් අල්ලගෙන ආපහු ගිටාර් එක කවර් එකට දාගද්දි මම දැක්කා ලවන් මගෙ පැත්තට එනවා.

"ඔයා යන්නද විදුර්...?"

"ඔව්...ඔයා තව ඉන්නවද?"

"නෑ දැන් හැමෝම යන්න වගේ යන්නෙ. මමත් යනවා ස්ටුඩන්ට්ස්ලා ගියාට පස්සෙ. ඔයා කොහොමද යන්නෙ?"

"පික්මී එකක්වත් දාගන්න බැලුවෙ...මේ රෑ තනියම ටවුමට යන්න බෑ."

"ඔයා කැමතිනම් තව පොඩ්ඩක් ඉන්න...මාත් එක්ක යමු."

ලවන් කියද්දි මම නළල රැලි කරන් එයා දිහා බැලුවා. මොකද එයා ඉන්නෙ මේ කැම්පස් එක ළඟම තියන අපාට්මන්ට් එකක, එන්නෙ යන්නෙත් පයින්. ඉතින් එයා එක්ක යමු කියන්නෙ??

"ඒ කිව්වෙ...ඔයා ඉන්නෙ මේ ළඟනෙ ලවන්."

"අද ටවුමට යන්න ඕනෙ බඩු ටිකක් ගන්න. අපි දෙන්නා පයින් යමු...ඇයි කැමති නැද්ද?"

ඕක අහන්නත් දෙයක්ද?? දැන් දවස් තුනකට විතර කලිනුත් මම හිතුවනෙ මේ වැව රවුමෙ රෑක ඇවිදන් යන්න තිබ්බනම් කියලා. ඒ හිතුවිල්ල මෙච්චර ඉක්මනට හැබෑ වෙයි කියලා මම හිතුවෙ නෑ...අනික ලවන් එක්ක?? මම නිකන්ම කැමති නෙවෙයි ගොඩක් ගොඩක් ගොඩා...ක් කැමති.

"ඒත්...ඔයා ආයෙ එන්නෙ?"

"සිතුම්ය අපාට්මන්ට් එකට එන්නෙ ඒ වෙලාවට... මට එයා එක්ක එන්න පුලුවන්."

"මම- ඉන්නම්..."

මම කියද්දි ලවන් හිනාවුණා. නොපෙන්නුවට එයාටත් ගොඩක් සතුටු හිතුණා මං හිතන්නෙ. ලවන් වචනෙන් නොකිව්වට මාත් එක්ක ඉන්න තප්පරේටත් ගොඩක් කැමති කියලා මට තේරිලා තියනවා...හරියට මේ ගතවෙන වෙලාව කවුරුහරි උදුරලා ගයි වගේ.

"එහෙනම් මම එනකන් ඉන්න හොඳද...ඉක්මනට එන්නම්."

එහෙම කියපු ලවන් ආයෙම ලෙක්චරර්ස්ලා ගාවට ගියා. ඔව් ඉතින් එයාට එහෙම ආවට ගියාට යන්න බෑනෙ...ළමයි ගැන වගකීමක් තියනවා.

විනාඩි දහයකට පස්සෙ අපි දෙන්නා හිටියෙ කැම්පස් එක ඉස්සරහ. රෑ හතත් පහුවෙලා...ඒ වෙලාවට වාහනත් මහ ගොඩක් නෑ. වැව රවුමෙ මිනිස්සුත් මහ ලොකුවට නෑ. පාර මාරු වුණ ගමන් ලවන් මගෙ උරහිසින් යන්තම් අල්ලලා මාව අයිනට කරා. ඔහොම පොඩි දේවල් වලට තමා ඉතින් මගෙ බඩේ සමනල්ලු එකා දෙන්නා ඇහැරෙන්නෙ.

ටික දුරක් ඇවිදන් එනකන්ම අපි දෙන්නා අතර කතාවක් තිබ්බෙ නෑ. ටික වෙලාවකින් ලවන්ම ඒ නිශ්ශබ්දතාවෙ බින්ඳා.

"ඔයා සින්ග් කරනවා ගොඩක් ලස්සනයි විදුර්...අහන් ඉන්න ආසා හිතෙනවා."

