Back
/ 35
Chapter 34

Part 31

සීමාවෙන් එහා

ජීවිතේ සමහර දවස්, සමහර කාලවල් ගෙවෙන්නෙ නැතුව අපි ළඟම තියාගන්න අපි හුඟක් කැමති. මතක විතරක්ම නොවී ඒ මොහොතෙම ජීවත් වෙන්න තියනවනම්...දවසින් දවස ගෙවිලා යන තප්පරෙත් නවත්තගෙන ඒ මොහොත අපි ළඟම තියාගන්න පුලුවන්නම් අපි කොච්චර කැමතිද.

පහුගිය මාස දෙකම මට දැනුණෙ ඒ වගේ. ගෙවිලා යන හැම මොහොතක්ම ලවන් මගෙන් ඈතට යන දවස ළං කරනවා. සමහර වෙලාවට මම ලවන්ව තද කරලා බදාගෙන විනාඩි ගානක් ඉන්නවා. අප් දෙන්නම මුකුත් කතා කරන්නෙ නෑ...අපි කවුරුත් ඇඬුවෙත් නෑ. ඒත් එයාගෙ තුරුලෙ ඉන්න ඒ පොඩි මොහොතත් මට ලොකු සැනසීමක් ගෙනාවා.

ඇස් පියාගෙන එයාගෙ පපුවෙ ගැස්ම අහන් ඉන්න ඒ හැම මොහොතකම මං හිතුවා අනිත් හැමදේම නරක හීනයක් වෙලා ලවන් මං ගාවම ඉන්නවනම් කියලා. ඒත් ඇස් ඇරලා එයාගෙ උණුහුමෙන් ඈත් වෙන තප්පරේට රියැලිටිය මොකද්ද කියලා මට මතක් වුණා.

මේ මාස දෙකටම මම ඇඬුවෙ නැති තරම්...මම දුකින් ඉන්න තරමට ලවන්ගෙත් හිත රිදෙනවා කියන්න මම දන්නවා. ඒ නිසා අපි දෙන්නම පුලුවන් තරම් සාමාන්‍ය විදිහට හිටියා. හිත ඇතුලෙන් පිච්චෙනවා වගේ වුණත් අපි දෙන්නා ඒ මුකුත් නොදැනෙන ගානට හිනාවෙලා හිටියා.

ඒ අතරෙම මගෙ ෆස්ට් ඉයර් එකත් ඉවර වුණා...කලින් වගේම මේ පාරත් ලවන් එක්සෑම් මාසෙම මාව මෝටිවේට් කරන ගමන් මං ගාවින්ම හිටියා. ඒ කාලෙ ඇතුළත වෙන කිසිම දේකින් හිත රිද්දගන්න ලවන් මට ඉඩ තිබ්බෙ නෑ.

මේසෙ උඩම නින්ද යන සමහර වෙලාවට ඇහැරෙද්දි මම හිටියෙ ඇඳ උඩ. ඒ ඇහැරෙන සමහර වෙලාවල් වලදි ලවන් සනීපෙට මගෙ ඔලුව අතගාන හැටි මට දැනුනා. මෙච්චර කල්ම මගෙ කාමරේම පාඩම් කරන්න හුරුවෙලා හිටපු මම මේ එක්සෑම් එකේදි ලවන්ගෙ අපාට්මන්‍ට් එකේ පාඩම් කරන්න හුරුවුණේ එහෙමයි. සමහර දවස් වල මම එක්සෑම් එකට ගියෙත් එහෙ ඉඳන්.

ෆස්ට් සෙමෙස්ටර් එක්සෑම් එක වගේම මේ පාරත් හොඳට එක්සෑම් එක කරගන්න අන්තිමට මට පුලුවන් වුණා. අගෝස්තු අන්තිම සතියෙ මට එක්සෑම් එක ඉවර වුණ දවසෙම ලවනුත් එයාගෙ ලෙක්චරර් පොසිශන් එකෙන් අයින් වුණා. එදා ලෙටර් එක දෙන දවසෙත් එයාගෙ ඇස් වල හොඳටම කඳුලු පිරිලා තිබ්බෙ.

හවස අපාට්මන්‍ට් එකට ඇවිත් එයා සෑහෙන වෙලා මාව තුරුල් කරන් මගෙ පපුවට හේත්තු වෙලා හිටියෙ. මම එයාට නොදැනෙන්න හිමින් එයාගෙ ඔලුව අතගෑවා.

"මේ තැන මට ගොඩක් විශේෂයි විදුර්...ඔයා මගෙ වෙන්න පළවෙනිම හේතුව වුණ මේ කැම්පස් එකට මම ගොඩක් ආදරෙයි."

ලවන් මාව බදාගෙනම කියපු හැටි මට හොඳට මතකයි. ඒක ඇත්ත...ලවන් මාව මුලින්ම දැක්කෙත් මම මේ කැම්පස් එකට ආපු නිසානෙ. මේ හැම කතාවක්ම පටන් ගන්න හේතුව වුණ තැනට සමු දෙද්දි ලවන්ට මේ තරම් දුක හිතෙන එක මට හොඳට තේරුම් ගන්න පුලුවන්.

"ඔයා එයාපෝට් එකටවත් යන්නැද්ද පුතේ...?"

එක්සෑම් ඉවර වෙලා සති දෙකකට පස්සෙ උදේ වරුවක මම තේ බොද්දි අම්මා ඇහුවා. මම කොහොමද අම්මට තේරුම් කරන්නෙ??

"නෑ අම්මෙ...ඒ දෙන්නා අද හවස යනවා කිව්වා. එයාලගෙ මොනවාහරි ප්ලෑන්ස් ඇතිනෙ. මම උදේ හම්බෙලා එන්නම්."

"එහෙම හරි නෑනෙ ඒ වුණාට...රවී ඔයාවත් කතා කරේ නැද්ද?"

"ඊයෙ කතා කරාමත් ඒ ළමයා කිව්වනෙ එන්න ඕන නෑ කියලා...ඒ ළමයි කැමති විදිහක් කරගයි මාලි."

"ඊයෙ මම කතා කරාමත් එහෙම කිව්වා...ඒත් මගෙ හිතට හරි නෑ චූටි."

"අම්මා ඒක වැඩිය හිතන්න එපා...ලවන් ඉද්දි අම්මා එයාට කොච්චර ආදරෙන්ද හිටියෙ. ලවන්ගෙ හිතේ තියෙන්නෙ ඒ දේවල් විතරයි. අද ආවෙ නෑ කියලා පොඩිම තරහක්වත් ලවන්ගෙ හිතේ නෑ."

මම කෝප්පෙ සෝදලා තියලා අම්මගෙ කර වටේ අත දාන් එයාට හේත්තු වෙන ගමන් කිව්වා. මම මොනවා කිව්වත් ලවන් යද්දි ඒ ළඟ ඉන්න නැති එකට අම්මා දුක් වෙනවා කියලා මම දන්නවා. මේ දැනුත් අම්මගෙ ඇස් වල කඳුලු පිරිලා. ඒත් මේ ඔයාට ඇත්ත කියන්න වෙලාවෙ නෙවෙයි අම්මෙ...ඒ හැමදේම මම හරි වෙලාවෙදි ඔයාට කියන්නම්. එතකන් ඔයාගෙ චූටි පුතාව විශ්වාස කරන්න.

මම අම්මව බදාගෙනම අප්පච්චි දිහා බලද්දි එයා මුකුත් නොකියා යන්තම් හිනාවෙලා වෙන වැඩක් කරන්න ගත්තා. මගෙ වෙලාවට අප්පච්චි ඒ ගැන වැඩිය මුකුත් කතා කරේ නෑ.

කොහොමත් ඔය ගැන ආපු හැම ප්‍රශ්නෙකදිම අම්මා මොනවා ඇහුවත් අප්පච්චි ඒ ගැන ප්‍රශ්න කරන්න ගියෙ නෑ. හරියට...අප්පච්චිට ඒ හැම දෙයක්ම තේරෙනවා වගේ. මටත් යම් දෙයක් නොතේරෙනවා නෙවෙයි. ඒත් කීයටවත් එහෙම වෙන්න විදිහක් නෑනෙ...ලවන් වෙන ලෝකෙකින් ආපු කෙනෙක් කියලා ඒ පරම්පරාවෙ කෙනෙක්ට කිව්වොත් කීයටවත් ඒ ගැන විශ්වාස කරන එකක් නෑ.

ඒ මොන විදිහෙන් හරි අප්පච්චි ඒ විදිහට හැසිරෙන එකට මම ගොඩක් කැමති. මොකද අම්මා වගේ නෙවෙයි...අප්පච්චි ප්‍රශ්න අහන්න ගත්තම බොරු කියලා බේරෙන්න වෙන්නෙ නෑ. මේ නරක කාලෙ පහුවෙලා දේවල් ටිකක් සාමාන්‍ය වුණාට පස්සෙ කොහොමත් මම අප්පච්චි එක්ක මේ දේවල් ගැන කතා කරන්න ඉන්නෙ.

