Back
/ 27
Chapter 21

🩵දෙතැනක්

සුසුම්.

විනාඩියක්,දෙකක් යන්නැති.මහීශගෙ සහ සෙනුලිගෙ ඒ උණුසුම් වැලඳගැනීම නිසා දෙන්නටම අවට ලෝකය අමතක වුණා.සෙනුලි ඇස් තද කරගෙන මහීශව තදින් බදාගෙන හිටියෙ මහීශගෙ සුවඳ තව තවත් විඳ ගන්න කැමැත්තෙන්.

මහීශටත් එහෙමම ඇති!

ටිකකින් මහීශා සෙනුලිව තමන්ගෙන් ඈත් කරලා සෙනුලිගෙ මූණ දිහා බලන් හිටියා.සෙනුලි ඇස් අඩවන් කරගෙන මහීශා දිහා බලන් හිටියෙ හරිම ආදරණීය විදිහට.

"දුන්න දේවල් වලටයි විශ් එකටයි තෑන්ක්ස්.මන් යනවා"

ඉතින්,මහීශා කලින් නොතිබුණු තරහක් හා ආවේගයක් එක්කම තවත් මුකුත් නොකියා එතනින් යන්න හැදුවා තමා.ඒත්,සෙනුලි තදින් මහීශගේ මැණික්කටුව ගාවින් අල්ලන් හිටියෙ එයාව නවත්වමින්.

"ඉන්න"

"මට තවත් දේවල් අහන්න ඕන්නෑ සෙනුලි.මට යන්න දෙන්න"

මහීශා සෙනුලිගෙ ඇස් දිහා එක එල්ලේ බැලුවා.ඒ බැලිල්ලට සෙනුලි ගැස්සුණා කිව්වොත් හරි.දැන් වෙන්න යන දේනම් එච්චර හොඳ දෙයක් නෙවේ වග සෙනුලි දන්නවා.ඒත්,මේ දේවල් මෙහෙම වෙන්න නෙවේනෙ සෙනුලි හීන දැක්කෙ!

"මන් දන්නවා ඔයා තාම තරහින් ඉන්නෙ..මට කියන්න දෙන්න"

ඒ දෙයින්,මහීශා එක ඇහිබැමක් උස්සලා සමච්චල් සහගත හිනාවක් සෙනුලිට දුන්නා.ඒ දෙයින් සෙනුලිගෙ ඇස්වලට කඳුලු ඉනුවා.

"මට..මන්..ඒ දේවල් කරේ හේතුවක් ඇතුව"

"මොනවද?"

"ආහ්?"

"මොනවද කියන්නෙ?"

"මේ..චිරාත්..එයා.."

ඒ නම ඇහෙනවත් එක්කම මහීශාගේ තරහ දෙගුණ වුණා කිව්වොත් හරි.තමන්ගෙ අත අල්ලන් ඉන්න සෙනුලිගෙ අත අතඇරලා දාලා තද බැල්මකින් මහීශා සෙනුලි දිහා බැලුවා.

"කියන දෙයක් තේරෙන්නැද්ද? ඇයි හැමතිස්සෙම ඌ ගැන කියවන්නෙ?"

"මන් කිව්වෙ"

"එපා!! කිසි දෙයක් කියන්න එපා. ඔය ඇති හොඳටම. තව ටික දවසකින් මට ආරංචියක් එන්න විතරයි අඩු ඔයාගෙ bf චිරාත් කියලා."

සෙනුලිට ඉබේම කෙල ගිලුණේ මොකද ඒ කියපු දේ දැනටමත් එහෙම වෙලා තියනවනම් තමන් ඉඳලා ඉවරයි කියලා හිතින් හිතන ගමන්.එක අතකට සෙනුලිට දැන් හිතෙන්න ගත්තෙ තමන් මේ කරන දේ මහ මෝඩ වැඩක්දත් කියලා.එක අතකින්,කවුද තමන්ගෙ ආදරේ හංගන්න එහෙම දෙයක් කරන්නෙ.හංගන්න ආදරයක් වෙන්නෙ ඒක අසම්මතයක් නිසාද? ලෝකෙ තමන්ට හිනාවෙයි කියන බය නිසාද?තමන්ගෙ නම්බුව හේදෙයි කියන බයටද? නැත්තනම් සමාජෙ මිනිස්සුන්ට පේන්න බොරුවක් මවා පාන්න ඕන නිසාද?මේ දේවල් නිසා සෙනුලි තමන්ගෙ ඇත්තම හැඟීම් හංගන්න පැකිලුණේ නෑ කියන්නත් බෑ.ඒත්,මෙතන මේ දේ හංගන්න හදන එකම කෙනා සෙනුලිම විතරමද? ඒක හිතන්න හොඳ පැත්තක්!

