Back
/ 27
Chapter 4

🩵ඇස්

සුසුම්.

උදෙන්ම ඇහුන කුරුල්ලන්ගේ කිචි බිචිය, ඇගට දැනෙන කුල්මත් බව හා අමුතු සීතල වගේම නුවර අහසේ අවුරුද්ද මුල් කාලවල තියන සීතලත් නැති රස්නෙත් නැති ඒ අමුතු කාලගුණය සෙනුලිව තවත් ඇද රෙද්දට ගුලි කරවන්න සමත් වුණා.මොනවා නමුත් උදේම ඉස්කෝලෙ යන්න තියන ඕනෑකම නිසා බැරිමරගාතේ හරි ඇස් කස කස ඇදෙන් බැස්ස සෙනුලි කෙලින්ම ගියේ තමන්ගෙම කාමරේට සෙට් වුණු බාත්රූම් එකට.ගිහින් ඒකෙ කණ්ණාඩියෙන් සෙනුලි තමන් දිහා තත්පර කිහිපයක් බලන් ඉදලා කට කොනින් තමන්ටම සමච්චල් හිනාවක් ඇදගත්තෙ කම්මැලිකම හා දඩබ්බර කමින් පිරුණු මුහුණින්.

"අම්මා! "

සුපුරුදු පරිදි පාසල් නිල ඇඳුමෙන් සැරසිලා තමන්ගෙ බෙල්ල ගාවට විතරක් තියනකොණ්ඩ දෙක බුරුලටත් නැතුව තදටමත් නැතුව ගොතලා සුවද හමන විලවුන් චුට්ටක් ගල්වගෙන වෙනදා වගේම සෙනුලි සාලෙට ගියේ අම්මට කන වහගන්න හිතෙන තරම් හඩ නගමින්.

"මොකද! "

"හී...නෑ...කවන්නකෝ"

"ඇත්තමයි සෙනුලි දැන් ලොකු ලමයෙක් නේද?"

"අනේ මේ...ඉස්සරනම් ඔහොම කිව්වෙ නෑ හරිද"

"අපෝ ....හරි හිරි...ඉන්න මන් බෙදන් එන්නම්..එතකන් සපත්තු දාගන්න"

"අම්මා මටත් එක්ක කවන්න"

"අනේ මේ මයා මේ අලි කෙල්ලෙක් අම්මා මෙයාටනම් කවන්න එපා..ඇයි වදේ!"

"තමුසෙ හරි පොඩියි වගේනෙ. මටත් වඩා ලොකුවට ඉදගෙන"

ඒ කියපු කතාව සීයට දාහකින් ඇත්ත. මොකද සෙනුලි කියන්නෙ වෙන පවුල් වල වගේ පොඩි නංගි කෙනෙක් නෙවේ. තමන්ගෙ අක්කට වඩා ගොඩක් උසයි වගේම ලැජ්ජාශිලී නැති කෙනෙක් කියන්න ඕන. කැපී පෙනෙන ශරීරයක් වගේම කාගෙත් සිත් ඇදගන්නා කතා විලාශය නිසා සෙනුලිට සමාජයේ ඕනම කෙනෙක්ගෙන් ලැබුනෙ අව්‍යාජ අවධානයක්. කොහොම නමුත් මේ දේ තමන්ගෙ අක්කාට නම් ඉරිසියාව ගෙන දෙන කරුණක් වුණා කිව්වොත් ඒක බොරුවක් වෙන්නෙ නෑ.

උසස් පෙල කරන තමන්ටත්වත් මේ වයසේදී මෙහෙම ආකර්ෂණයක් නොලැබුණු නිසා සහස්මි හැම වෙලේම බැලුවෙ සෙනුලි එක්ක වලියට බර වෙන්න.

"අද මන් හවස එන්නෙ නෑ ගන්න."