තේ එකත් බීලා උදේට කෑවටත් පස්සෙ මම කාමරේට ගියේ ලෑස්ති වෙන්න. උදේම මැදලා තිබ්බ සුදු පාටට හුරු ලා පාට ශර්ට් එකයි ඒකට ගැලපෙන ඩෙනිම් එකයි අරගෙන ඇඳ උඩින් දාපු මම වොශ් රූම් එකට ගියේ ආයෙම මූණ පොඩ්ඩක් හෝදන් එන්න.

ලෑස්ති වෙලා මට වුවමනා පොඩි පොඩි දේවල් බෑග් එකට දාගත්ත මම පොත් තියන රැක් එක ළඟට යද්දි මගෙන් නොදැනිම හුස්මක් පිටවුණා. Love in the Autumn පොත අතට ගද්දි මගෙ පපුවෙ පැත්තක්ම බර වෙනවා මට දැනුනත් මම ඒ ගැන පොඩ්ඩක්වත් නොහිතා ඉන්න ට්‍රයි කරා.

මේ පොත යන්තම් පෙරලලා බලලා අතට ගත්ත දවසෙ මම පොඩ්ඩක්වත් හිතුවෙ නෑ ඒකෙන් මගෙ ජීවිතේ මේ තරම් වෙනස් වෙයි කියලා. ඒත් මේ පොත, ඒ අස්සෙ හැංගුන අකුරු මගෙ මුලු ජීවිතේම වෙනස් කරා...හොඳ විදිහට, ලස්සන විදිහට.

පොත බෑග් එකට දාගන්න කලින් එක පාරක් මම ඒ උඩින් ඇඟිලි තුඩු අරන් ගියා. ඒ පොතක්ම විතරයි කියලා දැන දැනත් මම ඒ දිහා බලන් හිටියෙ ගොඩක් ආදරෙන්. අන්තිමට පොත අත් දෙකෙන්ම අල්ලලා මගෙ තොල් ගාවට ගත්ත මම පොතේ කවරෙ උඩින් හාද්දක් තියද්දි ඉබේම මගෙ ඇස් පියවුණා.

මම එහෙම කරේ පළවෙනි වතාවට...මොකද මේ තරම් කල් ඔයා මා එක්ක හිටියා. ඒත් අදින් පස්සෙ මාත් එක්ක ඉතුරු වෙන්නෙ ඔයාගෙ මතකයි, ඔයාට පණ දීපු මේ පොතයි විතරයි. මීට පස්සෙ ඔයාගෙ උණුහුමක් මට බලාපොරොත්තු වෙන්න පුලුවන් එකම තැන මේ පොත විතරයි නේද...?

එක පාරටම මම මූණ උඩට හරවගත්තෙ ඇස් වලට උණපු කඳුලු පහළට වැටෙන්නැතිවෙන්න. අපි දෙන්නම පොරොන්දු වුණා ආයෙ අඬන්නෙ නෑ කියලා. මට අඬන්න හේතුවක් නෑ...this isn't goodbye, only 'see you later'. කඳුලු වැටෙන්න නොදීම ලොකු හුස්මක් අරන් පොත බෑග් එක ඇතුළට දාගද්දිත් මගෙ පපුවෙ බර ගතිය ඒ විදිහටම තිබුණා.

මම මාළිගාව ළඟට එද්දි උදේ නවයට විතර. අපිට කැම්පස් නිවාඩු වුණාට අද සතියෙ දවසක්නෙ...ඒ නිසා නුවර මහා ලොකු සෙනඟක් හිටියෙ නෑ. මාළිගාව ළඟ දැනුනෙ වෙනදටත් වඩා නිස්කලංක කමක්.

මම එද්දි ලවන් පුරුදු බෙන්ච් එකේ වාඩිවෙලා හිටියා...මාළිගාවට ඇතුල් වෙන හරියෙන් වැව රවුමෙ තියන පළවෙනි බෙන්ච් එක. මට අපි දෙන්නා මුලින්ම මාළිගාවට ගිය දවස මතක් වුණා. එදත් මම එද්දි ලවන් ඉඳන් හිටියෙ මෙතන. එදා අපෙ හැඟීම් කොච්චර නැවුම්ද...? ඒ වෙද්දි අපි පළවෙනි හාද්දවත් දීලා තිබුණෙ නෑ. මාස දහයකට පස්සෙ අද වෙද්දි අපෙ ආදරේ කොයි තරම් දුර ඇවිත්ද කියලා මතක් වෙද්දිම පපුවෙ දැනෙන බර ගතිය අතරෙන්ම මගෙ මූණෙ හිනාවක් ඇඳුනා.

මම ළඟට යද්දිම ලවන් මාව දැකලා හිනාවුණා. එයාගෙ ඇස් දෙක අදටත් මාව දැක්කම කලින් වගේම ලස්සනට එළිය වෙනවා...මුලින්ම මාළිගාවට ආපු දවසෙ මාව දැක්ක ගමන් ලස්සනට මූණම ආදරෙන් පිරුණා වගේම, සමහරවිට ඊටත් වැඩි ආදරයක් ඇස් දෙකේ පුරවන් ලවන් මාත් එක්ක හිනාවුණා.

"විදුර්..."

"ඔයා ගොඩක් වෙලාද ඇවිත්...?"

"නෑ...විනාඩි දහයක් වගේ. මෙතන නිදහස් නිසා මෙතෙන්ට වෙලා හිටියා."

"ම්ම්..."

මම හිනාවෙලා කියද්දි ලවන් මගෙ අතක එයාගෙ අත පටලගත්තා. මට ඒ වෙලාවෙදිත් මතක් වුණේ අපි දෙන්නා මුලින්ම මෙතෙන්ට ආපු දවස. මේ බෙන්ච් එකේම ඉඳගෙන ලවන් මගෙ අත අල්ලන්න ට්‍රයි කරද්දි මම අත එහාට ගත්ත හැටි...ඒ දවසෙ මම කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ.ඒත් අද...

මගෙ අත අල්ලගත්ත ලවන්ගෙ අත මගෙ අත් දෙකටම මැදි කරලා අල්ලගත්ත මම එයාගෙ උරහිස උඩින් ඔලුව තියාගත්තා. ඒ එක්ක මට දැනුනා ලවන් මගෙ හිස් මුදුනින් හාද්දක් තියනවා.

"මැණික...ඔයා හොඳින්ද?"

"නෑ...ඒත් මම හිත හදාගෙන ඉන්නෙ. පුලුවන් උපරිමෙන්ම."

"...."

"ඔයා...?"

"පපුව රිදෙනවා විදුර්...ඒත් ඔයා කියපු විදිහටම හිත හදාගන්න ට්‍රයි කරනවා."

ලවන් කියද්දි මම ඇස් දෙක තද කරලා පියාගත්තෙ දැනුන වේදනාව ටිකක් හරි කන්ට්‍රෝල් කරගන්න. මෙහෙම ඉන්න තරමට වේදනාව දැනෙනවා වැඩි. ඒ නිසාම මම ලවන්ගෙ උරහිසින් එහාට වෙලා එයා දිහා බැලුවා.

"අපි ඇතුළට යමුද...?"

"ඔව්...පූජාවට කලින් යමු."

එහෙම කියලා ලවන් මගෙ අත අල්ලගෙනම නැගිට්ටා. සතියෙ දවසක් කියලා නෑ...පූජාව වෙලාවට කරඬුව ගාව අතුරු සිදුරු නැතුව පිරෙනවා.  අපි දවල් දානෙ පූජා කරන්නත් ගිහින් තියනවා...ඒත් අද අපි දෙන්නටම ඕන නිදහසේ ඉන්න.

අපි පුරුදු විදිහටම මල්, හඳුන්කූරු වගේ දේවල් අරගෙන මාළිගාව ඇතුළට ආවා. වෙනදා වගේම...ඒ හිත නිවන සුවඳ දැනෙද්දිම මගෙ පපුවෙ තිබ්බ වේදනාව ටික ටික අඩු වෙනවා මට දැනුනා. ඒ වේදනාව සම්පූර්ණෙන් නැතිවෙන එකක් නෙවෙයි තමයි...ඒත් හැමදාම වගේ හැම ප්‍රශ්නයක්ම අමතක කරලා හිත නිවන්න පුලුවන් මායාව අදත් එතන තිබුණා.