"මන් ඒ දේ කරේ මේ දේවල් යට ගහන්න"

"මොකක්?"

"මන් එහෙම හැසිරුනේ අපි දෙන්න ගැන වටේට යන ආරංචි,කටකතා නැති කරලා දාන්න."

".........."

"මන් කැමති නෑ තමයි හැංගිලා ඉන්න.ඒත්,ඔයා කිව්වනෙ වටේටම කිය කිය යන්න එපා කියලා.බලන් ගියාම මට නෙවේ හැංගෙන්න ඕන වෙලා තියෙන්නෙ."

"තමුන්!!කට පරිස්සම් කර ගන්නවා.මාත් එක්ක යාලු වුණානම් ඒ විදිහට ඉන්නවා.නැත්තන් යන්න පුලුවන් "

දැන් දැන් සෙනුලිගෙ ඇස් වලින් කදුලු කැට රූටලා යන්න ගත්තා.මේ ඇහෙන දේවල් සෙනුලිට තවත් අහන් ඉන්න ඕන නෑ.ඒත්,මෙතුවක් කල් හිතේ හිර කරන් හිටිය දේවල් තමන් මහීශට කියනකන් තමන් මෙතනින් හෙල්ලෙන්නෑ කියලා සෙනුලි හිතා ගත්තා.තමන්ගෙ අත මිට මොලවලා තරහව පාලනය කරගත්ත සෙනුලි දිගටම මහීශගෙ ඇස් දිහා බලන් හිටියා.මහීශගෙ ඇස් රතු වෙලා තරහින්ම.මෙතුවක් කල් තමන් මහීශගේ නොදැකපු පැත්තක් අද සෙනුලි දකිනවා.

"හ්ආ..යන්න?"

සෙනුලි හිනා වුණේ සමච්චල් සහගතව.

මහීශා ඇස් පොඩි කරලා සෙනුලි දිහා බැලුවා.

"යන්න කියලද කියන්නෙ?"

"මාව ඕන්නැත්තන් යනවා.කොහොමත් ඕන්නෑ වගේනෙ නේ...?"

සෙනුලි මහීශා දිහා අප්‍රාණික පෙනුමකින් බලලා ටිකක් ඉස්සරහට ඇවිත් මහීශගෙ කම්මුලට අතක් තිබ්බා.ඒ දෙයින් මහීශා ඇස් ලොකු කරගෙන සෙනුලි දිහා බලන් හිටියා.ඉතින්,සෙනුලි තම මුවේ මදහසක් එක්කම මහීශට හිනා වෙලා මහීශගෙ කම්මුල ලාවට ස්පර්ශ කරා.

"ඔයාට මාව එපා වුණත්..මට ඔයාව ඕන.මන් මේ කාටවත්ම බය නෑ මහීශා!කිසිම කෙනෙක්ට බය නෑ.ඔයා කියනවනම් අපි මේක හංගන් ඉමු.ඒත් බැරිම තැන මට මේක කියන්න වුණොත්,ඔයා පසුතැවෙනවනම් මන් යන්නම්......"

ඒ කියලා සෙනුලි තමන්ගෙ සාක්කුවේ තිබ්බ යම් කොලයක් මහීශගේ සාක්කුවට දැම්මෙ මහීශගේ ඇස් දිහා බලාගෙනමයි.

"මේ ලෝකෙ එක්ක හැප්පෙන්න අපි තාම පොඩි වැඩියි.වගකීම් දරන්න වයසක් නෙවේ මේක.ඔයා හොඳ ගමනක් ඉස්සරහට යන්න.මන් ඔයාට සුභ පතනවා.මාව ඕන වුණාම මන් ගාවට ආයෙ එන්න.මන් ආදරෙයි!"