ලවන් කියද්දි මම හිනාවෙලා බිම බලාගත්තා. වෙලාවට රෑ වුණේ...රෝස පාට පේන්නෑනෙ.

එයා නිතරම ඕක කියනවා...ආසා හිතෙනවා එතකොට. මම සින්ග් කරනවා අහපු මුල්ම වතාවෙත් කිව්වා, ඊට පස්සෙ කෝල් කරාමත් කිව්වා, මට මගෙ පරණ වීඩියෝ එකක් එවලත් කියලා තිබ්බා එයා ඒකට ගොඩක් ආසයි කියලා. දැනුත් ආයෙම කියද්දි...

"ඔයා ඒ තරම් ආසද මම සින්ග් කරනවට...?"

"ම්ම්...හැමදාම අහන් ඉන්න තියනවනම් කියලා හිතෙනවා."

ලවන් එහෙම කියද්දි මම ඉස්සරහට ඇවිත් එයාට මූණලා හිටගත්තා. ලවන් එතනම නැවතිලා මගෙ දිහා බලාගෙන හිටියා. ස්ට්‍රීට් ලයිට් එළියත් එක්ක එයාගෙ ඇස් දෙකට අමුතුම පාටක් ඇවිත් තිබ්බෙ. කොහොමත් එයාගෙ අලු පාට ඇස් දෙකට වෙන මොන පාට එළියක් වැටුණත් ඒ පාට එක්ක අලු පාට මික්ස් වෙලා වෙන ලස්සන පාටක් එනවා. එහෙම වුණාම ලස්සනයි. එයාගෙ මූණෙ හැඟීම් හොඳටම පේන්න ගන්නෙ එතකොට.

"ඉතින් මං හැමදාම සින්ග් කරන්නම්කො..."

"ඔයාට විශ්වාසද...?"

"ඔව්...ඇයි ඔයාට විශ්වාස නැද්ද?"

මම අහද්දි ලවන් ලොකු හුස්මක් පහළට දාලා ආයෙම ඇවිදන් යන්න ගත්ත නිසා මම කලින් විදිහටම එයාගෙ අයිනට ආවා.

"මට...විශ්වාසයි. ඒත් සමහර දේවල් ගැන බයයි විදුර්."

"ඇයි...ඔයාට මොකක්ද තියන ප්‍රශ්නෙ ලවන්?"

මට තේරෙනවා එයා මොකක්හරි ලොකු දෙයක් හිතේ තියන් ඉන්නෙ කියලා. මීට කලිනුත් එයා කීප වතාවක්ම කතා කර කර ඉන්න ගමන්ම ඔහොම මූඩ් ගහනවා.

"ප්‍රශ්න නම් එකක් නෙවෙයි..."

"මට කියන්න බැරි දේවල්ද...?"

මම ලවන් දිහා බලාගෙන අහද්දි එයත් මගෙ දිහා බලලා හිනාවෙලා කම්මුල ඇඟිලි තුඩු වලින් ඇල්ලුවා, උදේ වගේම.

"බැරි දේවල් නෙවෙයි...අපි හිමීට කතා කරමු."

"ම්ම්..."

මම ආයෙ එයාගෙන් ඒ ගැන අහන්න ගියෙ නෑ. ලවන්ට පුලුවන් වෙලාවක කතා කරයිනෙ. අනික මේ මොහොතෙ මේ වෙලාවෙ ප්‍රශ්න ගැන කතා කරන්න මට ඕන වුණේ නෑ.

"ඔයා හෙට සින්ග් කරනවා නේද...?"

"ඔව්...එනවද බලන්න?"

"මම එන්නම් කියලා තමා හිතුවෙ-"

"What?!? Seriously...?"

මම හිතාගන්න බැරි විදිහෙ සතුටකින් කිව්වෙ ලවන්ගෙ මැණික් කටුව ගාවින් අල්ලගන්න ගමන්. ඇයි ඉතින්...සතුටුයිනෙ.

"ඔව්...ඔයාට ඔච්චර සතුටුයිද?"

"නැතුව...එහෙනම් හත වෙන්න කලින් ඇවිල්ලා ඉන්න ඕන හොඳද??"