වන්දනා කරලා එළියට එද්දි අපි දෙන්නම කලින් හිටියට වඩා සෑහෙන්න හිත හදාගෙන හිටියෙ. අපි දෙන්නා මාළිගාවෙන් එළියට ආවෙ වැව රවුම පැත්තෙන්. එළියට ආපු ගමන් ලවන් මගෙ අතින් අල්ලගද්දි එයාගෙ පුරුදු චියර්ෆුල් ගතිය ලාවට ඇස් වලට ආයෙම ඇවිත් තියනවා මම දැක්කා.

එයත් එක්ක ලස්සනට හිනාවුණ මමත් නිදහස් අතින් ලවන්ගෙ වැලමිට ගාවින් අල්ලගෙන එයාගෙ උරහිසට උඩින් නිකට තියාගත්තා.

"අපි මොකද කරන්නෙ..?"

ලවන් අහද්දි මම හිටපු විදිහටම යන්තම් ඔලුව උස්සලා එයා දිහා බැලුවා.

"අනේ මන්දා...තාම උදේනෙ. ඔයා මොකෝ හිතන්නෙ?"

"අච්චාරු කන්න යමුද...?"

ලවන් කියපු එකට එක පාරට මගෙ කටින් හිනාවක් පැන්නා. ඔව් ඉතින්...මොන දේ වෙන්න තිබුණත්, ඒ කියන්නෙ එයා මං ගාවට ආවත්, මං එයා ගාවට ගියත් ආයෙ මගෙ අච්චාරු පෙරේතයට සහස් උයනෙ අච්චාරු කන්න වෙන්නෙ නෑනෙ.

"මෙච්චර හරියක් වෙලත් තාම අච්චාරුව අමතක නෑනෙ...තවුසෙට මටත් වඩා අච්චාරුව මතක් වෙයි එහෙ ගිහාම."

මම කියපු එකට ලවන් හිනාවෙලා මගෙ කම්මුලක් අල්ලලා මිරිකුවා.

"ඒවා කියන්න බෑ ඉතින්..."

සැක්...එහෙම නෑ මගෙ මැණික තමා මට වැඩියෙන්ම මතක් වෙන්නෙ කියන්න බැරිද?? මම ලවන්ට පයින් පාරක් දෙන්න යද්දිම එයා එහාට පැනලා මගෙ දිහා බලලා කෝචොක් හිනාවක් දැම්මා.

වෙනදා වගේනම් පොඩ්ඩක් ගනන් උස්සලා තරහ වෙන්න තිබ්බා...මොකක්හරි කරලා යාලු කරගන්නකම්. ඒත් අද තරහ වෙවී ඉන්න වෙලාවක් නෑනෙ. ලවන් ආයෙම මගෙ අතින් අල්ලගද්දි මමත් හිනාවෙලා එයාගෙ අතින් අල්ලගෙනම ඉස්සරහට ගියා.

මම ඇවිදන් ගියේ වැව දිහා බලාගෙන. තාම උදේ වරුව නිසා අව්වක් තිබ්බෙත් නෑ...මාරම නිදහස් ගතියක් දැනුනෙ. එක පාරටම ලවන් අල්ලගෙන හිටපු මගෙ අත පිටිපස්සෙන් අදිනවා වගේ දැනුන නිසා මම ඒ දිහා හැරිලා බැලුවා.

මෙච්චර වෙලා එයා දිහා බැලුවෙ නැතත් එයා අත අල්ලන් ආපු නිසා මම හිතුවෙ ලවනුත් මාත් එක්ක ඇවිදන් එනවා ඇති කියලා. ඒත් මම අනිත් පැත්ත හැරිලා බලද්දි ලවන් මගෙ අත අල්ලන්ම නැවතිලා හිටියෙ මට ටිකක් පිටිපස්සට වෙන්න.

මම ඇයි කියලා අහන්න ගියත් ඒ එක්කම ලවන් මගෙ අතින් ඇදලා මාව එයා ගාවට අරන් මගෙ ඉන වටේ අත දාගත්තා. මමත් එයාගෙ උරහිස වටේ අත දාන් එයාගෙ ඇඟට හිරවුණා.

"ලවන්...?"

"මගෙ විදුර්...මෙතෙන්දි තමා මම ඔයාව මුලින්ම දැක්කෙ."

ලවන් මගෙ ඇස් දෙක දිහා බලාගෙන ගොඩක් ආදරෙන් කිව්වා. මම යන්තම් හැරිලා අපෙ පැත්තකින් තියන බිල්ඩින් එක දිහා බැලුවෙ එතකොට. එයා හරි...අපි හිටියෙ සිටිහෝල් එක ඉස්සරහ.

එක පාරට මතක ගොඩක් මගෙ ඔලුවට ආවා. එයා එදා ඈත ඉඳන් මගෙ දිහා බලන් ඉන්න ඇති...අපි දෙන්නගෙ අනාගතේ ගැන කිසිම දෙයක් නොදැන වුණත් එයා සමහරවිට ඒ තප්පරේට හීන ගොඩක් මවන්න ඇති.

"ඒ වෙලාවෙ ඔයාව දකිද්දි මගෙ පපුව ගැහෙන්න ගත්ත විදිහ මට තාම මතකයි විදුර්...එදායින් මාස දහයකට පස්සෙ ඔයා මගෙ වෙලා මෙහෙම මං ගාවම ඉන්න එක මට තාමත් විශ්වාස කරන්න බෑ."

ලවන්ගෙ ඇඟිලි තුඩු මගෙ නළලින් පටන් අරන් හිමින් පහළට යද්දි මම ඇස් පියගත්තා. මම ආයෙම ඇස් ඇරියෙ එයා මගෙ තොල් පරිස්සමට පිරිමදින්න ගද්දි.

"අද මේ තොල් වල අයිතිය මගෙ විතරයි කියලා එදා ඒ ඔයාව මුලින්ම දකින මොහොතෙ හිටපු ලවන්ට කියන්න පුලුවන්නම් මම ඒක කරනවා විදුර්...ඔයා මගෙ කියලා කියන්න මම ඒ තරම් ආඩම්බරයි."

"මේ තොල් මුලින්ම ඔයාගෙ වුණෙත් මෙතෙන්දි...මතකද?"

"ඒක කොහොම අමතක වෙන්නද වස්තුව...?"

ලවන් කිව්වෙ මගෙ නළලට එයාගෙ නළල හේත්තු කරගන්න ගමන්. ඇත්තටම අපි දෙන්නගෙ ආදර කතාවෙ කොච්චර ලස්සන මතක තියනවද...?? එදා මුල්ම වතාවට ලවන්ගෙ තොල් වල රස බලපු දවසෙ ඉඳන් අද වෙනකන් අපි කොච්චර දුර ඇවිල්ලද?

"ඉතින් මගෙ මැණික...පළවෙනි වතාවට ඔයාගෙ තොල් මගෙ වුණ තැනදිම අන්තිම වතාවටත්-"

"එහෙම කියන්න එපා..."

මම ලවන්ගෙ තොල් වලින් මගෙ දබර ඇඟිල්ල තියලා කියද්දිම එයාගෙ මූණෙ තිබ්බ හිනාව ටිකකට නැතිවුණා. එයා කියන්නෙ ඇත්ත වෙන්න පුලුවන්...මොකද එයාට ආයෙම නුවර එන්න තව අවුරුදු සීයක් බලන් ඉන්න ඕන. ඉතින් අනිවාර්යෙන්...මෙතෙන්දි හුවමාරු වෙන අපි දෙන්නගෙ අන්තිම හාදුව මේක වෙන්න පුලුවන්. ඒත් එහෙම කියනවට මම කැමති නෑ...ඒ වෙලාවෙ පපුවට පිහියෙන් අනිනවා වගේ දැනෙන වේදනාව මට දරාගන්න බෑ.

"හරි- හරි...මම ආයෙ එනකම්?"

එයාගෙ වැරැද්ද හදාගන්න වගේ අහිංසක කටහඬකින් ලවන් අහද්දි මම හිනාවෙලා ඔව් කියන්න ඔලුව වැනුවා. ඒ විදිහ ගොඩක් හොඳයි...ඒක අපි දෙන්නම හිත හදාගන්න කරන බොරුවක් වුණත් ඒ වචන ටික ලස්සනයි.

මගෙ අවසරේ ලැබුණත් එක්කම ලවන් පහත් වෙලා මගෙ තොල් වලින් එයාගෙ තොල් තිබ්බා. එයා එහෙම කරේ හරිම සන්සුන්ව...පොඩිම කලබලයක් නැතුව. තප්පර ගානක් යනකන්ම එයාගෙ තොල් මගෙ යටි තොලේ හෙලවෙන්නෙවත් නැතුව රැඳිලා තියෙද්දි මම ඇස් දෙක පියාගෙන ඒ හැඟීම විඳගත්තා. හැමදාම වගේ එයාගෙ තොල් මගෙ තොල් වල දැනෙද්දි ඇඟ පුරාම දුවන හිරිවට්ටන හැඟීම මේ වෙලාවෙත් මට දැනුනා.