"ආහ්...ඒකට කමක් නෑ තාත්තා..මට බස් එකේ එන්න පුලුවන්"

"අම්මත් එක්ක එන්න"

"ඔව් මන් යනවා සෙනුලිව ගන්න. එයාට අද ක්ලාස්නෙ "

"හ්ම්"

"අනේ...මටත් තනියෙන් එන්න ආසයි නෙ..හැමදාම ඔයාලා එන්න ඕන නෑ"

"ආහ් එහෙමද...තව මොනවද දන්නෑ ආස? මගෙන් ගුටි කන්න එපා..තනියෙන් එන්න!"

"ඉතින් අම්මා..මගේ පන්තියෙ ගොඩක් ලමයි තනියෙන් තමා ගෙදර යන්නෙ"

"ඒ අනිත් අයනෙ. ඔයාට එහෙම එක පාරට පුරුදු නෑ..ඒ හින්දා මන් එනවා..කට වහගෙන කන්න"

"හුම්!"

වෙනදා වගේම සෙනුලි තමන්ගෙ තාත්තා එක්ක උදේම ඉස්කෝලෙට ආවෙ මගදි තමන්ගෙ අක්ක වෙන පැත්තකට වෙන් වෙලා යද්දි.මොකද සහස්මි සාමාන්‍ය පෙල සමත් වෙලා ප්‍රධාන බාලිකා පාසලකට පය තිබ්බ එකෙන් සෙනුලිට වුණේ මේ ඉස්කෝලෙ තනියම ජීවත් වෙන්න.

"Good morning බන්!"

"Good morning!"

ඒ සෙනුලිගෙ අතිජාත මිත්‍ර හිරුශි.ඒත් ඒ පේලියේ හිටපු අනික් කෙනානම් තමන්ව ඒ විදිහට පිලි නොගත්ත නිසා සෙනුලි බෑග් එකත් අරන් බිම බලාගෙනම පෝලිම අයිනටම ගියා.

"මේ බන්..මන් පොඩ්ඩක් B එකට ගිහින් එන්නම්. ගීතලා ඒකෙනෙ. "

"ඇයි බන් ඉතින්?"

"මේ පණිවිඩයක් කියන්න බන්"

"ආහ් හා "

හිරුශි එතනින් ගියත් හරි සෙනුලියි මහීශයි එතන තනි වුණා.තමන්ට එහා පැත්තෙ ඉන්න කෙනා දිහා හැරිලා බලන්නවත් සෙනුලිට ඕන වුණේ නෑ.ඒ නිසා පොතක් අරන් ඒකට අහේතුකව හරි මුණ ඔබන් හිටියෙ දැනුණ අමුතු දේ නිසා. ඒත්,

"Hi! "

නොහිතපු විදිහට මහීශා තමන්ට කතා කරේ හිරුශිගෙ පුටුවට ඇවිත් තමන් ගාවින්ම ඉද ගන්න ගමන්. ඉතින් සෙනුලිත් හිමින් බෙල්ල හරවල මහීශා දිහා බැලුවා.

"හායි"

"කොහොමද ඉතින්?"

"......හොදයි..ඔයාට කොහොමද?"

"ම්ම්..හොදයි.."

"හ්ම්"

මේ සංවාදය ගැන දෙන්නටම තිබ්බෙ අමුත්තක් කිව්වොත් හරි. දෙන්නම කතා කරේ කාට හරි රිදෙයි කියන වගේ හැගීමකින්.

"ඔයා හැම තිස්සෙම පාඩම් කරනවද සෙනුලි?"

සෙනුලිට මේ ඇහෙන වචනයක් ගානෙ කෙල ගිලෙන්න ගත්තෙ වෙන දේකට නෙවේ. ඉස්කෝලෙට ඇවිල්ලත් අද වෙනතුරු වැඩිපුරම කතා කරපු වචන ගාන. ඒකත් මහීශා තමන්ගෙ නම කියලම කතා කරනවා.