ඉතින්,ඒ කියපු විගසම සෙනුලි මහීශගෙ තොල්වලට ඉක්මන් හාදුවක් තියලා බෑග් එකත් දාගෙන එතැනින් ගියේ ඇස් වල තිබ්බ කඳුලු තමන්ගෙ අතින් පිහිද පිහිද.

සෙනුලිගෙ ඒ පිටවීමත් එක්කම මහීශා මෙලොව සිහියට විත් ලොකු හුස්මක් ඇදලා පිට කරේ වේගවත් ධාවනයක් ඉවර කරා වගේ.මහීශා එහෙන්ම තමන්ගෙ ඔලුව අත් දෙකෙන්ම අල්ලගෙන තද කරගත්තෙ දැනිච්ච පීඩනයට. ඒ අතරේ මහීශට ඇහුණේ ඒ ළඟ තාප්පෙ ගාව කවුද කතා කරන සද්දයක්.

මේ වෙලාවෙ මේ වගේ තැනක ළමයි ඉන්න විදිහක් කොහෙත්ම නැති නිසා මහීශට මේ දේ ගෙනදුන්නෙ කුතුහලයක්.මහීශා හිමින් අඩිය තියමින් තාප්පෙ පිටිපස්සට ඔලුව දාද්දි මහීශා දැක්කෙ එහා පන්තියෙ තමන්ව හොඳටම දන්න ළමයි දෙන්නෙක් තමන්ගෙ මුණ දිහා කන්න වගේ බලන් ඉන්නවා කියලා.ඉතින්,මහීශා ඔරවගෙනම ඒ දිහා බලන් හිටියා.

"උඹලා ඔතන මොකද කරන්නෙ?:

ඉතින් අර ළමයි දෙන්නා ටිකක් විතර ගොන් හිනාවක් දාලා ඇඹරෙන්න ගද්දි මහීශට මල පැනලා ටිකක් සැරෙන් කතා කරා.

"මොනවද යකෝ ඔතන්ට වෙලා කරේ?"

මහීශගේ කෑ ගැහිල්ලත් එක්කම එක ළමයෙක් මහ නෝන්ඩි හිනාවක් දාගෙන මහීශා ගාවට ආවා.

"අපිද??ඔයා මොනවද මෙතන කරන්නෙ?"

මහීශා ඇස් පොඩි කරලා ඒ දිහා බලන් හිටියෙ සැක සහිතව.ටික වෙලාවක් ඉඳල මෙයාල මෙතන ඉඳලනම් මෙතන වෙච්ච දේවලුත් මුන් දකින්න ඇති කියලා මහීශට හිතුණා.ඒ දේ හිතෙද්දිම වගේ මහීශගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.

"මහීශා...ඊයා අනේ ඔයා ලෙස්බියන්ද?මොනවද අනේ ඔයාලා කරන්නෙ?කව්ශිකා කියපු දේ හරිනෙ බලන් ගියාම.සෙනුලිත් මාරයි නෙ."

ඉතින්,ඒ දෙයන්ම තහවුරු වෙද්දි මහීශට හීන් දාඩිය දාන්න ගත්තා.තමන් දැන් මොකද්ද කරන්නෙ කියලවත් මහීශට සිහියක් නෑ.

"දැන් බලාගන්නකො අපේ ඉස්කෝලෙ නමත් කැත කරන නිසා අපි මේක මැඩම්ලට කියන්නම ඕන.නැත්තන් අපිටත් එක්ක ලැජ්ජයි."

ඉතින්,ඒ දේ අනික් ළමයත් තහවුරු කරද්දි මහීශට හිතුණෙ මෙතනම පණ ගියානම් කියලා.තමන්,සෙනුලිට කෑ ගහපු ශක්තියම මේ අයට කෑ ගහන්න තමන් ළඟ නැත්තෙ ඇයි කියලා තමන්ම හිතින් හිතා ගද්දි මහීශට දැණුනෙ පුදුම අසරණ කමක්.එක පැත්තකින් සෙනුලි මේ වෙලාවෙ හිටියනම් කියලා මහීශට හිතෙන්න ගත්තා.ඒත්,තමන් ඒ දේට පරක්කු වැඩි වුණා!

