Back
/ 43
Chapter 14

Chapter 14

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  දාහතර  වන කොටස 🌙

................................................................

" එනව යන්න....

අද එක්කො මම ප්‍රශ්න විසදගන්නවා... එහෙම නැත්නම් උඹ මගේ අතින් අද මැරෙනව බේබි ඩෝල්.... "

මගේ කෙස් වැටියෙන් ඇදගෙනම ඔහු ආවේ කාමරයට. මාව ඇද උඩට තල්ලු කරපු ඔහු දොර වහල දැම්මෙ මම සහමුලින්ම ගැහෙන්න පටන්ගද්දි.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

" තමුසෙ ඊයේ අරුත් එක්ක මොකක්ද නටපු නාඩගම..... "

ටයි පටිය බුරුල් කරලා වීපි සර් තව තවත් මට ලං වුණා.

" තමුසෙට කවුද අවසර දුන්නෙ අරූගෙ පර්සනල් සෙකට්‍රි වෙන්න...

කතා කරනවා බේබි ඩෝල්....

බේබි ඩෝල් තමුසෙට අමතක වුණා ද මං කවුද කියලා...

ආහ්... කතා කරනවා....... "

එයා ඒ රාක්ෂ ඇස් වලින් මගේ මූණට එබෙද්දි මම තදින්ම ඇස් වහගත්තෙ ඒ බැල්ම දරාගන්න බැරි තැන. ඔහු ආයෙත් පාරක් තදින් මගේ කෙස් වැටියෙන් අල්ලගත්තා. මාව ඔහු වෙත ඇදගන්නයි ඔහුට ඕන වුනේ.

" වීපි සර්..... මේ දොර අරින්න....

වීපි සර්...... "

මම මූණ හංගගන්නවත් එක්කම මට ඇහුනෙ අම්මගෙ කටහඩ. ඇය කාමරයෙ දොරට ගහගෙන ගියෙ වේගයෙන්.

මීට කලින් කවදාවත් මාව බේරගන්න මං වෙනුවෙන් වචනයක් කතා නොකරපු අම්මා අද හැසිරෙන විදිය ගැන වීපි සර් පවා පුදුම වුණා.

අම්මගෙ හඬින් මට ලැබුනෙ ලොකු ශක්තියක්. හිතට ධෛර්ය අරගෙන සම්පූර්ණ වීර්යයම යොදලා වීපි සර්ගෙ පපුවට අත් දෙකම තියලා මම ඔහුව පිටුපසට තල්ලු කලා. කබඩ් එකට හේත්තු වෙලා ඔහු නොවැටි බේරෙද්දි ඒ ලද අවසරයෙන් මම ඉක්මන් වුණා.

" අම්මා...... මාව බේරගන්න අම්මා.... "

මම දොරගුලු හරින්නට උත්සහ කලත් වීපි සර් ක්ෂනිකවම මාව නැවතත් ඔහු වෙත ඇදගත්තා. හැඩිදැඩි පිරිමි සිරුරක් එක්ක හැප්පෙන්න තරම් ශක්තියක් මට තිබුනෙ නෑ. මට ඇහුනෙ කාමරයෙ අනෙක් පස ඉදන් අම්මා කෑගහන හඬ.

" සිනුදිට කරදරයක් කරන්න එපා වීපි සර් මේ දොර අරින්න....

වීපි සර්.... "

අම්මගෙ වචන වීපි සර් අහගෙන වුන්නෙ තවමත් විශ්වාස කරගත නොහැකිව. ඒ අතරෙ මගේ අත තදින් අල්ලගෙන උන්න ඔහුගෙන් මම මිදෙන්නට උපරිම උත්සහයක යෙදුනා.

