Back
/ 43
Chapter 12

Chapter 12

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  දොළොස් වන කොටස 🌙

................................................................

" ඔයා මට නෙමෙ සිනුදි...

ඕක වීපි සර් ට කතා කරලා කියන්න...

නැත්නම් ඒ මනුස්සයා ඔයා ගැන බොරුවට බය වෙනවා..."

" අම්මා...

ඔයාට ඕනෙ නම් එයාට කියාගන්න... මට වැඩක් නෑ.... "

මම ඇමතුම විසන්ධි කලේ තරහින්.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

" චියර්ස්.........!! "

තරු පිරුණු අහස යට මුහුදු වෙරළට වෙලා කාර්යාල මිතුරන් සමගින් කාලය ගත කිරීම මොන තරම් ආශ්වාදනීය මොහොතක් ද. මම උන්නෙ ඒ සතුටෙ උපරිමය විදිමින්.

කාර්යාලීය රැස්වීම අවසානයෙ ආගත් සර් අපිව අරන් ආවේ සාමාන්‍යයෙන් VIP නොවන ගැණුම්කරුවන් සදහා දොරටු විවර නොවන සුඛෝපභෝගි හෝටල් සංකීර්ණයකට. අපි මේ විදින්නාවූ මොහොත ආගත් සර් ට ඇරුනාම අනිත් හැමෝටම අලුත් අත්දැකීමක් වුණා.

මුහුදු වෙරළට මුහුණලා තිබුණු ආපනශාලාවෙ මේස පනවා තිබුනෙ මුහුදට බෙහෙවින් ආසන්නව. ඉතිං ඉදහිට එන සීතල මුහුදු වතුර අපේ දෙපා තෙමන තරමටම අපි මුහුදු රළට ලං වෙලා උන්නා.

කාර්යාල මිතුරන් සමගින් ආගත් සර් ද ඔහුගෙ ප්‍රධාන ආරක්ෂකයා වන රෙහාන් ද මෙ සුන්දර මොහොතට එකතු වෙලා උන්නා. ආගත් සර් ද අපේ ප්‍රිය සම්භාෂනයට සහභාගි වූ නිසා පළමු විනාඩි කිහිපය මගේ කාර්යාල මිතුරන් ගත කලෙ තරමක පැකිලීමකින් යුතුව. නමුත් ආගත් සර්ගෙ සාමාන්‍ය හැසිරීම නිසා පැකිලිමකින් තොරව ඔහු හා සතුටු වෙන්න අපි හැමෝටම අවස්ථාව ලැබුණා.

මේසය පුරා සැනකෙළියක මෙන් විවිධාකාර ආහාර බදුන් බොහොමයක් තිබුනත් මගේ හිත හොරකම් කලෙ මෙ පරිසර සුන්දරත්වය. මිතුරන්ගෙ සිනහ හඬ මැදින් ඇසෙන රළ පෙරලෙන හඬට මම අවදානය දුන්නා. ඒ හඬ අහගෙනම නිකටට අත තියාගත්ත මම තරු පිරුණු අහස දිහා මේ තරම් සතුටු හැගීමකින් බලන් වුන්නෙ මොනතරම් කාලෙකට පස්සේ ද කියලා මට මතක නෑ.

" මම යනවා රැලි පාගන්න කවුද එන්නෙ... "

වයින් වීදුරුවක් අතට ගත්ත හිමාෂා නැගිටගත්තෙ රැල්ලට තවත් ලං වෙන්න හිතාගෙන.

" ඒක මරු වැඩේ යමු යමු.... "

සහනුත් දේවින්දත් නැගිටගද්දි තාරක නම් ඒ අදහසට කැමති වුනෙ නෑ.

" අපෝ උඹලා පොඩි ඌන් වගේ....

මට නම් බෑ.... "

සයුරිත් රෙහානුත් රැල්ලට යන්න සුදානම් වෙද්දි හිමාෂා තාරකට ලං වුනෙ බොරු ලෙන්ගතුකමකින්.

