Back
/ 43
Chapter 11

Chapter 11

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  එකොළොස් වන කොටස 🌙

................................................................

" ඒ කියන්නෙ.... මගේ ඇප්ලිකේෂන් එක දැම්මෙ ඔයා ද.... "

" නැතුව ඉතිං.... "

" ඔයාට නම් හොදටම පිස්සු හිමාෂා... "

මම ඇයව වැලදගත්තෙ සතුටින්. අදත් මගේ ඇස් වලට කදුළු පිරුනා. ඒත් ඒ සතුටු කදුළු.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

පහුවදා උදේන්ම මම කාර්යාලයට ආවේ අලුත් බලාපොරොත්තු ගොන්නක් පොදි බැදගෙන. මීට කලින් කිසිදු දිනක උවමනාවක් නොතිබුණු රැකියාවක් ගැන සිත මේ තරම්ම සතුටු වේ යැයි මා කෙදිනකවත් සිතුවෙ නෑ.

පෙර දින රාත්‍රියෙ මගේ අලුත් රැකියාව ගැන දැනගත් සිම්මි ද බෙහෙවින් සතුටු වූ මොහොත තවමත් මගේ සිතේ ඇදිලා තිබුණා.

වමතින් බෑගයත් දකුණු අතින් මල් පොකුරත් තුරුලු කරගෙන ආව මට කාර්යාලයේ බොහෝ දෙනා සුභ පැතුම් එක් කලා. උදේ පාන්දරම මල් සාප්පු කිහිපයකටම ඇවිදලා  හොහොයාගත්ත  ලැවැන්ඩර් මල් පොකුර පරිස්සම් කරගෙන කාර්යාලයට ගෙන ඒම නම් තරමක් අපහසු කටයුත්තක් වුණා.

" හම්මේ මල් කුමාරි වගේ...

ගුඩ් මෝනින්.... "

" ගුඩ් මෝනින් හිමාෂා.... "

වෙනදා මෙන් ඇයත් සමගින් උදේට එකතු වෙලා ඕපදූපයක් කතා කරන්න වෙලාවක් මට තිබුනෙ නෑ. මම ඉක්මනින්ම ආගත් සර්ගෙ  කාර්යාල කාමරයට ඇතුලු වුනෙ ඔහු එන්න කලින්  කාමරය සුදානම් කිරීමට. ඒ වෙද්දිත් පිරිසිදු කිරීමේ අංශයෙන් ඔහුගෙ කාර්යාලය පිරිසිදු කර අවසන්.

මම හරි ආසාවෙන් අරගෙන ආව ලැවැන්ඩර් මල් පොකුර මල් වාස් එකකට දාලා එය ආගත් සර්ගෙ මේසය උඩින් තිබ්බෙ කාමරයෙ හැඩ බලන ගමන්. වායු සමීකරණය ක්‍රියාත්මක කලායින් පස්සේ ලැවැන්ඩර් මල් වල සුවද මුලු කාමරය පුරාම පැතිරෙන්නට වුණා.

කාලෙකට පස්සෙ දැනුන ලැවැන්ඩර් මල් සුවද මට මතක් කලෙ මගේ අතීතය. තාත්තගෙ පුංචි ගම. මොන තරම් දුෂ්කර වුනත් අපි උන්නෙ හරිම සතුටින්. පර්වත වන් විශාල කඳු වල හැප්පිලා එන සීතල සුළග. යායට පිපුණු මල් වල සුවඳ අදටත් මගේ හිත තුළ නොමැකෙන මතකයක් වෙලා. ලැවැන්ඩර් මල් සුවද එක්ක මා වෙලාගත් අතීත මතකයන් එක්ක මම තනි වුණා. ඇස් දෙක පියාගෙන මම වින්දෙ ඒ අතීතය.

" ලැවැන්ඩර්....?? "

අතීතයේ මතකයන් වල සක්මන් කරමින් වුන්න මං පියවි සිහියට ආවේ ආගත් සර්ගෙ හඬින්. මම ඉක්මනින් ඔහු වෙත හැරුනෙ කලබලයෙන්. ඒ වෙද්දිත් ආගත් සර් කාර්යාල කාමරයෙ දොර අභියස සිටගෙන සිටියෙ කලිසම් සාක්කුවලට අත් ඔබාගෙන.

" ගුඩ් මෝනින් සර්.... "

ඔහු ලැවැන්ඩර් මල් සුවඳට ඉව අල්ලන මොහොතෙ මං උදෑසන සුභ පැතුම් එක් කලෙ මල් රැගෙන ඒම ගැන ඔහු දොස් කියාවිදෝ බයෙන්.