ලවන් හිමින් එයාගෙ තොල් මූව් කරලා මගෙ තොල් මාරුවෙන් මාරුවට මැදි කරගද්දි මමත් ඒ පේස් එක මැච් කරන ගමන් ඒ තොල් වල රස බැලුවා. අපි දෙන්නටම කිසිම කලබලයක් තිබුණෙ නෑ. සමහරවිට මේ මොහොතත්...ඈතට යන්නැතිවෙන්න අල්ලලා තියාගන්න පුලුවන්නම් කියලා හිතෙන මොහොතක් වෙන්න ඇති.

ලවන් මගෙ පළවෙනි හාද්ද ඉල්ලගත්ත තැනදිම විනාඩි ගාණක් යනකම් අදත් එයා මගෙ තොල් එයාගෙ කරගත්තා. ඒ හාද්ද හරිම සන්සුන්...අපෙ ආදරේ ගොඩක් ලස්සන තැන් මතක් කරන තරමටම, ලවන් මගෙ නළලින් දිග හාද්දක් තියලා එහාට වෙද්දිත් අපි දෙන්නා පොඩ්ඩක්වත් අවුල් නොවෙන තරමටම සන්සුන්.

ඒ ආදරණීය හාදුවට පස්සෙ.. එදා වගේම මම ලවන්ගෙ පපුවට තුරුල් වුණා. වැව දිහායින් එන සීතල හුළඟ මගෙ මුණෙ වද්දිදි ඇස් දෙක පියාගත්ත මම තවත් තදින් ලවන්ට තුරුල් වුණා.

ටවුන් එක පුරා ඔහේ ඇවිද ඇවිද අපෙ මතක අලුත් කරගත්ත අපි ලවන්ගෙ අපාට්මන්‍ට් එකට ආවෙ හවස් වෙන්න කිට්ටුව. අද ලවන් ඇවිත් තිබුණෙත් වාහනේ නෙවෙයි. මොකද එහෙම එන්න අද එයාට වාහනයක් තිබුණෙ නෑ...යන්න කලින් ඒ හැමදෙයක්ම එයා ආයෙම විකුණලා තිබුණා.

පයින්ම අපාට්මන්‍ට් එකට එද්දි, අපාට්මන්‍ට් එක මගෙ ඉස්සරහ පේන්න තියෙද්දි ආයෙම මතක ගොඩක් මගෙ හිත පුරවගත්තා. සමහරවිට...නුවර වැව රවුමට පස්සෙ අපි දෙන්නගෙ ලස්සනම මතක තියෙන්නෙ මේ අපාට්මන්‍ට් එකේ වෙන්න ඇති.

ලවනුයි මායි ආයෙ හම්බුණත්...සමහර දේවල් ලවන් එක්ක යන්නෙ ආයෙ නොඑන්නමයි. මේ අපාට්මන්‍ට් එකත් ඒ වගේ...ආයෙ කවමදාවත් මට මේ අපාට්මන්‍ට් එක දකින්න වෙන්නෙ නෑ. අපෙ ලස්සන මතක ගොඩක් අරගෙන එයා ලවන් එක්කම යන්න යාවි.

මම ඇවිදන් යන එක නවත්තලා ටිකක් වෙලා නැවතිලා ඒ දිහා බලන් හිටියා. මම මුලින්ම මෙහෙ ආවෙ මම අසනීප වෙලා හිටපු දවසෙ. මට ගෙදර යන්න බැරි නිසා ලවන් මාවත් එක්කන් මෙහෙ ආවා. මම ඒ ගැන කල්පනා කර කර ඉද්දි ලවන් එක පාරටම මාව බ්‍රයිඩල් ස්ටයිල් එකට උස්සලා ගත්තා.

"ලවන්...!!"

"ඔයා මුලින්ම මේ ගෙදරට ආවෙ මෙහෙමනෙ...අදත් එහෙමම යමු."

ලවන් හිනාවෙලා කියද්දි මම එයාගෙ උරහිස වටේ අත දාන් පපුවට හේත්තු වුණා. ඔව්...මට වගේම එයාටත් ඒ හැමදේම හොඳට මතකයි. මම ඒක දන්නවා.

සාලෙට ගිහින් ලවන් මාව බිමින් තිබ්බට පස්සෙ මගෙ ඇස් සාලෙ පුරාම ඇදිලා ගියේ මටත් නොදැනිම. ඒ හැම සැරේම අපි දෙන්නගෙ ලස්සන මතක, අපි හිනාවුණ හැටි, අඬපු හැටි, හිත රිදුන වෙලාවට සනසගත්ත හැටි, මත් වෙලා වගේ හාදු දීපු හැටි...මේ හැම දෙයක්ම චිත්‍රපටියක් වගේ මගෙ හිතේ ඇඳුනා.

ඒ හැම මතකයක්ම එක්ක මම සාලෙ විතරක් නෙවෙයි...පහළ තට්ටුවේ හැමතැනටම ඇවිද්දෙ හීනෙන් වගේ. ලවන්ට මං ඉන්න තත්වෙ තේරෙනවා ඇති...පහළ තට්ටුවේ හැමතැනම ඇවිදලා උඩ තට්ටුවට එද්දිත් කිසිම දෙයක් නොකියා එයා මගෙ පස්සෙන් ආවෙ ඒකයි.

උඩ තට්ටුවට ගිහින් මම මුලින්ම නැවතුනේ අපෙ රූම් එක ගාව. ඔව්...අපි දෙන්නම දැන් ඒකට කියන්නෙ 'අපෙ' රූම් එක කියලා. මෙච්චර වෙලා වුණා වගේම...රූම් එකට අඩිය තියනවත් එක්කම මට ආයෙම මතක් වුණේ මම මුලින්ම මෙතෙන්ට ආපු දවස.

එදා තමයි ලවන් මට මුලින්ම ආදරෙයි කිව්වෙත්...පළවෙනි වතාවට- කැහ්ර්ම්...ඔව් එහෙම දෙයක් අපි දෙන්නා අතර වුණෙත්. ඒ විතරක් නෙවෙයි...එයාගෙ ආදරේ එනකම් බලාගෙන ඉන්න චූටි තරුව මුලින්ම අහසෙ දැක්කෙත් එදානෙ. අද ඉඳන් ඒ චූටි තරුව තනිවේවි...එයාගෙ හඳ අහසෙ පායනකන්ම.

මේ තරම් වෙලා පපුවෙ හිර කරන් හිටපු වේදනාව කඳුලු විදිහට මගෙ ඇස් වල එකතු වෙලවා මට දැනුනෙ ඒ වෙලාවෙ. ඒක තේරුණ නිසාද කොහෙද මෙච්චර වෙලා නිශ්ශබ්දව හිටපු ලවන් මගෙ පිටිපස්සෙන් ඇවිත් ඉන වටේ අත යවලා මාව බදාගත්තා. මමත් ඒ උණුහුම ගොඩක් බලාපොරොත්තු වුණ නිසාම ටිකක් පිටිපස්සට වෙලා එයාගෙ පපුවට හේත්තු වුණා.

"මගෙ විදුර්..."

"මම හොඳින්...ඒත්- ගොඩක් දේවල් මතක් වෙනවා ලවන්."

"මම දන්නවා මැණික...මට තේරෙනවා."

ලවන් කියද්දි එයාගෙ කටහඬත් වෙව්ලනවා මට දැනුනා. ඒත් එයා ඒක පුලුවන් තරම් නොපෙන්නා ඉන්න උත්සාහ කරා. අපි දෙන්නම කියාගන්න බැරි වේදනාවක් පපුවෙ හිර කරන් ඒක අනිත් කෙනාට නොපෙන්නා ඉන්න උපරිම උත්සහයක් ගත්තා.

ලවන් මගෙ ඉන දෙපැත්තෙන් අල්ලලා මාව එයාගෙ පැත්තට හරවගනිද්දි මට එයාව පෙනුනෙ බොඳවුණු ඇස් වලින්. ඒත් එයාගෙ ඇස් දෙකත් දිලිසෙනවා මම හොඳටම දැක්කා...ඒ ඇස් වලත් කඳුලු පිරිලා.

බොඳවුණු ඇස් වලින්ම ලවන් මගෙ තොල් වලට පහත් වෙද්දි මම ඇස් දෙක පියාගත්තා. ඒ මොහොතේ...මතක ගොඩක් පිරුණු මේ කාමරේ ඇතුළෙ හුවමාරු වුණ අන්තිම හාදුවත් ආදරණීය විදිහට මගෙ තොල් අතර රැඳුණා.

"අපි එළියට යමුද...?"

"ම්ම්...ඒත්- සිතුම්ය? එයා කෝ?"