" තාරක එන්නකො අනේ....

මාව ගහගෙන ගියොත් එහෙම බේරගන්නවත් කවුරුත් නෑ..... "

හිමාෂා උත්සහ කලෙ මොනාම හරි කරලා තාරකව රැල්ලට අරන් යන්න. හිමාෂාගෙ වදෙන් බේරෙන්න බැරි තැන තාරක රැල්ලට යන්න නැගිටගත්තෙ ඒ තරම් කැමැත්තකින් නොවේ.

" ඉන්න මාත් එනවා..... "

රැල්ලට යන්න උවමනාවක් නොතිබුනත් කෑම මේසයෙ ආගත් සර් එක්ක තනි වෙන්න  බැරි කමට මමත් නැගිටගත්තා.

" අහ් මේ.... සිනුදි ඔයා ඉන්න....

බොස් තනියම නේ.... "

මම එන්න ලැස්ති වෙනවත් එක්කම හිමාෂා මගේ කනට කරලා කිවුවේ වෙන කාටවත් නොඇසෙන්න. මම එහෙම කරන්න බෑ කියලා අසරණ බැල්මක් ඇය වෙත හෙලුවත් මගේ කම්මුලක් මිරිකලා හිමාෂා තාරකවත් ඇදගෙන රැල්ලට ගියෙ ආගත් සර්වත් මාවත් කෑම මේසයෙ තනි කරලා.

ආගත් සර් සුපුරුදු ආඩම්බරයෙන් ඈත දියඹ දිහා බලාගෙන වුන්නෙ එතන ඔහු ඇරුනම වෙන කෙනෙක් නැති ගානට.

" අයියො මටමයි වෙන්නෙ.... "

හුස්මක් අරගෙන මම ආයෙත් බංකුවකට බර වුනෙ හොරැහින් ආගත් සර් දිහා බලමින්. ඔහුට මම ඉන්නව කියලා ගානක්වත් නෑ. මොහොතක් ඈත දියඹ දිහා බලාගෙන උන්න ඔහු දුරකථනය අතට අරන් එහි තිරය මත ඇගිලි තුඩු ගෙනගියෙ මම නිකටට අත තියාගෙන ආයෙත් තරු පිරුණු අහසට බැල්ම ගෙනයද්දි.

" කන්නෙ නැද්ද..... ? "

තත්පර කිහිපයක් නිහඬව උන්න ඔහුගෙන් වචන පිට වුනෙ පළවෙනි වතාවට. ඉතිං ඒ පැනයට පිළිතුරු දෙන්න මම උත්සුක වුණා.

" කන්න ඕනෙ සර්....

ඒත් තාම බඩගින්නක් ආවේ නෑ....  "

අහස දිහා බලාගෙන වුන්න මම ඔහු වෙත හැරිලා  ක්ෂනිකවම උත්තර දුන්නා. ඒත් ඔහුගෙ පුදුමය මුසු වුනු බැල්ම මගේ උවන මත නතර වෙද්දි උත්තර දෙන්න ඉක්මන් උනා වැඩිද කියලා මට හිතුනෙ ඉබේටම. ඒ මොහොතෙ ඔහුගෙ මුහුණෙ ඇදිලා මැකිලා ගිය උපහසාත්මක සිනහව නිසාම මම තවත් ව්‍යාකූල වුනා.

ඊළගට ඔහු මට අතින් පෙන්නුවෙ ඔහුගෙ සවනත රදවාගෙන සිටි බ්ලුටූත් හෙඩ්ෆෝනය. ලැජ්ජාවෙන් මූණ රතු වෙන්න වැඩි වෙලාවක් ගත වුනෙ නෑ. මම ඉක්මනින්ම බැල්ම පහතට හරවාගත්තා. ඔහු හෙඩ්ෆෝනයෙ ආදාරයෙන් අනෙක් පස සිටි අය සමගින් තවත් මොනවදෝ කතා කර අවසානයෙ ඇමතුම විසන්ධි කලේ ඔහුට හෝ ඇයට සමු දීලා.