මම තාමත් ලොකු උද්‍යෝගෙකින් කියද්දි ලවන් හිනාවෙලා ඔලුව වැනුවා. එයා මගෙ පෆෝමන්ස් බලන්න එනවා!! මම ආපු සතුටට ලවන්වත් පාස් කරලා ටිකක් ඉස්සරහට ගියා.

කොහොමත් අපි දෙන්නා වැව රවුමෙ මැද හරියක තියන බස් හෝල්ට් එක ගාවට ඇවිත් හිටියෙ. එතනම තියනවා ලොකු ගහක් එක්ක ඒ ගහ වට කරලා හදපු බැම්මක්. ඒක පිටිපස්සෙන් දෙන්නෙකුට එකවැර යන්න අමාරුයි. ලවන් පිටිපස්සෙන් එන නිසා මම එතන පාස් වෙනකන් ඉස්සරහින්ම ගියා.

"විදුර්..."

එක පාරට ලවන් කතා කරනවා ඇහුණ නිසා මම නැවතිලා පිටිපස්ස බැලුවා. එයා ගහ ගාව බැම්ම ගාව ඉඳලා වැව දිහා බලාගෙන ඉන්නවා.

"අපි...ටිකක් මෙතන ඉඳලා යමුද?"

ලවන් අහපු විදිහට මම එයත් එක්ක හිනාවුණා. එයත් මම වගේමයි...අපි දෙන්නා ගොඩක් කැමති එකම විදිහෙ දේවල් වලට. රෑ වෙලා වැව පැත්තෙන් එන සීතල හුළඟ මූණෙ වදිද්දි එයත් එක්ක කතා කර කර ඉන්න්න එක...හරියට පොතක තියන ලස්සන කතාවක කොටසක් වගේ මගෙ හිතේ මැවුණා.

මම මුකුත් නොකියා එයා ගාවට ගිහින් ගිටාර් එක බිමින් තියලා එයාට එහා පැත්තෙන් බැම්මට හේත්තු වුණා. ආයෙමත් සැරින් සැරේ යන වාහන සද්දයි වැවෙන් එන හුළං සද්දෙයි ඇහෙන්න අපි දෙන්නා අතර වෙන කිසිම සද්දයක් තිබ්බෙ නෑ.

"මෙහෙම ඉන්න එක නිදහස් නේද..?"

මම ලවන් දිහා බලලා අහද්දි එයා එයාගෙ ඇස් මාළිගාව පැත්තෙන් ගලවගෙන මගෙ ඇස් එක්ක සමාන්තර කරා.

"ම්ම්...විශේෂෙන්- ඔයත් එක්ක ඉද්දි."

ලවන් කිව්වෙ මගෙ ඇස් දිහා බලාගෙනමයි. ඒ කියපු විදිහට මගෙ බඩේ සමනල්ලු තටු ගහන්න ගන්නවා වගේ දැනුණ නිසා මම එයාගෙ ඇස් මඟෑරලා බිම බලාගත්තා.

"ඔයා මාළිගාවට ගිහින් තියනවද ලවන්...?"

මම ඇහුවෙ උත්තරේ අනුමාන කරලමයි.

"නෑ මම- මම ආවා විතරයිනෙ."

එයා නිකන් වැරැද්දක් කරපු පොඩි එකෙක් ගාණට කියද්දි මම හිනාවෙලා එයාගෙ අත යන්තම් අල්ලලා මිරිකුවෙ ඒකෙ ප්‍රශ්නයක් නෑ කියන්න.

"දවසක යමු...මම එක්කන් යන්නම්."

"ඔයා නිතර යනවද...?"

"ම්ම්...ගොඩක් වෙලාවට. මම ගොඩක්ම යන්නෙ සෙනඟ අඩු නිදහස් වෙලාවට. ඕන තරම් වෙලා වන්දනා කරන්න පුලුවන්නෙ...අනිත් එක ලවන්, සමහර ප්‍රශ්න තියනවා...අම්මා, අප්පච්චිට හරි ළඟම යාලුවන්ට හරි කිව්වත් හිතට නිදහසක් දැනෙන්නැති. එහෙම වෙලාවට මම අනිවාර්යෙන් එන්නෙ මාළිගාවට. හිතට කියාගන්න බැරි ලොකු නිදහසක් දැනෙනවා එතකොට."