" මොන යකෙක් වැහිලද උඹගෙ අම්මට බේබි ඩෝල්.... "

ඔහු ඇහුවෙ වෛරයෙන් දැවෙන ඇස් වලින් මාව දවමින්. ඔහු නොසිතු මොහොතක මම උපරිම වීර්යයෙන් ඔහුගෙ අත ගසල දැම්මා. මම ඔහුගෙන් ගැලවී ඈතට උනෙ පුදුම තරම් පිළිකුලකින්.

" අම්මට මොන යකෙක්වත් වැහිලා නෑ මිස්ටර් වීපි....

තමුන් මගේ අම්මගෙ ඔලුවට පුරවපු සේරම විස දැන් හිදිලා තියෙන්නෙ....

මගේ අම්මා ආයෙත් තමුන්ට ඕන ඕන පදේට නටන එකක් නෑ.....

තමුන් පැරදිලා ඉවරයි මිස්ටර් වීපි.... "

හිතට උපරිම ධෛර්යයක් ගෙන මම ඔහුට කතා කලෙ බෙහෙවින් ආවේගශිලීව. මගේ ලෙලවෙන දබරැගිල්ල දෙසත් මගේ ආවේගශිලී ඇස් දෙසත් ඔහු වරින් වර බැලුවෙ පුදුමයෙන්.

සත්තකින්ම වීපි සර් මෙවැනි දිනයක් ගැන කිසිදාක සිතන්නට නැතුව ඇති. සෝකේස් එකක ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙසින් උන්න සිනුදි අද ඔහුට විරුද්ධ වෙලා. වසරක් පුරාවට ඔහුගෙ පදේට නැටූ හොදම විකුණුම්කාරිය ද අද ඔහුට විරුද්ධ වෙලා. මේ වගේ දවසක් ගැන වීපි සර් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති. එය ඔහුට බයන්කාර හීනයක්ම වෙන්නට ඇති.

මගේ ආවේගශිලී වචන වීපි සර්ව තව තවත් වියරුවෙන් පිරවූ බව මට විශ්වාසයි. ඔහුට විරුද්ධව එසැවුණු මගේ දබරැගිල්ල ඔහු අල්ලගත්තෙ මොහොතින් මොහොත නොසන්සුන් වන මනසින්. ඔහු කරන්න යන්නෙ කුමක් ද කියන එක ගැන මට තේරුමක් තිබුනෙ නෑ.

" මොනවද කරන්නෙ....

මාව අතාරිනවා... "

" කට වහනව බේබි ඩෝල්....

තමුසෙ කොහොමද මට ඔහොම කතා කරන්නෙ.... "

ඔහු ටිකින් ටික මගේ දබරැගිල්ල පිටුපසට නමද්දි මම තවත් කලබල වුණා...

" අතාරිනවා මාව.....

මට රිදෙනවා....

තමුන්ට පිස්සු හැදිලා ද....මොනවද ඔය කරන්නෙ.... "

" ඔව්.... මට පිස්සු....

බේබි ඩෝල් දැකලා නෑ නේ පිස්සො මොනවගේ දේවල් ද කරන්නෙ කියලා....

දැන් බලාගන්නව බේබි ඩෝල්... "

මගේ ඇස් දිහා බලාගෙන ඔහු මගේ දබරැගිල්ල පිටුපසට නැමුවේ මට ඉබේටම කෑගැහෙද්දි.

" අම්මා..........!!!!! "

දබරැගිල්ලෙන් පටන්ගත්ත වේදනාව හැම නහරයක් දිගේම උඩු දුවද්දි මම කෑගහගෙනම බිමට වැටුණා. මම වම් අත අනිත් අතින් ගුලි කරගෙන කෑගහද්දි වීපි සර්ගෙ මූණෙ ඇදුනෙ හිනාවක්. ඔව් ඔහුට ඕනෙ හැමදාමත් වගේ මගේ කදුළු දකින්න. මම විදවනව දකින්න. ඉතිං මම මොනතරම් උත්සහ කලත් ඔහු අදත් ඒ සටන දිනල ඉවරයි.