" කන්නෙ නෑද්ද...... "

ආයෙත් ඒ ප්‍රශ්නෙම ඔහුගෙ මුවින් පිට වෙද්දි මම ඔලුව උස්සලා බැලුවෙ සැකයෙන්. ඒ වෙද්දි ඔහුගෙ ඇස් තිබුනෙ මගේ ලග.

" ම... මගෙන් ද අහන්නෙ.... "

" ඇයි ඔයාට මෙතන තව කවුරු හරි ඉන්නව වගේ පේනව ද..... "

කෑම මේසයෙ ඔහුත් මමත් විතරක් ඉන්න බව නම් සැබෑව. නමුත් මගේ ඇස් ක්ෂනිකවම නතර වුනෙ ඔහුගෙ සවනත මත. මට ඕන උනෙ එහි හෙඩ්ෆෝනය නොමැති බව තහවුරුකරගන්න. මගේ මූණට හිනාවක් ආවේ එවර නම් ඔහු ඒ පැනය මගෙන්ම ඇසූවක් බව තේරුම්ගත් මොහොතෙ.

" මට කන්න අමතක වුණා සර්.... "

" ඒක ලෙඩක් ද.... "

" අයියෝ නෑ සර්....

මේ තැන හරි ලස්සනයි....

හිත නිවෙනවා...

අන්න ඒකයි මට කන්න අමතක වුනේ.. "

" ඔයාට ඉක්මනින්ම බෙහෙත් ගන්න වෙනව සිනුදි....

ඕක මානසික ලෙඩක් වෙන්නත් පුලුවන්.... "

ඒ තරම් ගානකට නොගෙන ආගත් සර් එහෙම කියද්දි මගේ ඇස් ලොකු වුණා. ඔහු මාත් සමගින් විහිලු කරනවද එහෙමත් නැත්නම් හිතාමතාම මට අපහස කරනව ද කියලා මට හිතාගන්න බෑ. ඒ මොනවා වුනත් මම රැවිල්ලකට ලග බැල්මකින් ඔහු දිහා බලන් ඉද්දි ඔහු මේසයෙන් නැගිටගත්තෙ අනෙක් කාර්යාල මිතුරන් හා එකතු වෙන්න.

" මං ප්‍රාර්ථනා කරනවා ඔයාට ඉක්මනින් හොද වෙන්න කියලා මිස් සිනුදි....

මම අර පැත්තට යනවා  ඔයත් එනවද.... "

" නෑ.... මම එන්නෙ නෑ.... "

මම කිවුවේ අහක බලාගෙන. ඔහු එතැනින් පිටව යන තුරුම ඒ දෙස නොබල ඉන්න මම වගබලාගත්තා.

" පුදුම නපුරුකමක් තමයි තියෙන්නෙ.. "

තරහටත් එක්ක මම සොසෙජස් බදුන ලං කරගත්තේ තරහින් මූණ රතු කරගෙන.

තවත් හෝරාවකට ආසන්න කාලයක්ම අපි මුහුදු වෙරළෙ ගත කලා. අපේ අකමැත්ත පසෙකලා සුඛෝපභෝගි හෝටලයෙ සියලු විදම් දැරුවෙ ආගත් සර්.

" ඉට්ස් ඔකේ ගායිස්....

මට ඔයාලට කොහොමත් වෙල්කම් ට්‍රීට් එකක් දෙන්න ඕන වෙලා තිබුනෙ...