ඉතින් සෙනුලි නොපැකිලිව මහීශගෙ ඇස් දිහා බලන්න ගත්තත් හරි තමන්ගෙ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා.තමන්ට උන් හිටි තැන් අමතක වෙන කුණාටුවකට මුහුණ දෙනවා වගේ දැනුණා.කටේ කෙල හිදෙන්න ගත්තා. මේ වෙන විපර්යාසය මහීශත් නොදැක්කම නෙවේ. මොකද මහීශත් හිටියෙ සෙනුලිගෙ මූණ පුරා ඇස් ගෙනියන ගමන්.ඉතින් ඒ දේ දැකල මහීශටනම් කට කොනින් හිනාවක් ආවා.

"අහ්...එහෙම නෑ...ඉතින්..නිකන් වෙලාවට පොත්..බ..ලනවා.."

තමන්ට මේ වචන පැටලෙන්න ගන්නෙ ජීවිතේට පලවෙනි වතාවට. ඒකත් තවත් ගෑනු ලමයෙක් ඉස්සරහ කියල සෙනුලිට හිතෙද්දි තේරුම් ගන්න බැරි සිතුවිලි ගොන්නක් මැද එයා හිර වෙලා.

"ම්ම්..."

ඒ සංවාදය එතනින් ඉවර වෙන්නෙ හිරුශිගෙ පැමිණීමෙන්.

"උඹලා අදුර ගත්තද එහෙනම්!"

"ඇහ්?"

සෙනුලිට ඒ කියපු දේ ඇත්තටම තේරුණ්නැතත් මහීශනම් මුණේ ඇදිච්ච හොර බැල්මකින් හිනා වීගෙන පුටුවට හේත්තු වුණා.

"නෑනෑ..මේ අද ground යනවලු නේ...අපිට කලින් කිව්වෙත් නෑ බන්.."

"ඈහ්? අයියෝ...පනින්න බැරි වෙයිද?"

"පිස්සුද! සන්ධ්‍යා මැඩම් උබලගේ හවුස් එකේ එවුන්ව හොයනව අන්න. හැංගිලි නම් බෑ පුතෝ"

"අප්පෝ..."

"උඹට මහීශා එක්ක ඉන්න පුලුවන්නෙ හවුස් එකේදි.අනිත් වෙලාවෙ ඉතින් අපි කොහොමත් එකටනෙ..."

"ම්ම්"

සෙනුලි මහීශා දිහා බලන් හූමිටි තියද්දි මහීශනම් කරේ සෙනුලි දිහා ඇස් කොනින් බලලා ලාවට හිනා වුණ එක.

"ලමයි අද උදේම අපි ground එකට යනවා. Sports meet වලට practise කරන්න පටන් ගන්නවා. කාටවත් කට්ටි පනින්න බැ. කෝ යන්න ලෑස්ති වෙන්න"

කිව්වත් වගේ සන්ධ්‍යා මැඩම් කෑ ගහද්දි පන්තියෙ හැම ලමයෙක් ම වගේ බෑග් ඇතුලෙන් තොප්පි,ජර්සි,කුඩ අරන් යන්න ලෑස්ති වුණා. හැබැයි සෙනුලි නම් මේ වෙලාවෙ කරේ කැරකි කැරකි ඇඹරුණ එක.මොකද තමන් කලින් මේ බව දැනන් හිටියෙ නැති නිසා අඩුම කුඩයක්වත් බෑග් එකේ නෑ.මේ වෙනස මහීශා දැකල සෙනුලි ගාවට ආවා.

"ඇයි? මොකද්ද ප්‍රශ්නේ?"

"අහ්...නෑ..මුකුත් නෑ"

"මුකුත් නැති වෙන්නනම් බෑ...ඇයි ඔය රතු වෙලා?"

මේ වෙලාවෙ සෙනුලිට වලක් කපන් වැලලෙන්න තිබ්බනම් ඒකත් සහනයක්.

"අහ්?..... නෑ "

සෙනුලි ඉක්මනින් කම්මුල් අත් දෙකෙන්ම වහ ගත්තෙ ලැජ්ජාවට.

"මුකුත් ගෙනාවෙ නැද්ද?"

