Back
/ 43
Chapter 15

Chapter 15

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  පහළොස්  වැනි කොටස 🌙

................................................................

" එකපාරටම මොකද වුනේ රෙහාන්.... "

" පාර්ටි එක අනේ... මම දැනටමත් හොදටම ලේට්....

යාලුවො කෝල් කරනවා ඉවරයක් නෑ....

මං යනව සිනුදි ඔෆිස් එකේදි හම්බවෙමු........ "

දුරකථනය සවනත රදවගත් ඔහු ඉක්මනින්ම රෝහල් කාමරයෙන් පිට වුණා.

" හරි අමුතුයි....

රෙහාන්ට මොකක්ද ඒ එකපාරටම වුනේ... "

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

" සිනුදි ඔහොම ඉන්න...... "

නැවතත්  නිවාඩු ලබා ගැනීමට  තිබූ අකමැත්ත නිසාම මම දබරැගිල්ලේ වේදනාව ගනනකට නොගෙඅ උණ ගතිය අඩු වී තිබුනු නිසා පසුදා උදෑසන කාර්යාලයට යන්න ගෙදරින් එලියට බැහැ ගත්තා. නමුත් මුලුතැන්ගෙයි ඉදන් කෑගහන අම්මගෙ කෑගැහිල්ලට මම දොරකඩම නතර වුණේ ආයෙත් ගේ ඇතුලට එබෙන ගමන්.  වෙනදාට මම කාර්යාලයට යන වෙලාවට උණු කෝපි කෝප්පයක් බොමින් මුහුණු පොතේ උඩට යටට යන අම්මා අද ලොකු බත් මුලක් ගෙනවිත් මගේ අත උඩින් තිබ්බෙ ලොකු හිනාවකින් මූණ පුරෝගෙන. මට දැනුනෙ නැවුම් හැගීමක් එක්කම පුදුමයක්.

" අම්මෙ ඔයා කෑම හැදුව ද.... මේ උදේ පාන්දරම.... "

මා පුදුමයෙන් ඇසුවෙ අම්මාගෙන් මීට පෙර මෙවැනි ගතිපැවතුම් මා දැක නොතිබුණු නිසයි.

" ඕක ඔය තරම් පුදුම වෙන්න දෙයක් නෙමේ..... "

අම්මා මූණත් බෙරි කරගෙන එහෙම කියද්දි මගේ මුහුණට සිනහවක් ආවේ නිරායාසයෙන්ම.

" නෑ නෑ එහෙම නෙවෙයි....

ඒත් අම්මා සාමාන්‍ය අම්මා කෙනෙක් විදියට හැසිරෙද්දි මට හරි අමුතුයි..... "

" හරි හරි.... මං හෙට ඉදන් උයන්නෙ නෑ.... එතකොට හරි නේ....

පාන්දර නැගිටගෙන උයලා මදිවාට තව කතාත් අහගන්න ඔනෙ නෑ නේ..... "

අත් දෙකත් බැදගෙන අහක බලාගෙන නෝක්කාඩුවට වගේ අම්මා එහෙම කියද්දි සිම්මි පිටිපස්සෙන් ඇවිත් අම්මගෙ කරට අත දාගත්තා.

" අන්න ඒක තමයි මාත් කියන්නෙ....

ආන්ටි සාමාන්‍ය විදියට හැසිරෙද්දි අපිට හරි අමුතුයි....

එතකොට මට නම් හිතෙන්නෙ ආන්ටි මොකා...ක් හරි ලොකු සෙල්ලමකට ආයෙත් අර අදිනවා කියලා.... "

විහිලුවෙන් කිවුවත් සිම්මිගෙ කතාවට මගේ හිත නම් ගැස්සුනා. හේතුවක් නොතේරුනත් අම්මගෙ අලුත් වෙනසට මම එච්චර කැමති වුනෙ නෑ. ඒකට හේතුව වුනෙත් සිම්මි කියු කාරණයමයි. මට මෙන්ම සිම්මිටත් අම්මාගෙ මේ අලුත් වෙනස හිතට කරදරයක් ගෙනාවා.