මුලු ඇඟටම පණ නෑ වගේ දැනුනත් මම ඉවසගෙන උන්නා. වීපි සර් ඉස්සරහ මට සිහි අහිමි උනොත් ඔහුට ඒ තරම් ජයග්‍රහණයක් තවත් නැති වෙයි. ඔහුට දිනුම දෙන්න තිබුණු අකමැත්ත නිසාම හැගීම ගල් කරගෙන මම ඉවසන් උන්නා.

" අපි පොලිසියට කෝල් කරන්න කලින් මේ දොර අරින්න වීපි සර්.... "

දොර එහා පැත්තෙ ඉදන් කෑගහන අම්මගෙ හඬත් මට ඇහෙන්නෙ  සෑහෙන දුරින් වගේ. හොද සිහිය තිබුනෙ මගේ පාලනයෙන් ඈතට යන ගමන්. කෙස් වැටියෙන් ඇදලා වීපි සර් මාව ආයෙත් නැගිට්ටුවාගත්තා. කාමරයෙ දොරගුලු විවර කල ඔහු කාමරයෙන් පිටතට මාව තල්ලු කලෙ වියරු සිනහවකින්. ඒ තරම් හොද සිහියකින් නොසිටි මම ඔහේ තල්ලු වෙලා ගියා. වාසනාවකට වගේ මාව අල්ලගත්තෙ සිම්මි. එහෙම නොවෙන්න මම නතර වෙන්නෙ බිත්තියෙ නලලත හැප්පිලා.

" සිනුදි.... ඔයා හොදින් ද.... "

උලුවස්සට හේත්තු වෙලා අත් දෙකත් බැදගෙන වීපි සර් හිනා වෙනවා. ඒ වියරු සිනහ හඬ හැම බිත්තියකම වැදිලා දෝංකාර දෙද්දි මම ඕන උනෙ ඒ හඬ නෑසෙන තරම් දුරකට දුවන්න.

ඇඟට පණ නැති නිසාම බිත්තිය දිගෙ රූරූට්ටලා මම බිමට ඇදගෙන වැටුනා. සිම්මිත් මාත් එක්කම බිමට නැමිලා මාව තුරුලු කරගත්තෙ වීපි සර්ගෙ නපුරු බැල්මෙන් මාව හංගගන්න වගේ.

කාමරයට දුවලා ගිය අම්මා ආයෙත් ආවේ ලොකු බෑග් දෙකක් අරගෙන.

" අපේ ගණුදෙනුව ඉවරයි වීපි සර්... "

අම්මා කතා කලෙ ස්තීරවම. වීපි සර් ඇයගෙ දෙපතුලෙ සිට හිස දක්වාම ඇස් අරන් ගියෙ කට කොනකට මවාගත්ත අපහාසාත්මක හිනාවකින්.

" තමුන් මාත් එක්ක විහිලු කරනවද...

ආහ්..... මගේ බේබි ඩෝල්ට මම ගෙවලා තියෙන්නෙ....

මුලු ජීවිත කාලෙටම..... "

" ඔව් ඇත්ත....

මම ඒ කතාව බොරු කියන්නෙ නෑ.....

මේ තියෙන්නෙ වීපි සර් අපිට දුන්න ඒ සල්ලි.....

අපේ ගණුදෙනුව මෙතනින් ඉවරයි වීපි සර්.....

මේ සල්ලිත් අරන් මෙහෙන් යන්න... "

අම්මා සල්ලි පිරුණු තරමක බෑග් දෙක වීපි සර්ගෙ කකුල් දෙක ලග බිමට දැම්මා.

මට දැනුනෙ පුදුම තරම් සතුටක්. මගේ ජීවිතේම කාලකණ්ණි කරපු ඒ සල්ලි මලු දෙක අද මටම නිදහස අරන් ඇවිත්.