".......නෑනෙ"

හරිම අහින්සක විදිහට සෙනුලි මහීශා දිහා බලන් කියද්දි මහීශා සෙනුලිගෙ මූණට ඇස් යොමන් ටිකක් වෙලා බලන් හිටියෙ ඇස් පිල්ලමක්වත් නොගහ.

"ම්ම්...ආ!"

මහීෂා තමන්ගෙ තද නිල් කැප් එක සෙනුලිට දික් කරද්දි සෙනුලි කරේ දිගටම මහීශගේ මුණ දිහා ඇස් ලොකු කරන් බලන් හිටපු එක.

"...හ්ආ?"

"ඔය සුදු මූණ කලු වෙයි. ආ මේක දාගන්න"

ඒ කිව්ව දෙයින් සෙනුලිගෙ කන් හිටන් රත් වෙලා යන්න ගියේ තත්පර අරික්කාලයි.

"එතකොට ඔයාට?"

"මට ඕන්නෑ"

දිගටම මහීශා තමන්ගෙ මුණ දිහා බලන් ඉන්න නිසාම සෙනුලි මහීශගේ කැප් එක අරගෙන දාගත්තා.ඒක දිහා මහීශා බලන් හිටියෙ සිනා මුසු මුහුණින්.ඉතින් සෙනුලි ලැජ්ජාවට බිම බලාගෙනම දෙන්නත් එක්ක එලියට යද්දි හිරුශි ඉන්නවා එයාගෙ හවුස් එකේ ගීතා ලවණි සේමිණි එක්ක.එයාලා ඔක්කොම පන්ති බෙදිල්ල නිසා B පන්තියට වැටුණත් හවුස් එකේදි එකටම ඉන්න කතා කරගත්තා.ඉතින් එතනට ආපු සෙනුලි මහීශා දිහා එයාලා හැරිලා බැලුවෙ පුදුමයෙන්.

"මේ බන් අපි ගීතලාට කිව්වෙ නෑනේ අපි මහීශා එක්ක යාලු වුණා කියලා.උන් ඒක කොහෙන් හරි දැනගෙන බන්. දැන් පොඩ්ඩක් අවුලෙන් ඉන්නෙ"

හිරුෂි සෙනුලිගෙ කනට කරල කොදුරද්දි සෙනුලි ඒකට කන් යොමන් හිටියෙ වටපිටේටත් ආහැ තියාගෙන.මොකද දැන් දැන් ලමයි එකතු වෙලා පෝලිම් ගැහෙන්නෙ පිට්ටනියට යන්න.

"එහෙමද! කමක් නෑ..කවදහරි දැනගන්නත් එපෑ"

"හ්ම්...ඒක නෙවේ...ඔය කැප් එක කාගෙද?"

"ආහ් ....මේ...මහීශාගේ"

"මොකක්!?"

හිරුශි ඇහි බැමත් උස්සල නුරුස්සන ගත්යකින් ඇහුවෙ තමන්ට දැන් ඇහුන දේ විශ්වාස කරන්න අමාරු බව හගවමින්.

"හ්ම්..එයා දුන්නා..මන් මුකුත් ගෙනාවෙ නැති නිසා"

"මහීශා දුන්නා? මේ අපේ මහීශා?"

"හ්ම්..ඇයි?"

"ක්හැම් ක්හැම්...හරි හරි නෑ මුකුත් නෑ"

සියල්ලන් පේලි හැදිලා ground එකට යන්න යද්දි තමන් එහා පැත්තෙන් හිටපු මහීශාගේ ඇගිලි ලාවට තමන්ගෙ ඇගිලි වල ගෑවෙන ඒ සියුම් ස්පර්ශයට දෙන්නම එකවිටම මුණෙන් මුණ බලාගත්තෙ අවට ලෝකයේ කාලය තත්පර කිහිපයකට නතර කරමින්.ඉතින් ඒ ක්ෂණයකින් අත් ඈත් කරගෙන යන ගමන යන්න දෙන්නම වග කියා ගත්තා.