"ඔයාලට ඒවා වැඩක් නෑනෙ.වැඩක් බලාගෙන ඉන්න මදාරා"

"වැඩක් බලාගන්න තිබ්බා. මේ වගේ සමලිංගික වැඩ අපිට පේන්නෙ නැත්තන්.මොකක්ද මහීශා,අපි යාලුවො කියන්නත් ලැජ්ජයි"

"පාඩුවෙ ඉන්න දෙන්න!"

ඉතින්,මහීශා කරේ ඒ හැම දේම මගහැරලා එතනින් ගියපු එක වෙද්දි අර ළමයි ටිකටනම් පතුරන්න අලුත්ම තොරතුරක් හම්බෙච්ච නිසා හරිම සතුටෙන් විසිර ගියා.මේක තවත් නරක අතට හැරෙනවා කියලා හිත හිතම මහීශත් පන්තියට යන්න ගියා.

.

.

.

.

.

.

මහීශා ගෙදර ඇවිත් මුලින්ම කරේ සෙනුලි තමන්ට දුන්න ලියුම කියවන්න ගත්ත එක.තමන්ගෙ පොත් මේසෙ පුටුව ඇදලා වාඩි වෙලා හොද හුස්මක් අරන් ඒ කොලේ අරිද්දි එයාට දැනුණේ සෙනුලිගෙ ඒ ගෝයා පර්ෆියුම් එකේ සුවඳ.මහීශව මත් කරවන ඒ සුවඳ විහිදෙන කොලේ තමන්ගෙ නහයට ලං කරගෙන ටික වෙලාවක් ඉඳල මහීශා ඒක කියවන්න ගත්තා.

🔹️හැම දේම හොඳින් වෙයි කියලා හිතුවට එහෙම නෑ වගේ නේද? මන් මේක ලියන්න හිතුවෙ ඔයාගෙ උපන්දිනේට තෑග්ගක් විදිහට.මට කරන්න පුලුවන් හොඳම දේ සහ කරන්න පුලුවන් එකම දේ තමා මන් කරන්නෙ.මට ඊට වඩා දෙයක් කරන්න බෑ කියලා ඔයා හොඳටම දන්නවා.මගේ ආදරේ,මන් කිව්වෙ අපේ ආදරේ! අනික් අය හෑල්ලු කරන විදිහ මට පිළිකුල්. මට තරහයි.වේදනයි!ඒත්,මන් දරාගන්නම්.මට ඔයාගෙ වෙන්නනම් මේ දේවල් දරාගන්න වෙනවා නේද? මගේ හීනෙ කවදහරි ඔයත් එක්ක එකට ඉන්න එක.අපි එකට ඉගෙනගෙන එකටම ජීවත් වෙමු.එහෙම හොඳයි නේ! ඔයා දන්නවද,ඉස්සර ඔයා මා එක්ක කතා කරන්නෙ නෑ.මට ඔරවනවා.මට බය හිතෙනවා ඔයා මා එක්ක තරහකින් ද ඉන්නෙ කියලා.මොකද අපි වචනයක්වත් කතා නොකරත් බැල්මෙන් ගොඩක් වචන කතා කරා!ඇයි මා එක්ක කතා කරන්න ලැජ්ජා වුණාද? හීහ්...කමක් නෑ.දැන් ඉතින්,හරිනෙ.මට මතක් වෙනවා ගොඩක්.අපිට එකට ඉන්න තියන කාලෙ ගොඩක් අඩුයි නේද?මට දුකයි ඒත්,ටික කාලයක් ඉවසමුද?අත්හරින්න එපා කියන්නෑ.ඒත්,උත්සාහකරන්න!මොකද මන් උත්සාහ කරනවා.මන් ඔයාට ආදරෙයි මහ ගොඩක්.

මීට,

ඔයාගෙ,

සෙනුලි.🔹️

මහීශගේ තොල් අග ඇඳුන හිනාවයි කම්මුල් දිගේ රූටලා වැටිච්ච කදුලු බිංදුවයි මහීශගේ කාමරේ තිබ්බ කහ පාට හිරු එලියට කැපිලා පෙනුණා.දෙතැනක ඉන්න ඒ ආදරවන්තියන්, අවිනිශ්චිත ආදර කතාවක එක දිනයක් ඒ විදිහට අවසන් කරද්දි හිරු එලිය ටිකෙන් ටික අඩු වෙලා පරිසරය කලු කරමින් තිබ්බා.

Share This Chapter