" මොකක්ද ඒ සුවඳ..... "

ආගත් සර් කෝට් එක ගලවලා කෝට් රදවනයෙ එල්ලන ගමන් එහෙම ඇහුවෙ ලැවැන්ඩර් මල් පොකුර දැක දැකම. මොහොතකට කලින් ඒ ලැවැන්ඩර් මල් සුවඳ බව අදුරගත්ත ඔහු දැන් මා ඉදිරියෙ බොරු රංඟනයක යෙදෙන බවයි මට සිතුනෙ. අමුතුවෙන් හිතන්න දේකුත් නෑ. කොහොමත් ඔහු ආඩම්බරකාරයා නේ.

" ඒ ලැවැන්ඩර් මල් වල සුවද සර්....

මට හිතෙන්නෙ සර් ඒ සුවඳට කැමතියි වගේ.... "

ආඩම්බරකම අඩු කරන්නත් එක්ක මම කටට ආව වචන ඔහෙ කියලා දැම්මා. ඊළගට ඔහු ඇස් උස්සලා සුපුරුදු නපුරු බැල්ම මා වෙත හෙලද්දියි මම තේරුම්ගත්තෙ කියෙවුවා වැඩි දෝ කියලා. ඉතිං මම බිම බලාගත්තෙ සමාව ඉල්ලන්න වගේ.

" අකමැත්තක් නෑ.... "

මම ආයෙත් ඔලුව උස්සලා බැලුවෙ සර්ගෙ ඒ කතාවට. ඒ පළවෙනි වතාව ඔහු මම කරපු දේකට වරදක් නොකියපු. ඉතිං මගේ හිත සතුටින් ඉපිලෙන්න වැඩි වෙලාවක් ගත වුනෙ නෑ.

" ඒ කියන්නෙ සර් කැමතියි නේ.... "

" මම කිවුවේ අකමැත්තක් නෑ කියලා මිසක් කැමතියි කියලා නෙමේ..... "

" ඉතිං සර් අකමැත්තක් නෑ කියන්නෙ කැමතියි කියන එක නේ... "

මම උත්සහ කලෙ මගේ තර්කය නිවැරදි කරගන්න.

" සිනුදි..! "

සර්ගෙ එක ගර්ජනාවකින්ම මම නිහඬ වුණා.

" සිනුදි හොදට අහගන්න...

මට මෙ මල් වලින් වැඩක් නෑ....

මට ඕනෙ වැඩ සම්පූර්ණ වෙන්න එච්චරයි....

ඔයාට බැරි වුනොත් මට ඕනෙ විදියෙ ප්‍රොෆෙෂනල් සෙකට්‍රි කෙනෙක් වෙන්න...

මම ඔයාව අස් කරලා දානවා...

දැන් මෙතනින් යනව යන්න.... "

සර් කෑගැහුවේ හරිම නපුරු විදියට. පුරුද්දට වගේ ඉබේම ඇස් වලට කදුළු පිරෙද්දි මම කාර්යාල කාමරයෙන් පිටතට දිව ආවේ පිටි අත්ලෙන් කදුළු පිසලමින්.

" පුදුම නපුරුකමක් තියෙන්නෙ.... "

ආපනශාලාවට වෙලා මම තනියම කියවමින් වුන්නෙ සර්ගෙ කෝපි එක ලැබෙන තුරු.

" මිස්... "

සේවිකාව රැගෙන ආ ට්‍රේ එක අතට ගත්ත මම පුදුම වුණා.

" ඇයි මේ චිප්ස්....

කෝපිත් එක්ක චිප්ස් කන මිනිස්සු ඉන්නව ද.... "

කෝපි කෝප්පයත් එක්ක තිබුණු අල බැදුම් දෙස මම  බැලුවෙ අප්පිරියාවෙන්. සේවිකාව සිනාසුනෙ සුහදව. ඒ සිනහවෙන් කියා පෑවේ ඔහුට අවශ්‍ය එය බවයි.

ඉතිං මා කෝපි කෝප්පයත් රැගෙන නැවතත් ආගත් සර්ගෙ කාර්යාල කාමරයට ආවේ අවසර අරගෙන. මම බෙහෙවින් පිළිවෙළට සකසා ගිය ඔහුගෙ කාර්යාල මේසය මේ විනාඩි ගනනට සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. හැම අංශයකින්ම ලැබුනු ලිපිගොනු ඔහුගෙ මේසය මත. ඉඩක් හොයාගෙන ට්‍රේ එක මේසය මතින් තියපු මම යන්න හැරුනත් ආගත් සර්ගෙ හඩින් මා නතර වුණා.