නොසන්සුන් වෙලා උන්න වීපි සර් ක්ෂනිකවම ක්‍රියාත්මක වුණා. ඔහු හිතන්නවත් කාලයක් ඉතිරි නොකර අම්මගෙ ගෙල සිර කරගත්තෙ ඇයව බිත්තියට හේත්තු කරගෙන.

" අනේ අ.... අම්මා.... !!

වීපි සර් එයාට පාඩුවෙ ඉන්න දෙන්න.... "

ඉතුරු වෙලා තිබුණ ශක්තිය එකතු කරගෙන මම කෑගැහුවා. වීපි සර් තව තවත් අම්මගෙ ගෙල සිරකරද්දි ඇය දැගලුවේ ඔහුගෙ අතින් ගැලවෙන්න.

" මට මගේ බේබි ඩෝල්ව ඕනෙ...

මේ මගුලෙ සල්ලි වලින් මට වැඩක් නෑ....

තමුසෙටයි සල්ලි ඕන වුනේ....

මට ඕන උනේ මගේ බේබි ඩෝල්ව විතරයි.....

එයාව මට ඕනෙමයි.....

හොදින් හරි නරකින් හරි මම එයාව අරන් යනවා........  "

අම්මව අතෑරලා දාපු ඔහු ආයෙත් ආවේ මගේ ලගට. ඔහු මගේ අතින් ඇදලා නැගිට්ටුවාගද්දි ප්‍රාණ අහිමි වූවෙක් වගේ මම බරක් නැතුවම ඇදිල ආවා. ඇගිල්ලෙ වේදනාව දැනටමත් උණ ගතියකට පෙරලිලා තිබුණා.

" එනව යන්න බේබි ඩෝල්.....

අද ඉදන් තනිකරම තමුසෙ මගේ.... "

ඔහුට විරුද්ධව සටන් කරන්න තරම්වත් ශක්තියක් මට ඉතුරු වෙලා තිබුනෙ නෑ. මම උන්නෙ ගතින් හොදටම දුර්වල වෙලා.

ඉතිං වැඩි පෙරැත්තක් නැතිවම මම වීපි සර්ගෙ පිටුපසින් ඔහේ ඇදිලා ගියා. ඒත් එහෙම ඇදිලා යන්න මට ඕන වුනෙ නෑ. අතට අහුවෙන මේස පුටු අල්ලගෙන මම නතර වුනත් වීපි සර් මට වඩා කිහිප ගුණයකින්ම ශක්තිමත්. ඒ දේවලුත් පෙරලගෙනම මම ඔහු පිටුපසින් ඇදිලා ගියා.

වීපි සර් බලෙන්ම වගේ මාවත් ඇදගෙන එලියට යන්න යද්දි සිම්මි කෑගැහුවේ උපරිම හඬින්. වීපි සර් නතර වුනෙ සිම්මිගෙ හඬට.

" මං හොදින් කියන්නෙ වීපි සර් සිනුදිව අතාරින්න.... "

" එහෙම නොකලොත්....?? "

" එහෙම නොකලොත් මම... පොලිසියට කෝල් කරනවා... "

පොලිස් ස්ථානයෙ අංකය දුරකථනය තිරය මත සටහන් කරගෙනම ඇය කතා කලෙ බෙහෙවින් නොසන්සුන්ව. නමුත් වීපි සර් නම් ඒ කතාව ගනනකටවත් ගත්තෙ නෑ. ඔහු සුපුරුදු ලෙසින් මහ හයියෙන් හිනා වුනා.

" කෝල් කරනවා.... ඉතිං කෝල් කරනවා....

හැබැයි මතක තියාගන්න චූටි ඩෝල්.......

පොලිසිය ආවොත් ප්‍රශ්නයක් වෙන්නෙ මට විතරක් නෙමේ...