දැන් ඒ ප්‍රශ්නෙත් ඉවරයි.... "

" තැන්ක් යූ සර්.... "

අපි හැමෝම ඔහුට ස්තූතියි කලෙ හදවතින්ම. මෙ ගෙවුන හෝරා කිහිපයට අම්මගෙන් ඇමතුම් කිහිපයක්ම ලැබුනත් මම ඒවා නොසලකාහැරියෙ හිතාමතාම. නමුත් අපි ආයෙත් එන්න ලෑස්ති වෙන මොහොතෙ වීපි සර්ගෙන් ලැබුණු ඇමතුම මගේ හිතෙ ගැස්මක් ඇති නොකලා කිවුවොත් බොරු. හිත ශක්තිමත් කරගෙන ඇමතුමට සම්බන්ධ නොවි වුන්න මම දුරකථනය ක්‍රියාවිරහිත කලෙ ඇමතුම අවසන් වූ වහාම. ඊළගට වෙන දේ පැහැදිලි වුනත් මේ මොහොතෙ ඒ අප්‍රසන්න කට හඬ අහන්න මට උවමනාවක් තිබුනෙ නෑ.

" සිනුදි.... හැමදේම හොදින් නේද.... "

වීපි සර්ගෙ ඇමතුම් නිසා මගේ වෙනසක් දැකලද කොහෙද හිමාෂා එහෙම ඇහුවෙ මගේ අතින් අල්ලගන්න ගමන්. මම බොරු හිනාවකින් මූණ පුරෝගෙන ඔව් කියන්න හිස වැනුවෙ මේ මොහොතෙ කාගෙවත් සතුට නැතිකරන්න තිබුණු අකමැත්තට.

රාත්‍රි ආහාර ගැනීමෙන් පසුව අපි සුඛෝපභෝගී හෝටල් පරිශ්‍රයෙන් පිටතට ඇවිදන් එමින් වුන්නා. ආගත් සර් රෙහාන් සමගින් සාකච්ඡා කරමින්ම ඉස්සරහට අඩි තියපු අතර අනිත් හැමෝම උන්නෙ අද දවසෙ විදපු අලුත් අත්දැකීම ගැන උදම් අනමින්.

" මිස්ටර් ආගත්.... ! "

එක් වරම ඇසුනු හඬින් ආගත් සර් නතර වන විට අපිත් ඔහුට පිටුපසින් නැවතුනා. මද ආලෝකයක් පමණක් තිබු අදුරු කොරිඩෝවේන් මතු වුනෙ මම දකින්න අකමැතිම ඒ රුව. ඔව් ඒ කොරිඩෝවේන් මතු වුනෙ වීපි සර්. ආරක්ෂකයින් කිහිප දෙනෙක් ද ඔහුගෙ පිටුපසින් ඉදිරියට ඇදුනා.

මට දැනුනෙ මුලු පොලවම හෙල්ලිලා ගියා වගේ. දෙපා වලින් ආරම්භ වුන වෙව්ලීම නවත්තගන්න මට පුලුවන් වුනෙ නෑ. හිමාෂා තවත් තදින් මාව අල්ලගත්තෙ ශක්තිමත් වෙන්න කියලා නොකියා කියමින්. පිටතට ඇහෙන තරම්ම මගේ හදගැස්ම වේගවත් වෙලා.

කොරිඩෝවේන් මතු වුන වීපි සර් ආගත් සර්ට අතට  අත දුන්නෙ ව්‍යාපාරික මිතුරන් බව මවාපාමින්. මූනෙ හිනාවක් නැති වුනත් ආගත් සර් අකමැත්තක් නොපෙන්නවාම ඔහුට අතට අත දුන්නා. වීපි සර්ගෙ ඇස් මා වෙත දුවගෙන එනවත් එක්කම මම ආගත් සර් පිටුපසින් සැගවුනෙ ඒ නපුරු ඇස් දරාගන්න බැරි තැන.

" මෙ වෙලාවෙ මුණගැහුන එක සතුටක් මිස්ටර් ආගත්....

මම කොහොමත් ඔයාව මුණගැහෙන්න උන්නෙ... "

" මටත් මුණගැහිම සතුටක් මිස්ටර් වීපි....

මං හිතන්නෙ අපි කතා කරන්න ඕනෙ.. "

" අනිවාර්යෙන්ම...! "

වීපි සර් ඒ වචනෙ කිවුවේ ටිකක් බර කරලා. වීපි සර්ගෙ බැල්මෙන් බේරෙන්න මූණ සගවාගෙන උන්න මට ඕන වුනෙ ඉක්මනින් එතනින් ඉවත් වෙන්න. ඒත් එක්කම වාගේ ආගත් සර්ගෙන් අපිට යන්න අවසර ලැබුනා.