" සිනුදි මේ ෆයිල් ටික අරගෙන  යන්න.... "

අමතර මේසය මත තිබුණු ලිපිගොනු කිහිපය මම අතට ගත්තා. ඒ ලිපිගොනු කිහිපයෙ උඩින්ම තිබුනෙ වීපි සර්ගෙ ආයතනයේ ලිපිගොනුවක්.

" සර් මෙ ෆයිල් වලට මොකද කරන්නෙ... "

ලිපිගොනුවල අත්සන් කරමින් උන්න ආගත් සර් මගේ දිහා බැලුවෙ කරමින් සිටි කාර්ය පැත්තකින් තියලා.

" කුණු එකට දාන්න....

කැමති නම් ඔයා ගෙදර ගෙනියන්න.... "

සුපුරුදු ආඩම්බරයෙන් එහෙම කියපු ආගත් සර් ආයෙත් ලිපිගොනු මත අවදානය රදවාගත්තා.

" ඒත් සර් මෙතන වීපි ගෘප් එකේ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකත් තියෙනවා....  "

" ඉතිං.... ?? "

" ඉතිං සර් ඒ ෆයිල් එක ඕන කරන එකක් නේද.... "

" අපි ඒ ප්‍රොජෙක්ට් එක කරන්නෙ නෑ සිනුදි.... "

ඒ තරම් ගානකට නොගෙන ආගත් සර් එහෙම කියද්දි මගේ දෑස් විසල් වුණා. වීපි සර්ගෙ ආයතනය හා සම්බන්ධ වෙලා ව්‍යාපෘති කිරීම ඇතැම් ආයතන වල සිහිනයක් වෙද්දි වීපි සර්ගෙන්ම ලැබුණු ආරාධනය ආගත් සර් ප්‍රතික්ෂේප කරලා.

" ඒත් සර්... ඒක කෝටි දෙසීයක ප්‍රොජෙක්ට් එකක් නේ...... "

" ඉතිං....

කෝට් දෙසීයක් නෙමේ දෙදහක් වුනත් ඔය ප්‍රොජෙක්ට් එක අපි කරන්නෙ නෑ.....

මිස් සිනුදි... ප්‍රොජෙක්ට් ගැන මම බලාගන්නම්... ඔයා මාව බලාගන්න.... "

" සොරි සර්.... "

ලිපිගොනු කිහිපයත් අරගෙන මම කාර්යාල කාමරයෙන් පිටතට ආවෙ වෙනම සිහියකින්. වීපි සර් කියන්නෙ ප්‍රතික්ෂේප වීම් දරාගන්න පුලුවන් කෙනෙක් නෙමේ. ඉතිං ආගත් සර්ගෙ මේ තීරණය දැනගත් වහාම ඔහු යක්ෂාවේශ වෙනව නියතයි. මට  දැනුනෙ නපුරක සේයාවක්. ලිපිගොනු කිහිපය විනාශ කිරීමෙ යන්ත්‍රයට බහාලු මම කල්පනාවට වැටුණා.

"  ප්‍රොජෙක්ට් ගැන මම බලාගන්නම්... ඔයා මාව බලාගන්න.... "

අහම්බයෙන් වගේ මට මතක් වුනෙ ආගත් සර්ගෙ වචන. මම මතකයන්ගෙන් මිදුනෙ ගැස්සිලා. ඒ මොහොතෙ වෙනම ලෝකෙක උන්න නිසාදෝ ආගත් සර්ගෙ වචන මට හරියටම ඇහුනෙ දැන්.

" එයා කිවුවේ එයාව බලාගන්න කියලා නේද.... "

මගේ මුලු ඇගම හිරිවැටිලා ගියෙ ක්ෂනිකවම.

" මොකක්ද දෙයියනෙ ඒකෙ තේරුම..... නෑ නෑ.... වැඩිය හිතන්න ඕනෙ නෑ... සර්ට වරදින්න ඇති... නැත්නම් මට ඇහුනෙ වැරදියට....

එක්කො ගිහින් සර්ගෙන්ම අහනව ද...

අම්මෝ නෑ නෑ... සර්ගෙන් අහන්න ඕනෙ නෑ....

අයියෝ මගේ ඔලුවත් විකාර වෙනවා... "

ලිපිගොනු විනාශ කිරිමෙ යන්ත්‍රය ලග තනිවම කියවමින් උන්න මාව වට කරගත්තේ මගේ කාර්යාල මිතුරන්.