ලවන් ඒකට මුකුත් කිව්වෙ නෑ...හැබැයි මම කියන දේටම අවධානෙ දීලා මගෙ දිහා බලන් ඉද්දි මම දිගටම කතා කරගෙන ගියා.

"මම ඔයාවත් එක්කන් යන්නම්...ඔයාගෙ හිතේ ඔය තියන හැම ප්‍රශ්නෙම හිතලා හිත නිදහස් කරගන්න. අපි මාළිගාවට යන්න ඕනෙ ප්‍රශ්න අරගෙන නෙවෙයි තමයි. අපි යන්න ඕන වන්දනා කරන්න. ඒත්...එහෙම ගියාම ඉබේම හිතේ තියන ප්‍රශ්න අඩු වෙලා හිත සැහැල්ලු වෙනවා ලවන්. ඒක ඔයාටම තේරෙයි."

"මම එන්නම්...අපි යමු දවසක."

ලවන් විශ්වාසෙන් හිනාවෙලා කියද්දි මමත් ඔලුව වනලා ආපහු මාළිගාව දිහා බැලුවා. ඒ දිහා මෙහෙම එළියෙන් ඉඳන් බලන් හිටියත් තියෙන්නෙ සැනසීමක්. අපි දෙන්නා තව විනාඩි පහක් විතර එතන ඉඳලා ආයෙම එන්න ආවා.

ඒ එනකන්ම මම ලවන් එක්ක කිය කිය ආවෙ මාළිගාව ගැන, ඒකෙ ඉතිහාසෙ, පෙරහැර ගැන, සාමාන්‍යයෙන් එදිනෙදා වෙන වතාවත් ගැන මම කිව්වා. ලවන් ඒවා අහන් හිටියෙ ගොඩක් ආසාවෙන්. ඒ අතරෙ මම ඉතින් පොඩ්ඩක් මාතෘකාවෙන් පිට ගිහින් අම්මයි අප්පච්චියි යාලු වෙලා ඉන්න කාලෙ නිතර මාළිගාවට ආපු හැටි ගැනත් කියෙව්වා.

"සාමාන්‍යෙන් කපල් එකක් යාලු වුණ ගමන්ම මාළිගාවට එනවා...ඒක චාරිත්‍රයක් එහෙම නෙවෙයි. ඒත් ගොඩක් අය එහෙම කරනවා."

"ඇත්තට...ඇයි ඒ?"

"හේතුවක් තියනවා...මම කියන්නම්කො."

මම එහෙම කියලා හිනාවෙලා ආයෙම ලවන්ව පාස් කරලා ගියා.

"ඉතින් ඔයත් එහෙම ගිහින් තියනවද...?"

ලවන් ඒක ඇහුවා විතරයි මම එහෙම්ම බ්‍රේක් කරලා අනිත් පැත්ත හැරුණෙ ඉනට අත් දෙකත් තියාගෙන.

"මම මීට කලින් කා එක්කවත් යාලු වෙලා නෑ මනුස්සයො..."

මම කියපු විදිහට ලවන් හයියෙන් හිනාවෙලා මගෙ ගාවට ඇවිත් හිටගත්තා.

"ඒකත් එහෙමද...ඇයි ඉතින් ඒ?"

"ඇයි අහන්නෙ...මගෙ ටයිප් කවුරුත් හම්බුන්නැති නිසා."

"දැන් මොකක්ද ඔයාගෙ ටයිප් එක එතකොට?"

"ෆික්ෂනල්..."

හපොයි පුතේ කියවුණා නේද? මට මොන පිස්සුවක් තියනවද කියලා හිතයිද දන්නෑ දැන්. මෙච්චර වෙලා හැම දේම ලිමිට් එකක් නැතුව කියවලා ඒකත් ඉබේම කියවුණානෙ.

ඇත්තම කතාව ඉතින් මෙච්චර බොක්කෙ ෆිට් වෙන ටිනාශයි සිනෙලියිත් හිනාවෙනවා මම කැමති ටයිප් එක ෆික්ෂනල් කිව්වම. ඒක ඉතින් තේරෙන්නෙ පොත් කියවන අපිටම විතරයි. එහෙම එකේ ලවන් මොනවා හිතුවද දන්නෑ...වැඩිය මුකුත් හිතන්නෑ ඉතින් එකෙන්ම මොංගල් කියලා හිතන්න ඇති.