"මේ සෙනුලි!"

ගීතා තමන්ගෙ එහා පැත්තෙන් ඇවිත් වාඩි වුණේ පිට්ටනියේ ලමයි ක්‍රීඩා කරන දිහා දෙන්නම ඇස් තියා ගෙන බලන් ඉන්න ගමන්.

"හ්ම්"

"ඔයාලා මහීශලා එක්ක යාලු වුණාද?"

"හ්ම්ම්ම්..."

"ඉතින් අපිට කිව්වෙ නැත්තෙ?"

"කියන්න තමා හිටියෙ"

"එහෙමද? "

"ඇයි? ඔයාට අවුල්ද?"

"නෑ එහෙම නෑ..ඔයාලා ඉතින් එක පන්තියෙනෙ නේ. තරහ වෙලා ඉන්නත් බෑනෙ"

"ම්ම්"

"ඒක නෙවේ..ඔය කැප් එක කාගෙද?"

සෙනුලිට හිතුනෙ ඇයි හැමෝම එයාගෙන් ඒකම අහන්නෙ කියලා.කැප් එකක් ගිය දුරක්.

"මගේ"

"ආහ්"

එතනින් එහාට කවුරුත් කැප් එක ගැන ප්‍රශ්න කරන්න තියා ගත්තෙ නෑ.තියා ගත්තත් සෙනුලි හොද දෙකක් කියන්න කට හදාගෙන හිටියෙ.ඒත් වාසනාවට කවුරුත් ආයෙ ඒක ගැන හොයන්න ආවෙ නෑ. Practise වෙලාවෙදි සෙනුලි නම් කරේ pavillion එකට වෙලා බලාගෙන හිටපු එක. හිරුෂියි ගීතයි එයාලා එක්ක කයියක් ගහන් හිටියත් මහීෂනම් සිතුමිණී එක්ක කයිය ගහන දිහා සෙනුලි දැක්කා.දැක්කත් නොදන්න ගානට ඉන්න තමන් වගකිගියාගත්තා.

Practise ඉවර වෙලා පන්තියට ඇවිත් සෙනුලි කැප් එක ගලවලා මහීශට දුන්නා.සෙනුලිනම් හිටියෙ අව්වට හොදටම රතු වෙලා. ඒත් මහීශගෙනම් ලොකු වෙනසක් පෙනුනෙ නෑ.

"Thank you "

"Welcome"

සෙනුලි ආපහු හැරිලා යන්න හැදුවත් මහීශා එයාව නතර කර ගත්තෙ කතාවට අල්ලගන්න වගේ.

"ඔයා sports කරනවද?"

"ඉස්සර නම් කරා swimming,badminton වගේ. දැන්නම් කරන්නෑ"

"මරුනෙ"

"ඔයා කරනවද?"

"මන් හොකී ගහනවා"

"ආහ්...ම්ම්...හොදයි"

"ඔයා ආස මොනවටද? මන් කිව්වෙ මේ hobby "

ඇත්තටම සෙනුලිට මේ කතා කරන දේවල් හරිම comfortable වුණා.එයා එයාට නොදැනිම හරිම අව්‍යාජ විදිහට තමන්ගෙ දේවල් මහීශා එක්ක බෙදා ගත්තා.

"ම්ම්...මන් නටන්න ආසයි. සින්දු අහන්නත් ආසයි"

"මොනවද අහන සින්දු?"

"English songs"

"Wow! මාත්. මන් ආස one direction ලට"

"ඕහ්..මන් sia ට ආසයි. ගොඩක්ම එයාගෙ සින්දු අහනවා."

"ම්ම්..මට හම්බුනාමයි "

"ආහ්?"

මහීෂා ජනේලෙන් ඈත බලන් ඒ කියපු දේ සෙනුලිට හරියට තේරුම් ගන්න බැරි වෙද්දි ඇස් දෙක පොඩි කරගත්තා.

"ඔයා වගේ කෙනෙක්! මට හම්බුනාමයි "

...........................................................................

Share This Chapter