තමුන්ගෙ අම්මටත් බේරෙන්න වෙන්නෙ නෑ...... "

වීපි සර් කියන කතාව ඇත්ත. මේ ප්‍රශ්නෙට පොලිසිය ගාව ගන්න මට ඕන උනෙත් නෑ. සිම්මිට ඕක කරන්න එපා කියලා මම ඇස් වලින් කිවුවේ අම්මා ගැන හිතලා. මට අම්මගෙ ආදරෙ ලැබුනා විතරයි ආයෙත් නැති කරගන්න බෑ. ඒත් සිම්මි මටත් වඩා මුරණ්ඩුයි. ඇයට දෙයක් කරන්න හිතුනොත් කරලමයි නතර වෙන්නෙ.

" එයා මගේ අම්මා නෙමේ... මගේ ආන්ටි.... මට එයාගෙන් වැඩක් නෑ වීපි සර්....

වැරදි කලා නම් එයත් දඩුවම් විදපුදෙන්....

මේ වෙලාවෙ මම හිතන්නෙ සිනුදි ගැන විතරයි....

එයාට පාඩුවෙ ඉන්න දෙනවා....

නැත්නම් මම පොලිසියට කෝල් කරනවා........ "

වීපි සර් මගේ අත අතාරින බවක් නොපෙනුන තැන දුරකථනයෙ සදහන් වී තිබුණු අංකයට සිම්මි ඇමතුමක් ගත්තා. වීපි සර් කලබල වෙන බව මට තේරුනා.

" හෙලෝ...

පොලිස් ස්ටේෂන්...? "

සිම්මිට තවත් මුකුත් කියන්න ලැබුනෙ නෑ මගේ අතාතෑරලා දාපු වීපි සර් අඩියට දෙකට සිම්මිට ලං වුණා. ක්ෂනිකවම ඇයගෙ අතේ තිබුණු දුරකථනය උදුරගත්ත ඔහු එය විසික් කරලා දැම්මෙ වේගයෙන්. බිත්තියක වැදුනු දුරකථනයෙ කෑලි තැනින් තැන විසිරුණා.

ව්‍යාපාරික ලෝකය තුල දැවැන්තයෙක් උන වීපි සර්ගෙ නම ඉස්සරහින් මෙවැනි කලු පැල්ලමක් ඇති වෙන්න ඔහු කීයටවත් ඉඩ නොදෙන බව නම් ස්තීරයි. ඉතිං මේ ප්‍රශ්නෙ පොලිසිය දක්වා දුරදිග ගෙනියන්න වීපි සර් තරම් අකමැති කෙනෙක් තවත් නෑ. වීපි සර් කියන්නෙ ඔහුගෙ කීර්ති නාමය ගැන ඕනාවටත් වඩා හිතන කෙනෙක්.

" තමුසෙලා තුන් දෙනා ගැන මම බලාගන්නම්..........

මෙතනින් හැම දෙයක්ම ඉවරයි කියලා හිතන්න එපා......

මේ වීපි ගැන තමුන්ලා තාම හරියට දන්නෙ නෑ.... "

වීපි සර් අපි තුන්දෙනාටම තර්ජනය කරලා එළියට යද්දි සල්ලි මලු දෙකත් උස්සගෙන සිම්මිත් ඒ පස්සෙන් දිවුවා..

" මේවත් අරගෙන යනවා..... අපිට තමුන්ගෙ ජරා සල්ලි ඕනෙ නෑ.... "

සිම්මි නිසැකවම වීපි සර්ගෙ මෝටර් රථයට සල්ලි බෑග් දෙක දාන්නට ඇති. සිම්මිගෙ චණ්ඩිකම් ගැන මා තරම් වෙන දන්නෙ කවුද ඉතිං.

අම්මා මාව ඇයගෙ වම් බාහුවට වත්තම් කරගත්තා. මා උන්නෙ ඉවසීමේ අන්තයෙ. වීපි සර් ඉස්සරහ තවත් දුර්වල වෙන්න බැරි කමට හිතේ හයියෙන් ඔලුව උස්සන් උන්නා මිසක ඒ වේදනාව මට දරාගන්න පුලුවන් එකක් නෙමේ. මුලු ඇගම වෙව්ලන්නෙ උණ ගතියත් එක්ක.