ඒක කිව්ව ගමන් ලවන් ඇස් දෙක හීනි කරලා නළල රැළි කරලා බලපු විදිහට මට පොළව පලන් යන්න හිතුණා. මම ශේප් එකේ එයාගෙ ඇස් මඟෑරලා ආපහු හැරිලා යන්න හැදුවත් ලවන් මගෙ උරහිසින් අල්ලලා මාව නැවැත්තුවා. මම බිම බලාගෙනම හිටියා.

"මොකද්ද ඒ කිව්වෙ...ෆික්ෂනල්??"

"න්-නෑ ඒක...මම නිකන් කිව්වෙ. හිතන්න එපා අපි යමු-"

මම කියලා ඉවර කරන්නත් කලින් ලවන් මගෙ නිකටින් අල්ලලා පොඩ්ඩක් ඉස්සුවා. ඒ වෙලේ වටේ පිටේ කවුරුත් හිටියෙ නෑ. වාහනත් විනාඩි දහයකට එකක් වගේ ගියේ. අනික රෑ වෙලත්නෙ...අපි දෙන්නට ඕන තරම් නිදහස තිබුණා.

"නෑ කියන්න විදුර්... ඔයා ඇයි එහෙම හිතන්නෙ?"

ලවන් මගෙ ඇස් දෙක දිහා බලාගෙනම ඇහුවා. ඒ ඇස් වල අනිත් අයගෙ වගේ විහිලුවක්, ජජ්මන්ට් එකක් ගෑවිලාවත් තිබුණෙ නෑ. එයාට ඇත්තටම ඒ ගැන අහන්න ඕනෙද...මට පිස්සු කියලා හිතලා නැද්ද ඒ කියන්නෙ.

"මම කියන්නෙ ලවන්- නෑ මේකයි ඔයත් පොත් කියවනවනෙ..."

"ම්ම්..."

"ඔයා දන්නවනෙ...එයාලා එයාලගෙ පාර්ට්නර්ට සලකන විදිහ. ෆික්ෂනල් බෝයිෆ්‍රෙන්ඩ්ස්ලා එයාලගෙ පාර්ට්නර්ටම විතරක් නොසෑහෙන්න ආදරේ දෙන විදිහ, අනිත් හැමදේම කැප කරලා වුණත් එයා හිනාවෙනවා විතරක් දකින්න එයා එක්කම විතරක් ඉන්න ආසා විදිහ, මහා ලොකු දේවල් නෙවෙයි පොඩි පොඩි දේවල් කරලා එයාව සතුටින් තියන විදිහ...හරියට දවස ගානෙ මල් පොකුරක් දෙනවා වගේ පොඩි දෙයක්. ඇස් දාහක් අස්සෙ වුණත් එයාවම විතරක් හොයන විදිහ, අවුරුදු ගාණක් හරි එයා වෙනුවෙන්ම බලන් ඉන්න විදිහ, එක පොඩ්ඩක්වත් එයාට රිද්දන්නැතිව එයා ගැන කෙයාර් කරන විදිහ,වෙන කිසිම දෙයක් නැතුව එයාගෙන් ආදරේ විතරක්ම බලාපොරොත්තු වෙන විදිහ...මම ගොඩක් ආදරෙයි ඒ විදිහට."

මම මීට කලින් කාටවත් කියලා නැති ගොඩක් දේවල් ලවන් එක්ක කියලා එයා දිහා බලද්දි එයා කලින් වගේම ලස්සනට හිනාවෙලා මගෙ දිහා බලාගෙන හිටියා. එයාගෙ ඇස් ආයෙමත්...දියමන්ති වගේ දිලිසෙන්න ගද්දි මට ඇතිවුණු විශ්වාසෙත් එක්ක මම දිගටම කතා කරගෙන ගියා.

"එහෙම ආදරේ කරන අය...මම දන්නෑ ඇත්තටම ඉන්නවද කියලා. ඒත් ෆික්ෂනල් කැරැක්ටර්ස් වල ආදරේ ගැන කියවද්දි මට ලෝබයි. එහෙම ආදරයක් ලබන්න කවුද ආසා නැත්තෙ?"

"විදුර් ඔයා..."