" ගුඩ් නයිට් සර්.... "

ආගත් සර්ට සමු දුන්න කාර්යාල මිතුරන් එතනින් ඉවත්ව යද්දිත් මම උන්නෙ අසිහියෙන් වගේ.

හිමාෂා මාව ඇදගෙන නොයන්න මම තවමත් එතන ගල් වෙලා ඉන්න තිබුනා. ඉක්මනින්ම  පෞද්ගලික කැබ් රථයක් ගෙන්නවාගත් මමත් හිමාෂාත් එයට නැගුනෙ අනෙක් මිතුරන්ට සමු දිලා.

මෙතරම් වෙලා හිරකරගෙන වුන්න කදුළු නිදහස් වුනෙ කැබ් රථයේදි.

" ඒ මිනිහගෙන් මට සැනසීමක් නෑ හිමාෂා..... "

මම ඇයගෙ උකුලෙ හිස හොවාගෙන හැඩුවෙ කදුළු දිය කරමින්. හිමාෂා මගේ හිස අතගාමින් වචනයක්වත් නොකියා මගේ දුක අහගෙන වුන්නා.

" අඩන්න එපා සිනුදි.... "

එපමණක් කියු ඇය ඉන්පසු නිහඬයි. එක අතකින් ඇය තව මොනවා කියන්නද.. මගේ කාලකණ්ණි ජීවිතය ගැන ඇය තව මොනවා කියන්නද..

අනුකම්පාවක් , හිත සැනසෙන බොරු වචනයක් ඇරුනාම මට අයිති තව මොනව ද.

" සිනුදි මට නම් හිතෙන්නෙ ඔයාගෙ ජීවිතෙ වෙනස් වෙන්න දැනටමත් පටන් අරන්.... "

" මට තේරුනෙ නෑ..... "

ඇයගෙ උකුලෙන් ඈත් වුන මම පිටි අත්ලෙන් කදුළු පිසලමින්ම එහෙම ඇහුවෙ කුතුහලයෙන්.

" ආගත් සර්ගෙ අමුත්තක් දැනෙන්නෙ නැද්ද....

හිතන්න සිනුදි....

අර තරම් ඇප්ලිකේෂන් ගොඩකින් එයා උඹවම තෝරගත්තෙ මොකද....

එතකොට අද.... විශ්වාස කරන්න පුලුවන් ද අපේ බොස් අපිත් එක්ක ඩිනර් වලට යන්න ආවා කියලා...

සමහර විට මෙ හැමදේම උඹ  නිසාද දන්නෙ නෑ සිනුදි....

මොකද වෙන්නෙ ආගත් සර්ට උඹ ගැන බලාපොරොත්තුවක් ඇති වෙලා නම්... "

හිමාෂගෙ කතාවට මම මටම හිනා වුණා. මගේ ඒ උපහසාත්මක සිනහව දැකලද කොහෙද ඇය කලබල වුණා.

" මොකද උඹ ඔහොම හිනා වෙන්නෙ... ? "

" මං වෙන මොනවා කරන්නද හිමාෂා... "

" ඔයා කියන්නෙ ඒ දේවල් එහෙම වෙන්න බෑ කියල ද.... "

" ඒ දේවල් එහෙම වෙන්නෙ නෑ හිමාෂා...

එහෙම වුනත් මගේ ඇත්ත දැනගත්තාම මොකද වෙන්නෙ...

මම වෙන පිරිමියෙක් පාවිච්චි කරන සෙල්ලම් බඩුවක් කියලා දැනගත්තාම මොකද වෙන්නෙ...