" සිනුදි ඔයාට මොකද වුනේ....

අර මිනිහ මොනාද ඔයාට කලේ..... "

අම්මගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුලුවන්කමක් තිබුනෙත් නෑ ඉවසීමේ අන්තයෙදි  මම දෑස් පියාගත්තා.

" සිනුදි..... සිනුදි.....

දෙයියනේ මේ ළමයා සිහි නැති වුණා නේද.....

ගිණි රස්නෙට උණත් අරගෙන....

අර මිනිහා මේ කෙල්ලට මොනවා කලාද මන්දා.....

සිම්මි..... ඉක්මනට වාහනයක් නතර කරගන්න.....

සිනුදිව හොස්පිට්ල් ගෙනියන්න ඕනේ.... "

අම්මගෙ කෑගැහිල්ල මට යාන්තමට වගේ මතකයි.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

බර වෙලා තිබුණු ඇහි පියන් මම සෙමින් සෙමින් විවර කලා. මගේ ඉස්සරහ බිත්තියෙ තිබුණු විදුලි බුබුලෙ සුදු පාට එළියට ඇස් හුරුකරගන්න මට මිලි තත්පර කිහිපයක් ගත වුණත් මම ඉන්නෙ රෝහල් කාමරයක් තුල බවට මා තේරුම්ගත්තා. රෝහල් කාමරය පුරාම ඇස් බෝල කරකවද්දි මගේ ඇස් ඉබේටම නතර වුනෙ එක තැනකදි.

මමත් එක්ක රෝහල් කාමරය තුළ සිටි රෙහාන්ව දුටු පමණින්ම මම පුදුම වුණා.  ඔහු උන්නෙ වැදගත් දුරකථන සංවාදයක. මා දෑස් විවර කල බව ඔහු දුටුවේ නෑ.

" රෙහාන්....? "

අවසන මා විසින්ම ඔහුට කතා කලා. මා පියවි සිහියට පැමිණ ඇති බව දුටු වහාම ඔහු දත් තිස්දෙකම පෙන්නලා හිනා වුනෙ සතුටින්. ඒත් එක්කම ඔහු යෙදෙමින් සිටි දුරකථන සංවාදය ඉක්මනින් අවසන් කර මා වෙත පැමිණියා.

" ඔයාට කොහොමද.... "

ආගත් සර්ගෙ ප්‍රධාන ආරක්ෂකයා උනත් ඔහුට ආගත් සර්ගෙ වැනි ආඩම්බරකාර පෞරුෂයක් තිබුනෙ නෑ. ඔහු මාත් එක්ක කතා කලෙ බෙහෙවින් ලෙන්ගතුව.

"  ඔයා මොකද මෙතන කරන්නෙ.... "

මම ඇහුවෙ ඔහු දුටු තත්පරයෙ ඉදන් හිතේ තිබුණු ප්‍රශ්නෙ.

" අහ්.. මම තමයි ඔයාව හොස්පිට්ල් එකට අරන් ආවේ.... ඇත්තටම මම යාලුවෙක්ගෙ පාර්ටියකට යන ගමන් උන්නෙ... ඒ වෙලාවෙ තමයි අර මිස් ඇවිත් මගෙන් උදව් ඉල්ලුවේ....

ඔයාව හොස්පිට්ල් එකට ගෙනාවටත් පස්සෙයි මම දැක්කෙ ඔයා කවුද කියලා..."

ඔහු හිනා වෙවි සිදු වුන දේ පැහැදිලි කරද්දි මම අහන් උන්නෙ උනන්දුවෙන්.

" තැන්ක් යූ රෙහාන්...."

" ඕක මොකක්ද සිනුදි....