මම අහද්දි ලවන්ගෙ මූණෙ යන්තම් හිනාවක් ඇඳෙනවා මම දැක්කා. ඔව්...එයාව අමතක කරන්නෙ කොහොමද? අපි දෙන්නගෙ පළවෙනිම මතකෙ එච්චර හොඳ එකක් නොවෙන්න පුලුවන්. ඒත් ඊට පස්සෙ මගෙයි ලවන්ගෙයි ජීවිතේ වැදගත්ම කෙනෙක් විදිහට එයා අපි එක්ක හැමදාම හිටියා.

පස්සෙ කාලෙක ලවන් එයාගෙ කතාව මට කියද්දි...සීමා දැන දැනම මට ආදරේ කරන්න පටන් ගන්නකොට හිතට දැනුන දේවල් ගැන කියද්දි ඒ හැම තැනකම සිතුම්ය එයා එක්ක ඉඳලා තිබුණා. තමන්ගෙ ආදර කතාව ගොඩක් දුක හිතෙන විදිහට ඉවර වුණත් ඒ දේම තමන්ගෙ යාලුවට වෙන්න නොදී එයාව පරිස්සම් කරන්න කොච්චර පරාර්ථකාමී හිතක් තියෙන්න ඕනද??

එයා හැමදාම ලවන්ව බලාගත්තෙ සහෝදරයෙක් වගේ. ඒ විතරක් නෙවෙයි...මාව හම්බුණ දවසෙ ඉඳන් මට සැලකුවෙ දරුවෙක් බලාගන්නවා වගේ. එයාට තියෙන්නෙ ඒ තරම් ලස්සන හිතක්. ඉතින් මම සිතුම්යගෙනුත් හරි විදිහට සමුගන්නම ඕන.

"එයා එයාගෙ රූම් එකේ ඉන්නවා...එන්න."

ලවන් එහෙම කියලා මගෙ අතින් අල්ලගද්දි මමත් එයා පිටිපස්සෙන් ගියා. අපි ආපු වෙලාවෙ ඉඳන්ම මම සිතුම්යව දැක්කෙ නෑ...එයා අපි දෙන්නට අපි දෙන්නගෙ වෙලාව දීලා කාමරේ ඇතුළටම වෙලා ඉන්න ඇති.

සිතුම්ය රූම් එකෙන් එළියට ආවෙ ලවන් දොරට තට්ටු කරාට පස්සෙ. පුරුදු විදිහටම සන්සුන් ලස්සන හිනාව එයාගෙ මූණෙ තිබුණා.

"විදුර්..."

සිතුම්ය කතා කරද්දි ආයෙම මගෙ ඇස් බොඳ වෙනවා මට දැනුනා. අනේ මට අඬන්න ඕන නෑ...සිතුම්ය ඉස්සරහ කොහොමටත් අඬන්න ඕන් නෑ. ඒත් මට පොඩි මස්සිනා කියලා හැමදාම කතා කරපු සිතුම්ය කාලෙකට පස්සෙ විදුර් කියලා කතා කරද්දි මට ඒක ගොඩක්ම දැනුනා.

"සිතුම්ය..."

මම කියනවත් එක්කම සිතුම්ය මගෙ එක අතකින් අල්ලගෙන අනිත් අතින් හිමින් මගෙ ඔලුව අතගෑවා.

"විදුර්...මම හැමදාම කියනවා වගේ උඹට පින් මගෙ එකාගෙ ජීවිතේට ආවට. ඌ උඹට නොසෑහෙන්න ආදරෙයි."

"...."

"උඹලා දෙන්නා එකට ඉන්නම ඕන. එහෙම දවසක් එයි...එතකන් පරිස්සමින් ඉඳපන් හොඳද. උඹට හොඳ අනාගතයක් තියනවා. වැඩ ටික හොඳට කරගනින්."

"ම්ම්..."

කතා කරගන්න අමාරු වුණ තැන මම කියද්දි සිතුම්ය යන්තම් මගෙ ඔලුව අවුස්සලා එයාගෙ අත් දෙක එහාට ගත්තා.

"ඔයා- ඔයත් පරිස්සමින්..."

මම කියපු එකට සිතුම්ය හිනාවෙලා ඔලුව වැනුවා. මම ටිකක් ඉස්සරහට වෙලා සිතුම්යගෙ අත් දෙකින් අල්ලගද්දි එයා පුදුමෙන් වගේ මගෙ දිහා බැලුවා. මට එයාගෙන් ඉල්ලන්න ගොඩක් දේවල් නෑ...තියෙන්නෙ එක දෙයයි.

"ලවන්ව බලාගන්නවා නේද...?"

මට තියන එකම ඉල්ලීම මම සිතුම්යගෙන් ඉල්ලද්දි මගෙ කටහඬ බිඳුනා. මම දැක්කා ඒ වෙලේම සිතුම්යගෙ ඇස් දෙකෙත් කඳුලු පිරෙනවා. මෙච්චර කල් වැඩිපුර වුණේ ලවන් මාව බලාගත්ත එක තමයි...ඒත් ලවන් මගෙන් ඩිපෙන්ඩ් වුණ වෙලාවල් ඕන තරම් තිබුණා.

එයාට අවුලක් වුණ වෙලාවට, අසනීප වුණ වෙලාවට එයා පොඩි ළමයෙක් වගේ මං ගාව සැනසීම බලාපොරොත්තු වුණා. මං ඒ හැම වෙලාවකම ලවන්ව මගෙ පපුවට තුරුල් කරන් හිටියා. මට නොකිව්වට ලවන්ට ඒ සැනසීම නැතිවෙන එක කාලයක් යනකම් දැනෙයි කියන එක මම දන්නවා.

මගෙ ඇස් දෙකෙන් කඳුලු වැටෙද්දි සිතුම්ය මාව තද කරලා බදාගත්තා.

"ඌ ඉන්නෙ මාත් එක්ක...බය වෙන්න එපා. මම ඉන්නවා."

සිතුම්ය කිව්වෙ මට විතරක් ඇහෙන විදිහට. එයා මම සන්සුන් වෙනකන්ම ටික වෙලාවක් මාව බදාගෙන හිටියා. එයා මගෙන් එහාට වෙද්දි අන්තිම වතාවට මම එයාගෙ මූණ බලලා හිනාවුණා.

"ඔයා හොඳ යාලුවෙක් සිතුම්ය..."

මම කියද්දි එයාගෙ ඇස් ලස්සනට එළිය වුණා. අන්තිම වතාවට මගෙ ඔලුව අතගාපු සිතුම්ය ලවන් දිහා බලලා හිනාවෙලා ආයෙම රූම් එක ඇතුළට ගියා. මම ආයෙම මට පිටිපස්සෙන් හිටපු ලවන්ගෙ පැත්තට හැරෙද්දිම එයා මගෙ කම්මුල් දෙකෙන් අල්ලගත්තා.

මගෙ ඇස් වලින් වැටුණු කඳුලු පිහදාද්දි තමා මම දැක්කෙ...එයාගෙ ඇස් වලිනුත් කඳුලු වැටිලා තිබුණා. මම කඳුලු අතරින්ම හිනාවෙලා එයාගෙ කම්මුල් පිහදැම්මා.

"ඔයා මාව බලාගන්නවද අහද්දි මටත් මාව කන්ට්‍රෝල් කරගන්න බැරිවුණා..."

ලවනුත් හිනාවෙලා එයාට ඇඬෙන්න හේතුව මට කිව්වා. මට අමුතුවෙන් තේරුම් කරන්න ඕන නෑ...මට හිතාගන්න පුලුවන්.

"ඔයා මගෙනෙ ඉතින්...මම නැතුව වෙන කවුරු එහෙම කියන්නද."

මම කිව්වෙ ලවන්ගෙ කම්මුල් දෙක කප් කරලා එයාගෙ නළලට මගෙ නළල හේත්තු කරගන්න ගමන්. මගෙ ටච් එකට ඉබේම ඇස් පියවෙද්දි මම එයාගෙ නළලින් තොල් තිබ්බා. මම එයාගෙන් තොල් අහකට ගත්තෙ දිග හාද්දක් නළලෙ රැඳෙව්වට පස්සෙ. සැනසීමෙන් වගේ හුස්මක් පහළ දාපු ලවන් මගෙ දිහා බැලුවෙ සන්සුන් හිනාවක් එක්ක.

"අපි එළියට යමුද...?"

ලවන් මගෙ අතින් අල්ලගන්න ගමන් ඇහුවා. මම පොත කියවලා ඉවර වෙනවත් එක්කම මේ හැමදේම මෙතනින් යන්න යාවි. ඒ නිසා ලවන් කිව්වෙ අපි එළියෙ බෙන්ච් එකට ගිහින් පොත කියවමු කියලා.