ලවන් කියන්න ගිය එක නවත්තලා ආයෙම මගෙ ඇස් දෙක දිහා බලාගෙන හිටියා. එයාගෙ ඇස් වල තියන හැඟීම් මට කියවගන්න බෑ...ඒත් මම කියපු හැමදේම එකක් නෑර අහගෙන හිටපු ලවන් මගෙ දිහා බලාගෙන හිටියෙ මට කියන්න ගොඩක් දේවල් එයාගෙ ඇස් අස්සෙ හංගගෙන කියලා මම දන්නවා.

"ලවන්...?"

"එච්චරද...තව මුකුත්ම නැද්ද?"

ඒ කියන්නෙ මගෙ මේ පිස්සු අයිඩියා එක ගැන අහන්න එයා ආසද. මට හිත ඇතුළෙන් අමුතු සතුටක් දැනුණා ඒකට.

"තව...ඕහ් ශිට්!!!"

මම කල්පනා කර කරම අඩියක් පස්සට තියන්න ගියා විතරයි වැව රවුමෙ තිබ්බ බංකුවක හැප්පිලා මාව පිටිපස්සට ඇදගෙන වැටෙන්න ගියා. එක පාරටම ලවන් මගෙ ඉන වටේ අත දාලා මාව අල්ලගත්තත් එයත් මාත් එක්කම ටිකක් පහළට ඇදිලා ආවා.

මම වැටෙන්න ගිය විදිහටම පහළට නැවිලා ඉද්දි ලවන් මගෙ ඉන වටේ අත දාගත්ත විදිහටම මගෙ ඇඟට හිරවෙලා මාව අල්ලගෙන හිටියා. අපි දෙන්නගෙ මූණෙ තිබ්බෙ අඟල් ගාණක පරතරයක්. මම එහෙමම බයවෙලා ලවන්ගෙ මූණ දිහා බලන් හිටියා.

"තව මේ වගේ දේවල් වලට...එහෙමද?"

ලවන් මගෙ මූණ ගාවටම වෙලා එයාගෙ ගැඹුරු කටහඬින් අහද්දි මට ඇත්තටම වචන නැතුව ගොලු වුණා. මේ වගේ දේවල් වලට?? ඔව්...මේකත් හරියටම ෆික්ෂනල් සීන් එකක් වගේ නේන්නම්.

මම තවත් ලවන්ගෙ බැල්ම දරාගන්න බැරුව කෙලින් වුණාම ලවන් මාව අතෑරලා එහාට වුණා. එයාගෙ තිබ්බෙ හරි දඟකාර හිනාවක්. මට ආපු ලැජ්ජාවත් එක්ක ලවන්ගෙ ඇස් මඟෑරපු මම ආයෙම ඇවිදගෙන එන්න ගත්තා. අපි දෙන්නා ටවුමට කිට්ටු කරලා තිබ්බෙ, වැව රවුම පටන් ගද්දිම තියන බස් හෝල්ට් එක ගාව.

ලවන් මාත් එක්කම සමාන්තරව ඇවිදගෙන ආවා...එයාගෙ මූණෙ අමුතු ලස්සන හිනාවක් තියනවා කියලා මට පේනවා. ඒත් මම එයා දිහා බැලුවෙ නෑ. මම හිතුවෙම ලවන් මට පිස්සු කියලා හිතයි කියලා...ඒත් මට හම්බුණේ ඊට වඩා වෙනස් රිඇක්ශන් එකක්නෙ. එයාගෙ ඇස් දෙකේ තිබ්බ හැඟීම් වෙනදටත් වඩා වැඩියෙන් මම දැක්කා.

ඒත් එක්කම මට දැනුණා ලවන් එයාගෙ අත මගෙ අතේ යන්තම් පටලගන්නවා...ඒ කියන්නෙ එයාගෙ ඇඟිලි යන්තම් මගෙ ඇඟිලි අතරින් යන විදිහට. මම අපෙ අත් දෙක දිහා බලලා එයා දිහා බැලුවම එයත් මගෙ දිහා බලාගෙන හිටියා...හරියට අවසර ඉල්ලනවා වගේ.