ආගත් සර් කියන්නෙ මං වගේ ගණිකාවකට ගැලපෙන කෙනෙක් නෙමේ.... "

මට කතාව ඉවර කරන්න ලැබුනෙත් නෑ හිමාෂාගෙ දකුණු අත ඇවිත් මගේ කම්මුල මත නතර වුණා. ඒත් එක්කම මගේ ගේ ලගින් කැබ් එක නතර වුනෙ මම පුපුරුගහන කම්මුලට අත තියාගද්දි.

තරහව පාලනය කරගන්න වගේ හිමාෂා ලොකු හුස්මක් ගත්තෙ හයියෙන් හුස්ම ගනිමින්.

බැල්ම පහතට නැඹුරු කරගෙනම බෑගයත් අරගෙන මම කැබ් රථයෙන් බැසගත්තෙ අසරණව.

" වචන පාවිච්චි කරද්දි පරිස්සමෙන් පාවිච්චි කරන්න සිනුදි....

මොකද සමහර වචන වල තේරුම් අහගෙන ඉන්න අමාරුයි.... "

කැබ් රථයෙ දොර වහගන්න කලින් හිමාෂා ඒ වචන කිවුවේ ඇස් වල කදුළු හංගගෙන.

කැබ් රථය මාවත දිගෙ නොපෙනි යන තුරුම හිස් හැගීමකින් මම ඒ දෙස බලාගෙන වුන්නා.

මම විදින්නාවූ ඒ ඇත්ත මගේ මිතුරියට අහගෙන ඉන්නත් අමාරුයි. ඉතිං මං කොහොමද විශ්වාස කරන්නේ තවත් පිරිමියෙක් මගේ ඒ ඇත්ත තේරුම්ගනිවි කියලා. මම කොහොමද විශ්වාස කරන්නේ ඒ ඇත්ත දැනගත්ත දාක ඔහු මා අත්නොහරිවි කියලා.

ඒ හැමදේම දරාගෙන අපි ලං වුනත් එතන ආදරයක් ඉතුරු වෙයිද.. මොකක් හරි වාසනාවකට අපි ආදරෙ කලත් වීපි සර් නිර්මාණය කල මගේ අතීතය මට අනාගතය ගොඩනගන්න ඉඩ දේවි ද..

ඒ තරම් දුර හිතන්න ඕන වුනෙ නෑ... මට මතක් වුනෙ වීපි සර්ගෙ වචන.

" මම කාවවත් අතාරින්නෙ නෑ... එකෙක්වවත්.....

තමුසෙ මගේ විතරයි.... මගේම විතරයි... "

ඉතිං එතනින් එහාට මම තව මොනව හිතන්න ද.. ඔහුට එපා වෙන දිනයක් වෙනකම්ම මම ඔහුගෙ සෙල්ලම් බෝනික්කා වෙලා ජීවත් වෙනවා.

අද සිදු වුන වැරැද්දට නිසැකවම මට දඩුවම් ලැබේවි. වීපි සර්ගෙ පැමිණිම බලාපොරොත්තුවෙන්ම මම නිවසට ගොඩ වුනෙ ඕනම දේකට හිත හදාගෙන.

ගේ ඇතුලට යන්නත් කලින්ම මට සිද්ද වෙලා තියෙන වෙනස තේරුනා. මුලු විසිත්ත කාමරයම කනපිට පෙරලිලා. විසුතුරු භාණ්ඩ තැන් තැන විසිරිලා. අඩියෙන් අඩියටම වීදුරු කටු.

" අම්මා.... සිම්මි.....

ඔයාලා කොහෙද...... අම්මා..... ! "

විසිත්ත කාමරය පුරාම ඇස් ගෙනගිය මට දැනුනෙ ලොකු බයක්. කුමක් හෝ නපුරක් සිදුව ඇති බව නම් නිසැකයි. ඒත් ඒ නපුර මට දරාගන්න බැරි තරමෙ එකක් නොවේවා කියලා මම දහස් වරක් ප්‍රාර්ථනා කලා.

................................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට මගේ අකවුන්ට් එකේ ඇති සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු ✒️

Share This Chapter