මම බෙන්ච් එකෙන් වාඩි වෙලා බෑග් එකෙන් පොත එළියට ගද්දි කවදාවත් නොදැනුන විදිහෙ අමුතු වේදනාවක් මගෙ පපුව ඇතුළෙන් දැනුනා. අදින් පස්සෙ මම ආදරේ කරන කෙනා මං ගාව නෑ නේද...?? ඒ කොච්චර කාලෙකටද? ඒක අපි දෙන්නගෙන් කවුරුවත්ම දන්නෙ නෑ.

පොත උකුල උඩින් තියාගත්ත මම ලොකු හුස්මක් අරන් ලවන් දිහා බලද්දි එයා හිනාවෙලා මගෙ ඔලුව අතගෑවා. එයාගෙ ඇස් දෙකේ තියන කියාගන්න බැරි වේදනාව මට නොතේරෙනවා නෙවෙයි...ඒත් ලවන් ඒක හංගගත්තා. හැමදාම වගේ මං වෙනුවෙන් එයා එයාගෙ වේදනාව හිත අස්සෙ හිරකරගත්තා.

මම පොතේ බුක්මාක් එක අයින් කරා...මට කියවන්න ඉතුරු වෙලා තිබුණෙ අන්තිම පිටු දෙක විතරයි. මම හිතලම පුලුවන් තරම් කියවලා ලවන් එක්ක ඉන්න මොහොතෙ පොඩ්ඩක් කියවන්න එහෙම ඉතුරු කරගත්තෙ.

මේ මාස ගානට කොච්චර හිත හදාගත්තත්, ලවන් කොච්චර මගෙ හිත හදලා තිබ්බත්, අද දවසෙ මාළිගාවට ගිහින් කොයි තරම් හිත නිවාගෙන තිබුණත්...පොත පෙරලනවත් එක්කම මට දැනුන වේදනාව දරාගන්නම බැරිවුණා. මගෙ ඇහෙන් වැටුණ කඳුලු බිංදුවක් කම්මුල දිගේ ගිහින් පොතේ පිටුවක් උඩට වැටුණෙ මටත් හොරෙන්.

පොත උඩට වැටුණ කඳුලු බිංදුව දැක්කත් එක්කම ලවන් පොත මගෙ උකුල උඩින් අයින් කරලා මාව එයා පැත්තට හරවගෙන කම්මුල් වලින් අල්ලගත්තා.

"විදුර්...මගෙ පණ. අපි පොරොන්දු වුණා...ඔයා අඬන්නෙ නෑ. මට මෙහෙම ඔයාව මතක තියාගන්න ඕනෙ නෑ."

ලවන් කිව්වෙ මගෙ කම්මුල් දිගේ ගලාගෙන ගිය කඳුලු පිහදාන ගමන්. මම දන්නවා...අපි පොරොන්දු වුණා ආයෙ අඬන්නෙ නෑ කියලා. ඒත් මම කොහොමද දරාගන්නෙ?? මගෙ ඇස්වලින් කඳුලු වැටෙනවා දකිනවත් එක්කම ලවන්ගෙ ඇස් වලත් කඳුලු පිරෙනවා මම දැක්කා.

මම මුකුත් නොකියා ලවන්ගෙ පපුවෙන් ඔලුව තියාගද්දි එයා මාව තදින් තුරුල් කරගත්තා. මම දන්නෑ ආයෙ මේ පපුවට තුරුල් වෙන්න මට කොච්චර කල් බලන් ඉන්න වෙයිද කියලා...අනේ මේ කාලෙ ඉක්මනට ඉවර වෙන්න. එයාව ඉක්මනට මං ගාවට එවන්න...

එයාව මං ගාව තියාගන්න ඕන තරමටම...මට ලවන්ට තව දෙයක් කියන්න ඕන. ලවන්ට මම මීට කලින් කිසිම දවසක එයාට නොකියපු දෙයක්. ඔව්...මේ තමයි ඒක කියන්න හොඳම වෙලාව.

"ලවන්...මට ඔයාට දෙයක් කියන්න ඕන."

"මොකද්ද මැණික...?"

ලවන් ඇහුවෙ පුදුමෙන් වගේ. මෙච්චර දවසක් හැමදේම කතා කරලා හිත හදාගත්ත මට අන්තිම මොහොතෙ දෙයක් කියන්න තියනවා කියලා එයාට හිතෙන්න නැතුව ඇති.

"ලවන්...මේ අහන්නකො. මොන දෙයක් වෙලා හරි, මොනම විදිහකින් හරි අපි ආයෙ හම්බුණේ නැත්තම්-"

"විදුර්-"

"ශ්ශ්...මම කියන දේ අහන්න ලවන්. ප්ලීස්...ඔයා පොරොන්දු වුණා ඔයාගෙ ජීවිතේට අනතුරක් වෙන කිසිම දෙයක් කරන්නෙ නෑ කියලා. ඉතින් මාව හම්බවෙන්න එන එකෙන් ඔයාට මොකක්හරි කරදරයක් වෙනවනම් ඔයා ඒ දේ කරන්නෙ නෑ...ඔයාගෙ පොරොන්දුව මතකයි නේද?"

මම අහද්දි ලවන් මුකුත් නොකියා බිම බලාගත්තා. එයා කලින් දවසක එහෙම පොරොන්දු වුණා...අපි දෙන්නෙක්ගෙන් එක්කනෙක්ගෙ හරි ජීවිතේට කරදරයක් වෙනවා බලන්න මට ඕන වුණේ නෑ. අපි දෙන්නගෙ කතාව සිතුම්යගෙ කතාව වගේම වෙනවා බලන්න මට ඕන වුණේ නෑ.

"බැරිවෙලා හරි එහෙම වුණොත්...මේ අපි හම්බෙන අන්තිම වතාවනම්, අපි ආයෙ හම්බෙන්නෙ නැත්තම්...ඔයාට අන්තිම වතාවට මේ දේ කියන්න ඕන. මම කලිනුත් මේ දේවල් කියලා ඇති ලවන්. ඒත් අද...අන්තිම පාරට."

"...."

"මට ආදරේ කියන්නෙ මොකද්ද කියලා දුන්නට ඔයාට ගොඩක් පින්...ඔයා දන්නවද? ඔයා මගෙ ජීවිතේට ආපු පළවෙනි දවසෙ ඉඳන්ම මට නොසෑහෙන්න ආදරේ දැනුනා. අද...හෙට විතරක් නෙවෙයි. මගෙ හුස්ම තියනකන්ම මගෙ එකම ආදරේ ඔයා විතරයි. ඔයා ආයෙම මගෙ ජීවිතේට ආවෙ නැතත්...මගෙ හුස්ම වැටෙන්නෙ, මගෙ පපුවට ආදරේ දැනෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි. මං ඔයා වෙනුවෙන් හැමදාම බලන් ඉන්නවා..."

මම ලවන්ගෙ ඇස් දිහා බලන්ම කියද්දි එයා වේදනාවෙන් හිනාවෙලා මගෙ ඔලුව අතගෑවා. මම දන්නවා එයාට ඕන එහෙම වෙන්නෙ නෑ කියන්න...එයා අනිවාර්යෙන් එනවා කියන්න. ඒත් මේ වෙලාවෙ එයා ඒ වචන හැම දෙයක්ම හංගගෙන කඳුලු පිරුණු ඇස් දෙකකින් මගෙ දිහා බලන් හිටියා.

"ඔයා මං ගාවට ආවෙ නැතත් මම තරහ වෙන්නෙ නෑ...ඉක්මනට එන්න බැරි වුණත්, තව අවුරුදු සීයකින් ඔයාට ආයෙ එන්න පුලුවන්නෙ. එදාට මම මේ කොහෙහරි ඉඳීවි. මට එදාට මේ වගේ ඔයත් එක්ක කතා කරන්න බැරිවේවි...ඒත් මාව බලන්න එන්න හොඳද?"

"ම්ම්...මම එන්නම්."

හිතේ තියන ගොඩක් දේවල් හංගගෙන ලවන් ඒ වචන ටික කිව්වෙ ගොඩක් අමාරුවෙන්. මේ තරම් වෙලා මගෙ කඳුලු පිහදාපු ලවන්ගෙ කම්මුල් වලින් එක දිගට කඳුලු වැටෙද්දි එයා මගෙ අත් දෙක තද කරලා අල්ලගත්තා.

"මං ඔයාට ගොඩක් ආදරෙයි ලවන්...මම අද විතරක් නෙවෙයි, හැමදාම ඔයාට ආදරේ කරනවා. අපි ආයෙ මොන විදිහෙන් හම්බුණත්...හැමදාටම මාව මතක තියාගන්න හොඳද?"