" කන්ග්‍රැටුලේෂන්ස් සිනුදි.... "

සහන් මට අතට අත දෙද්දි අමාරුවෙන් උනත් බොරු හිනාවක් මම ආරූඪ කරගත්තා.

" ඒක නෙමේ...

ඔන්න අපිට පාර්ටි ඕනා... ආයෙ කිවුවේ නෑ කියන්න එපා.... "

තාරක කිවුවේ මගේ කරට අත දාගන්න ගමන්.

" අහ් ඔව් ඔව්... ඕවා කල් දාන්න හොද දේවල් නෙමේ..... කට්ටිය අද හවස ෆ්‍රී නේ.... එහෙනම් වැඩේ ඉවරයි....

අද හවස සිනුදි ගානෙ අපිට පාර්ටි...

හා නේ... "

" හරි හරි.... එහෙනම් හවසට ලෑස්ති වෙන්නකෝ.... "

මම එය ස්තීර කලෙ සතුටින්.

නැවතත් නියමිත කාර්යන් වලට  අවදානය දුන්නත් හැමෝම වගේ සැරින් සැරෙට ඔරලෝසුව දෙස බැලුවෙ අද වෙනදට වඩා හිමිට කටු කැරකෙනවද කියන සැකෙන්. මොකද හැමෝටම ඕන වුනෙ ඉක්මනින් හවස් වෙන්න. කාර්යාල මිතුරන් වූ අපිට එකට එකතු වෙලා සතුටු වෙන්න අවස්ථාවක් ලැබෙන්නෙ අහම්බයෙන්. කාර්යබහුල දිනයක් අවසානයෙ මිතුරන් හා සතුටු වීමට අපි කවුරුත් කැමති.

ඉතිං හැමෝගෙම බලාපොරොත්තු ඉටු කරමින් හෙමින් හෙමින් කාලය ගත වුණා. කාර්යාලය නිම වීමට තිබුනෙ තවත් හෝරාවක් පමණයි. සයුරි නම් දැනටමත් බෑග් එක අස් කරන්න පටන් අරන්. සහන් තාරක දෙන්නා අද රෑ කෑමට ගන්නෙ මොනාද කියලා ලොකු තර්කයක. හිමාෂා නම් අද බාර දිය යුතු ලිපිගොනුවක හිර වෙලා.

ඒ අතරෙ ආගත් සර් අපේ කාර්යාලයට ඇතුලු වුනෙ පෙර දැනුම් දීමකින් තොරව. ඔහුව දුටු පමණින්ම කරමින් සිටි කාර්යන් පසෙක දමා අපි නැගිටගත්තා.

" අද හවස බෝඩ් මීටින්.... ඔයාලා හැමෝම එතන ඉන්න ඕනෙ..

ඕකේ..... "

ආගත් සර්ගෙ පණිවිඩයට අපි හැමෝගෙම මූණු මැලවුනේ ඉබේටම. ඒ පණිවිඩය විතරක් කියලා එතනින් යන්න හැරුනු ආගත් සර් නතර වුනෙ තාරක ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.

" ඇයි සර් හදිස්සියේම..... "

" අලුත් ප්‍රොඩක්ට් එක අපිට ඉක්මනින්ම රිලීස් කරන්න වෙනව තාරක....  "

ඊළගට ආගත් සර් අපි හැමෝගෙම අදුරු වෙලා තිබුණු මූණවල් දිහා බැලුවෙ සැකයෙන්. ඒ අතරෙ නිහඬබව බින්දෙ සහන්.

" සර් මීටින් එක ඉවර වෙන්න කීය විතර වෙයි ද දන්නෙ නෑ නේ.... "

සහන්ගෙ කතාවටම සයුරිත් එකතු වුණා.

" සර් අපි ඔය මීටින් එකට ඉන්නම ඕන ද..? "

ඒ ප්‍රශ්නෙට නම් ආගත් සර් පිළිතුරු දුන්නෙ ස්තීරවම.

" අනිවාර්යෙන්ම... මගේ ටීම් එක එතන ඉන්නම ඕනේ....

මට දැනගන්න පුලුවන් ද ඔයාලගෙ ප්‍රශ්නෙ මොකක්ද කියලා.... "

අපේ මැලවුණ මූණවල් වලින් කුමක් හෝ ගැටලුවක් ඇති බව ඔහු තේරුම්ගන්න ඇති.