මම මගෙ ඇඟිලි තව ටිකක් එයාගෙ ඇඟිලි අතරින් යැව්වම එයා තද කරලම මගෙ අත අල්ලගත්තා. මම අපි දෙන්නගෙ පැටලුනු අත් දෙක දිහා බලලා හිනාවුණා. මට ඒ වෙලාවෙ දැනුණෙ...මට වචන වලින් කියන්න තේරෙන්නෑ. මට ඒ මොහොතෙ අනිත් හැමදේම අමතක වුණා. හරියට මේ වෙලාවෙ, මේ මොහොත අයිති අපි දෙන්නටම විතරක් වගේ.

මම තවත් ටිකක් ලවන්ට ළං වෙලා මගෙ අනිත් අතින් එයාගෙ අත වැලමිට ගාවින් බදාගත්තා. මගෙ ඒ ටච් එක දැනුණ ගමන්ම ලවන් නැවතුනා. මම එයාගෙ උරහිස ගාවින් නිකට තියලා ඇස් වලින් ඇයි කියලා ඇහුවම එයා මුකුත් නෑ කියන්න ඔලුව වැනුවා.

අපි හිටියෙ වැව රවුමෙන් සහස් උයනට යන්න තියන උමඟ ගාව. එතන කොහොමත් ඔය වෙලාවට කවුරුත් නෑ. අපි දෙන්නා තව විනාඩි ගාණක් ඒ විදිහටම වැව දිහා බලාගෙන හිටියා. මම ලවන්ගෙ උරහිසට හේත්තු වුණාම එයා එයාගෙ කම්මුලක් මගෙ ඔලුවට හේත්තු කරගත්තා.

මට ඇහුණා ලවන් සැනසීමෙන් වගේ ලොකු හුස්මක් පහළ දානවා. මට ඒ වෙලේ දැනුණෙ කියාගන්න බැරි තරම් ලොකු සතුටක්. මට මීට කලින් මෙහෙම හැඟීමක් දැනිලා තිබුණෙ නෑ...අපි දෙන්නා අතරෙ තිබ්බෙ ආකර්ෂණයක්, කැමැත්තක් ඒ මොකක් වුණත් ඒ හැඟීම එන්න එන්න වැඩිවෙනවා කියලා මට තේරෙනවා.

හරියට...හරියට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ. මට ඒ දැනෙන හැඟීමත් එක්ක තව ටිකක් ලවන්ට ළං වෙලා උරහිසට හේත්තු වෙලාම ඇස් දෙක පියාගත්තා. ලවන් එයාගෙ අනිත් අතින් එයාගෙ වැලමිට බදාගෙන හිටපු මගෙ අත යන්තම් පිරිමදිනවා මට දැනුණා. එයත් හිටියෙ ගොඩක් සතුටින්. අපි දෙන්නා කිසි දෙයක් කතා කරේ නෑ...එහෙම කතා කරන්න ඕන වුණෙත් නෑ. අපි දෙන්නගෙ ඇස්...පොඩි ටච් එකක් කියන්න ඕනවටත් වඩා දේවල් මේ වෙද්දිත් කෑගහලා කියලා තිබුණා.

ඒ මොහොත ගොඩක් ලස්සන විදිහට මගෙ හිතේ තැනක තැන්පත් වුණා...අපි අතරෙ ලොකු දෙයක් වෙන්න නැතුවැති. ඒත් එයා ගැන මගෙ හිතේ තිබ්බ හැඟීම...ඒ ආදරේමයි කියලා තේරුම් ගත්ත ඒ මොහොත මගෙ හිතේ ලස්සනම මතක අතර රැඳුණා.

ඔව්...මට තවත් ඒක හිත හිත ඉන්න තරම් දෙයක් වුණේ නෑ. මම ලවන්ට ආදරෙයි...

--------------

හිතෙන දේ කියන් යන්න බලන්න 🫠 මට නිකන් අවුල් අවුල් වගේ දැනෙනවනෙ.

තාම ආදරේ ප්‍රකාස කරේ නෑ හොඳේ...මේක ස්ලෝ බර්න් එකක්.

අනික මම අන්තිම සීන් එක ලිව්වෙ එක්තරා සින්දුවක් අහන ගමන්. ඒ සින්දුවේ වයිබ් එකත් එක්ක ලියවුණු විදිහ තමා ඔය. ඒ එක්තරා සින්දුවත් ඉස්සරහට මේකෙ එයි.

Share This Chapter