"ඔයාව මට අමතක වෙන්නෙ නෑ මගෙ විදුර්...ඔයාගෙ විතරක් නෙවෙයි. මගෙත් හුස්ම වැටෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි පණ. ඔයා ඔය කියන විදිහෙ දවසක් ආවත්...ඒ වෙනකන්ම මම ආදරේ කරන්නෙ ඔයාට විතරයි."

ලවන් මගෙ නළලට එයාගෙ නළල හේත්තු කරගද්දි මම එයාගෙ කොලර් එකෙන් ඇදලා මගෙ පැත්තට ඇදගත්තා. මගෙ තොල් උඩින් හිමින් ඇඟිලි අරන් ගිය ලවන් එතනින් ස්වීට් කිස් එකක් තිබ්බෙ අපි දෙන්නගෙ අන්තිම හාදුව ඒ විදිහට මගෙ මතක වලට එකතු වෙද්දි.

මගෙ කම්මුල් දෙකෙන්ම සොෆ්ට් කිසස් තියපු ලවන් ආයෙම පොත මගෙ අතට දුන්නෙ මම හිටියට වඩා සන්සුන් වුණා කියලා තේරුණාට පස්සෙ. අන්තිමට...අපි දෙන්නම මාස ගාණක් කතා කරපු, හිත හදාගත්ත මොහොත අපි දෙන්නා ළඟටම ඇවිත් තිබුණා.

අන්තිම වතාවට ලවන්ගෙ කම්මුලිනුත් හාද්දක් තිබ්බ මම පොත පෙරලගත්තෙ සන්සුන් හිතක් එක්ක. ලවන් මගෙ උරහිස වටේ අත දාලා මාව ළං කරගත්තත් මම ආයෙම එයා දිහා නොබලා ඉන්න ට්‍රයි කරා. ඒ ඇස් දිහා බලන තරමට මගෙ හිත රිදෙනවා වැඩියි.

අන්තිමට මම ඉතුරු වෙලා තිබුණ පිටු දෙකේ අකුරෙන් අකුර...වචනෙන් වචනෙ කියෙව්වා. ඒ වචන වල තේරුමවත් ඒ මොහොතෙ මගෙ ඔලුවට ගියෙ නෑ. අන්තිම ඡේදේ කියවද්දි මගෙ ඇස් ආයෙම බොඳ වුණත් මම අමාරුවෙන් ඒ කඳුලු ඇස් අස්සෙම හිරකරගත්තා. ආයෙම අඬලා එයාගෙ හිත රිද්දන්න මට ඕන වුණේ නෑ.

අන්තිම වචනෙට එනකන් කියවපු මම ඇස් දෙක තදින් පියාගෙන පොත මගෙ පපුවට තුරුල් කරගත්තා. මට ඒ මොහොත දකින්න වුණේ නෑ...ලවන් එක්ක ලස්සන මතක විතරක්ම තියන මගෙ හිතට මේ නරක මතකෙ එකතු කරගන්න මට ඕන වුණේ නෑ.

මම කොච්චර ඒ මොහොත නපුරු හීනයක් කියලා හිතන්න උත්සාහ කරත්...මගෙ උරහිස වටේ එතිලා තිබුණ උණුහුම ටිකෙන් ටික නැතිවෙද්දි ඒ හීනයක් නෙවෙයි කියන එක මට ආයෙම මතක් වුණා. ඒත් මට ඇස් අරින්න ඕන වුණේ නෑ...ඔයා මාව දාලා ගියාද ලවන්?? ඔයා තවදුරටත් මං ගාව නැද්ද??

ඇස් දෙක පියාගෙනම කකුල් දෙක බෙන්ච් එක උඩට ගත්ත මම දනිස් දෙක උඩ මගෙ නළල තියාගත්තා. මේ තරම් වෙලා ලවන් ඉස්සරහ අමාරුවෙන් හිර කරන් හිටපු, කඳුලු බිංදුවක් දෙකක් විදිහට විතරක් එළියට ආපු මගෙ වේදනාව කඳුලු වැස්සක් වෙලා මගෙ කම්මුල් දිගේ ගලාගෙන ගියා.

මාස ගාණක් හිර කරන් හිටපු වෙදනාව අමතක වෙලා යනකන්ම මම කෑගහලා ඇඬුවා. වෙනදා මම අඬද්දි මාව වාරු කරගන්න උරහිස, මම තුරුල් වෙන උණුහුම මං ගාව නැතිවෙද්දි...ඒ උණුහුම තවදුරටත් මං ගාව නෑ කියලා මතක් වෙද්දි මගෙ කඳුලු අලුත් වුණා.

මම ඇස් ඇරියෙ විනාඩි ගාණක්ම මගෙ වේදනාව කඳුලු විදිහට දිය කරලා ඇරියට පස්සෙ. මං බලාපොරොත්තු වුණා වගේම...මගෙ ආදරේ මං ගාව හිටියෙ නෑ. මගෙ ලවන් යන්නම ගිහින් තිබුණා. අපෙ ලස්සන මතක රැඳුණ ගෙදරත් මගෙ ඉස්සරහ තිබුණෙ නෑ. ඒ වෙනුවට එතන තිබුණෙ ගස් කොලන් පිරුණ නිකන්ම හිස් බිමක්.

මගෙ ඉස්සරහින් හෙලවෙන උස අඳුරු ගස් කොලන් දිහා බලාගෙන මම ලොකු හුස්මක් ගත්තා. මට ඉක්මනට මෙතනින් යන්න ඕන...මගෙ ලවන් ගිය වෙලේ ඉඳන් දැනෙන පාලු මූසලකමට මම කැමති නෑ. කලබලෙන් පොත බෑග් එකට දාන් මම නැගිටින්න හදද්දිම...මගෙ ඇස් කොනින් දැකපු දේන් මම නැවතුනා.

මගෙ ඇස් ඉස්සරහ පේන්න තිබුණෙ කොළ පාට ගස් විතරයි. ඒත් ඒ අතරින් පෙනුන රෝස පාට...මම එක පාරට ඔලුව හරවලා ඒ දිහා බැලුවා. අනේ...හිස් වෙච්ච ඉඩමෙ, අන්ධකාර ගස් අතරෙ...හතර අතට අතු විහිදුණු රෝස පඳුරක්. ලා රෝස පාට රෝස පඳුරක්...මම ඒ දිහාවට හිමින් අඩිය තිබ්බෙ මටත් නොදැනිම.

මගෙ කඳුලු ආයෙම අලුත් වෙනවා මට දැනුනා. ඔයා ගියාට...ඔයාගෙ සුවඳ මං ගාව තියලා ගියාද මගෙ ලවන්?? මං සිනිඳු රෝස පෙත්තක් මගෙ ඇඟිලිතුඩු වලින් අතගාන ගමන් ඒ රෝස මලෙන් ඇහුවා. එයා ළඟ නැතත්...මට එයාගෙ සුවඳ, එයාගෙ ආදරේ දැනුනා.

ඒ එක්කම මම බෑග් එක ඉස්සරහට අරන් ඒ ඇතුළෙ තිබුණ පුංචි බොක්ස් එක එළියට ගත්තෙ එක පාරට මට අලුත් දෙයක් හිතපු නිසා. බෑග් එක පැත්තකින් තිබ්බ මම පරිස්සමට බොක්ස් එක ඇරලා ඒ ඇතුළෙ තිබුණ රිබන් එකක් එළියට ගත්තා.

මේ රිබන්...ලවන්වත් නොදැන මාස දහයක් තිස්සෙ මම එකතු කරපු රිබන්. ලවන් මට දුන්න පළවෙනි මල් බොකේ එකේ ඉඳන්...ඊයෙ දුන්න අන්තිම මල් බොකේ එක වෙනකන් ඒ හැම එකක්ම ගැටගහලා තිබ්බ රිබන් මෙතන තිබුණා. මල් පරවෙලා අයින් කරත්...මගෙ ජීවිතේ හැම විශේෂ අවස්ථාවකම ලවන් ආදරෙන් මට දීපු මල් බොකේ එකේ රිබන් එක මම පරිස්සමට අරන් තියාගත්තා.

අද මම මේ ටික ගෙනාවෙ ලවන්ට දෙන්න වුණත් අන්තිම මොහොතෙ මගෙ හිත වෙනස් වුණා. ඒ ආදරණීය මතක ඔක්කොම එයා එක්ක යවන්න මට ලෝබ හිතුනා. ඒත් ඒවා තියෙන්න ඕන ලවන් ගාවවත් මගෙ ගාවවත් නෙවෙයි...අපි දෙන්නගෙම මතක පිරුණ තැනක. අපි දෙන්නගෙ ආදරේ උපරිමෙන් විඳපු තැනක. ඉතින් මීටත් වඩා හොඳ තැනක් තියනවද...??