සර්ට ඇත්ත හේතුව කියන්න එපා කියලා අපි හැමෝම ඇස් වලින් කියද්දිත් දේවින්ද කට ඉස්සර කරගත්තා.

" සර් මෙකයි.. අපි හැමෝම එකතු වෙලා අද ඩිනර් අවුට් යන්න උන්නෙ... "

දේවින්දගෙ වචන හමුවෙ සර්ගෙ මූණෙ හීනියට හිනාවක් ඇදිලා මැකිලා ගියෙ ඉබේටම.

" අහ්... ඉට්ස් ඔකේ...

මීටින් එක ඉවර වෙලා අපි හැමෝම යමු...

මාත් එන්නම්.... "

හීනෙකින්වත් හිතුවෙ නැති උත්තරයක් ආගත් සර්ගෙන් ලැබෙද්දි සයුරිට කැස්සක් ආවෙ ඉබේටම. හිමාෂත් මාත් මූණට මූණ බලාගත්තෙ පුදුමයෙන්.

ආගත් සර් වැනි ආඩම්බරකාර නපුරෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් තීරණයක් නෙමේ ඒ. ඇහුන දේවල් විශ්වාස කරගන්න බැරුව අපි තවමත් ගල් ගැහිලා ඉද්දි ආගත් සර් විදුලි සෝපානය වෙත ගිහිල්ලත් ඉවරයි.

" එයි මෙ බොසාට මොකක්ද බන් වෙලා තියෙන්නෙ... "

සහන් එහෙම ඇහුවෙ ඔලුවත් කසන ගමන්.

" පෝය කවද්ද බන්...

මං අහලා තියෙනවා පෝය ලං වුණාම සමහරුන්ට ඔහොම වෙනව කියලා... "

තාරක මූණත් බෙරි කරගෙන පුටුවට වැටුනෙ දේවින්දගෙ ඔලුවටත් ගහගෙන.

" මූ තමයි ඔක්කොම කෑවේ... "

" අඩේ පොර කවද්ද බන් අපිත් එක්ක පාර්ටි යන්න ආවේ...

ඒ නිසයි බය නැතුව සීන් එක කිවුවේ...

අන්තිමේ මල මගුලක් නෙ උනෙ ඕයි... "

වදින්න ගිය දේවාලෙ ඉහෙ කඩා වැටුනු කපුවගෙ වගේ හැමෝගෙම මූණු දෙක තුන වෙලා. මමත් හිමාෂත් හොරෙන් හිනා වුනෙ ඒ මූණු දිහා බල බල.

" අපි පාර්ටි එක කැන්සල් කලා කියමු ද... "

" පිස්සුද සිනුදි... එහෙම හරි නෑ නේ....

දැන් ඉතිං ඉල්ලන් කාපු එකේ එහෙට ගිහින් බෙදාගෙන කාලත් එමු... "

තාරක කිවුවේ සැනසුම් සුසුමක් හෙලමින්.

" එක නෙමේ ලෑස්ති වෙයල්ලා මීටින් යන්න.... "

දේවින්ද අදාල ලිපිගොනු කිහිපයක්  අතට ගද්දි අපිත් රැස්වීම් කාමරයට යන්න සුදානම් වුණා.

රැස්වීම් කාමරයට ඇතුලු වෙන්න කලින් මම ඇමතුමක් ගත්තෙ අම්මට. ඒ මම එන්න පරක්කු වෙන බව දැනුම් දෙන්න.

" හෙලෝ අම්මා...

අද ඔෆිස් එකේ මීටින් එකක්...

මං එන්න රෑ වෙයි.... "

මම රැස්වීම ගැන කිවුවද රැස්වීමෙන් පසු මිතුරන් හා කෑමට යන බව ඇයට නොකිවුවේ හිතාමතාම. ඒ ගැන වීපි සර් දැනගත්තොත් මට එයට ඉඩ නොදෙන බව ස්තීරයි. ඉතිං අම්මටද ඒ තොරතුරු සැගවීමට තරම් මම දැඩි වුණා.

" ඔයා මට නෙමෙ සිනුදි...

ඕක වීපි සර් ට කතා කරලා කියන්න...

නැත්නම් ඒ මනුස්සයා ඔයා ගැන බොරුවට බය වෙනවා..."

" අම්මා...

ඔයාට ඕනෙ නම් එයාට කියාගන්න... මට වැඩක් නෑ.... "

මම ඇමතුම විසන්ධි කලේ තරහින්.

................................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට මගේ අකවුන්ට් එකේ ඇති සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු ✒️

Share This Chapter