අපි එක ටීම් එකෙ නේ..... "

ඔහුත් සමගින් හිනා වෙලා මම වට පිට බැලුවෙ අම්මවත් සිම්මිවත් පේන්න උන්නෙ නැති තැන.

" අහ්... එයාලා ඩොක්ටර් ලග... තව ටිකකින් එයි....

ඒක නෙමේ සිනුදි අනිත් දවසේ බාත් රූම් එකේ ඩාන්ස් කරන්නෙ පරිස්සමෙන්...

මේ පාර නම් ඇගිල්ල කඩාගෙන බේරුණා..... ඒත් ඊළග පාර...

ඔයා ගැන හිතන්න කීදෙනෙක් නම් ඉන්නව ද.... ඔහොම වැඩ කරලා නම් හරියන්නෙ නෑ..... "

" කවුද මං ගැන ඔය තරම් හිතන්න ඉන්නෙ.... "

" මේ..... මං කිවුවේ මේ.... ඔයාගෙ පවුලෙ අය.... එයාලා ඔයා ගැන වදවෙනවා ඇති නේ.... "

" ඒක නම් ඇත්ත ඊළග පාර මං පරිස්සම් වෙන්නම්... "

නිසැකවම අම්මා හෝ සිම්මි විසින් රෙහාන්ට කියන්න ඇත්තෙ මම නාන කාමරයෙ වැටුණා වගේ බොරුවක්. ඒ බොරුවම වෛද්‍යවරුන්ටත් කියන්න ඇති. එක අතකට ඒක සාදාරනයි. කටක් ඇරලා කියන්න පුලුවන් ඇත්තකුත් නෙමේ නෙ තියෙන්නෙ.

" සිනුදි ඒක නෙමේ...

මේ අර ඔයාව හොස්පිට්ල් අරන් ආව ගෑණු ළමයා ඔයාගෙ කවුද..... "

රෙහාන් මේ අහනව ඇත්තෙ සිම්මි ගැන. ඇහැට කණට පේන කෙල්ලෙක් ගැන කොල්ලෙක් විස්තර හොයන එක ඉතිං පුදුමයකුත් නොවේ.  මම කට කොනින් හිනා වුනා.

" එයා මගේ නංගි.... සිම්මි.... "

මම හිනා වෙවි එහෙම කිවුවත් රෙහාන්ගෙ මූණෙ ඇදුනෙ මම බලාපොරොත්තු උන හැගීම නෙමේ. ඔහු ඒ කතාව අහලා කලබල වුණා. ඔහු කලබල වූ බව මට නොපෙන්වා ඉන්න උත්සහ කලත් ඔහු කලබල වූ බව මා තේරුම්ගත්තා..

" මොකක්.... ඒ ඔයාගෙ නංගි ද..... "

රෙහාන් කෙතරම් කලබල වුණා ද කිවහොත් ඔහු රෝහල් කාමරයෙන් පිටතට යන්න පවා ඉක්මන් වුණා.

" සිනුදි අයිම් රියලි සොරි මට දැන් යන්න වෙනවා......

මම දැනටමත් හොදටම පරක්කුයි...

තවත් වෙලා ගියොත් සේරම අවුල් වෙනවා.... "

" එකපාරටම මොකද වුනේ රෙහාන්.... "

" පාර්ටි එක අනේ... මම දැනටමත් හොදටම ලේට්....

යාලුවො කෝල් කරනවා ඉවරයක් නෑ....

මං යනව සිනුදි ඔෆිස් එකේදි හම්බවෙමු........ "

දුරකථනය සවනත රදවගත් ඔහු ඉක්මනින්ම රෝහල් කාමරයෙන් පිට වුණා.

" හරි අමුතුයි....

රෙහාන්ට මොකක්ද ඒ එකපාරටම වුනේ... "

................................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට මගේ අකවුන්ට් එකේ ඇති සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු ✒️

Share This Chapter