රිබන් එකින් එක ගත්ත මම ඒ හැම එකක්ම රෝස පඳුරෙ අතුවල ලස්සනට ගැටගැහුවා. රෝස මල් වල ලස්සනත් එක්ක පාට පාට රිබන් වල ලස්සන මුහුවෙද්දි මගෙ මූණෙ හිනාවක් ඇඳුනෙ ඉබේටමයි.

ලවන්ගෙයි මගෙයි දෙන්නගෙම මතක පිරුණු තැන මම මාස ගාණක් තිස්සෙ එකතු කරපු එයාගෙ ආදරේ සිහිවටන රඳවපු මම එතනින් එන්න ආවෙ කියාගන්න බැරි වේදනාවක් පපුවෙ හිරකරගෙන.

සතියක්...දෙකක් ගෙවිලා ගියත් මගෙ පපුව ඇතුළෙන් දැනෙන වේදනාවෙ වෙනසක් වුණේ නෑ. මම ආයෙම ඇඬුවෙ නැතත්...මාස ගාණක් තිස්සෙ මගෙ ආදරේ උණුහුම නැතුව, ඒ කටහඬවත් අහන්න නැතුව ඉන්න එකට මට හුරුවෙන්න ගොඩක් අමාරු වුණා.

එයාට යන්න මගෙ නිවාඩු කාලෙම තෝරගත්තෙ ඇයි කියන එක මට හොඳටම තේරුණේ ඒ දවස් වල. වෙනදා වගේ වැඩි කතාබහක් නැතුව, ඔහේ බලාගත්ත අත බලාගෙන මේ සති දෙකම ගෙවපු මට කැම්පසුත් යන්න වුණානම් ඒ දේ කොයි තරම් අමාරු වෙයිද??

මගෙ ලවන් ඒ හැමදේම ගැන හිතුවා...එයාගෙ වුවමනා වලට කලින් හැමදාම මාව ඉස්සර කරගත්තා. එයා මං ගාව නැතත්...මේ දේවල් මතක් වෙද්දි මට එයා ගැන තියන ආදරේ දවසින් දවස වැඩිවුණා විතරයි.

අම්මා, අප්පච්චි, මගෙ කෙල්ලො දෙන්නා මගෙ හිත හදන්න නොකරපු දෙයක් නෑ. ඒ මොහොත්ට විතරක් හැමදෙයක්ම අමතක කරලා හිනාවෙලා හිටියත්...ටික වෙලාවක් යද්දි ආයෙම මගෙ හිත අමුතු පාලුවකින් වෙලාගන්නවා.

ටික දවසක් යද්දි මේ හැමදෙයක්ම හරියාවි...මගෙ හිත එහෙම කියනවා. ඒත් තවම මම ඒ තැනට ආවෙ නෑ. පාඩුවේ කොහෙටහරි වෙලා ඉඳගෙන, කොහේහරි බලාගෙන අපි දෙන්නගෙ මතක අතර හිත ගෙනියද්දි ටික වෙලාවකට හරි හිත නිවෙන නිසා මම හැමදාම ඒ දේ කරන්න පුරුදු වුණා.

වැව රවුමෙ කැම්පස් එකට කිට්ටුව තියන බෙන්ච් එකක් ගාවින් මම ඇවිත් ඉඳගත්තෙ කීයටද කියන්න මට මතක නෑ...ඒත් මගෙ කන් දෙකේ තියන ඉයර්බඩ්ස් දෙකේ සින්දු බර ගාණක් ප්ලේ වුණා කියලනම් මට මතකයි. ටික ටික වටේ අඳුරු වෙලා අහස තැඹිලි පාට වෙන්න අරන් තිබුණෙ. ගෙදර යන්න වෙලාව හරි ඇති.

පපුවට තුරුල් කරන් හිටපු Love in the Autumn පොත තොල් වලට තද කරලා බෑග් එක ඇතුළට දාගත්ත මම බෙන්ච් එකෙන් නැගිට්ටෙ පයින්ම ටවුන් එකට යන්න. ඒත් ඒ එක්කම ප්ලේ වෙන්න ගත්ත සින්දුව නිසා මම එහෙමම ෆ්‍රීස් වුණා.

නෑ...මම ආයෙ අඬන්නෙ නෑ. ඒත් මගෙ කන් දෙක ගාවින්ම ඇහෙන වචන...ඒ එක්කම මැවෙන්න ගත්ත එයාගෙ මතකත් එක්ක බර හුස්මක් පහළ දාපු මම හෙමින් ඉස්සරහට ඇවිදන් යන්න ගත්තෙ සින්දුවේ වචනයක් ගානෙම මගෙ තුවාල පෑරෙද්දි.

My head's crowded with pictures for hours

Of you and what we used to be

All those places and secrets were ours

They still find their way in my dreams

Sometimes I stop at the coffee shop

And pretend that you're waiting for me

I see your face in every face

Every step, every block, every street

මම පහුකරගෙන යන හැම කෙනෙක්ම ලවන් කියලා හිතෙද්දි...ඒ හැම කෙනෙක්ගෙම මූණෙ ලවන්ව මැවිලා පේද්දි, මේ මිනිස්සු අතරින් එයා කොහෙන්හරි ඇවිත් මාව බදාගයි කියන බලාපොරොත්තුව හිත කොනක නලියද්දි මම ඒ වේදනාව පිරුණු වචන ටිකත් අහගෙන ඉස්සරහටම ගියා.

It's a lonely city when the neon's bright

And you're not with me to shine your light

And the skyline's empty, nowhere to hide

It's a lonely city, it's a lonely night

ඔයා නැතුව මේ මුලු නුවරම පාලුයි මගෙ ලවන්...අපි දෙන්නගෙ මතක ඔක්කොම පිරුණ මේ නුවර මම කොහොමද මුකුත් නොවුණ ගානට ඇවිදන් යන්නෙ. මට හැමතැනම ඔයාව මැවිලා පේනවා. අපි දෙන්නගෙ ලස්සන මතක මේ හැමතැනම තියනවා.

Every night when I walk past the station

I wonder if I should just go

And get out of this town and just face it

If you're not here, this isn't home

It's a lonely city when the neon's bright

And you're not with me to shine your light

And the skyline's empty, nowhere to hide

It's a lonely city, it's a lonely night

මම ඒ වෙද්දි ඇවිත් හිටියෙ...මම ලවන්ට ආදරෙයි කියලා මගෙ හිත මුලින්ම පිළිගත්ත තැනට. මම එයාගෙ උරහිසට හේත්තු වෙලා සෑහෙන වෙලාවක් අපෙ අනාගතේ ගැන හීන මවපු තැන. මම ඇස් දෙක පියාගෙන ඒ හැමදෙයක්ම මතක් කරා...අද එතන ඉතුරු මම විතරයි.

අපි දෙන්නට ආයෙම එහෙම ඉන්න දවසක් ඒවිද ලවන්...මම එහෙම විශ්වාස කරනවා. මම ඔයා එනකන් බලන් ඉන්නවා.

It's a lonely city when the neon's bright

And you're not with me to shine your light

And the skyline's empty, nowhere to hide

It's a lonely city, it's a lonely night

---

කෝමද කස්ටිය...chatgpt එකට දහ පාලොස් පාරක් කියලා පොටෝව ඔය විදිහට හරි ගත්තේ 😮‍💨 හරි ඇණයක් වෙලාවකට. කියන මෙලෝ දෙයක් තේරෙන්නෑ.

ඔන්න ඉතින් එයා ගියා 🥲 කතාව කම්මැලි වෙනවා නේද? මොනා කරන්නද පටන් ගත්ත එක ඉවර කරන්න එපැයි.

මම මේ දෙන්නට නොසෑහෙන්න ආදරෙයි...ඒත් වෙලාවකට ලියන්න ඕන එනර්ජි එක එන්නෙ නෑ.

හිතේ තියන දේ වචන වෙන්නෙ දාහක් ප්‍රශ්න මැද්දෙ. ජොබ් එක කරලා මහන්සි වෙලා ඇවිත් ගෙදර වැඩත් කරලා ඒ අතරෙ හම්බෙන පොඩි කාලෙ මෙයාලට පණ දෙන්නෙ මගෙ හිතේ නිදහසට විතරක් නෙවෙයි...එයාලට තියන ආදරේට.

ඒත් නිදිමරාගෙන ලියපු සමහර වෙලාවට නොටිෆිකේශන් එකක්වත් නැතිවෙද්දි හිත ඇතුළෙ පුංචි දුකක් එන්නෙ නැතුවම නෙවෙයි. කමක් නෑ...මේ ලස්සන ආදර කතාව මම කොහොමහරි, කවදාහරි ඉවර කරනවා.

ආයෙම වෙලාවක් හම්බුණ ගමන් එන්නම් ❤️

Share This Chapter