අම්මා ගැන නොදැන සිටි කාලයෙ නම් ඇයගෙ මේ වෙනස හමුවේ මා තරම් සතුටු වන කෙනෙක් තවත් නොසිටින්නට තිබුණා. නමුත් ගෙවුන කාලය තුළ ඇය මා කෙතරම් නම් රවටවා ඇති ද. ඉතිං අම්මාගෙ මේ අලුත් වෙනස දිහාත් මා සැකෙන් බලන්න උත්සහ කරන්නෙ ඒ නිසයි. මා ඇයට බෙහෙවින් ආදරය කරන බව සත්‍යක්. නමුත් ඇය මා හට කල කී දෑ ඒ තරම්ම ලේසියෙන් කිසිවක් නොවුන ගානට අමතක කරදමන්න මගේ හිත සූදානම් නැති තරමටම මේ හිත කාලෙන් කාලෙට අම්මාට රැවටිලා තිබුනා.

සිම්මිගෙ කතාවට ගැස්සිලා මම අම්මා දිහා බැලුවෙ සැකෙන්. මගේ බැල්ම තේරුම්ගෙනදෝ ඇය අසරණ වුණා. ඇයගෙ කර වටා එතිලා තිබුණු සිම්මිගෙ අත ඉවත් කල ඇය කතා කලෙ ලොකු කලකිරිමකින්.

" ඔයාලා තාමත් මට අවස්ථාවක් දෙන්න ලෑස්ති නෑ නේද....

හරි මම ඔය දෙන්නටම පොරොන්දු වෙන්නම්....

ආයෙ කවදාවත් ඔය දෙන්නගෙ ජීවිතෙ ගැන ඔය දෙන්නගෙ අකමැත්තෙන් මම කිසිම තීරණයක් ගන්නෙ නෑ....

දැන්වත් මාව විශ්වාස කරනව ද.... "

අම්මා කැඩුනු වචන එකතු කරගද්දි මට දැනුනෙ මම ලොකු වැරැද්දක් කලා වගේ. අම්මව මොහොතකට හෝ සැක කිරීම ගැන මම ලැජ්ජා වුණා.  ඉතිං මා ඇයව තුරුලු කරගත්තෙ පුදුම තරම් ආදරෙන්.

" අපිට සමාවෙන්න අම්මා....

මට ඔයාව විශ්වාසයි... "

මාව තුරුලු කරගෙනම අම්මා සැනසුම් සුසුමක් හෙලුවා.

" සොරි ආන්ටි..... "

සිම්මි එහෙම කියද්දි අම්මා ඇයගෙත් හිස අතගෑවෙ ආදරෙන්.

" සිම්මි.... ඔයා කොහෙ යන්නද මේ ලෑස්ති වෙලා ඉන්නෙ.... "

අලුත් ඇදුමකින් සැරසී වුන්න සිම්මි ලග මගේ අවදානය නතර වුනෙ අහම්බයෙන්. මෙරුන් පාට අත් දිග කුර්තා ටොප් එකට ඩෙනිමකින් සැරසිලා උන්න ඇය වෙනදාටත් වඩා සුන්දරයි. කොන්ඩය පෝනිටේල් විලාසිතාවකට හැඩ කර තිබු අතර ඇයගෙ පුංචි  මූණට ලා වර්ණ තොල් සායම් ගෙනාවේ අමුතුම ලස්සනක්. ඇය ලගින් හමන විලවුන් සුවද වුනත් බෙහෙවින් ප්‍රසන්නයි.

" අහ්... මේ... මං පොඩි ගමනක් යන්න.... "

වචන පවා පැටලෙද්දි ඇය මගෙන් මූණ හංගගත්තා.

" අර මිනිහව මීට් වෙන්න නේද.... "

මම ඒ ගැන  කතා කලෙ අකමැත්තෙන්. ඇය හැඩ වී සිටි ලීලාවෙන්ම ඇයගෙ ගමනාන්තය ඔහු බව මා තේරුම්ගත්තා.

ඇය තවත් කිසිවක් නොකියු තැන මගේ සැකය නිවැරැදි බව ඔප්පු වුණා.

" ඇයි මේ සිම්මි....

මං හිතුවේ ඔයා හිත හදාගෙන ඇති කියලා....

ඔයා දුවන්නෙ මිරුඟුවක් පස්සෙන් කියන එක කවද්ද තේරුම්ගන්නෙ....

මං ඔයාට ජොබ් එකක් හොයලා දෙන්නම්... ඔය විකාර අමතක කරන්න.... "

මම කියවන් ගියෙ ඇයගෙ උරහිසින් අල්ලගෙන.

" ආදරේ කරන එක වැරැද්දක් නෙමේ සිනුදි.....

මට එයාව අමතක කරන්න බෑ.... "

මගේ අත් ගසලා දාපු සිම්මි යන්න ගියෙ මම කියු කිසිවක් නෑසුන ගානට. ඇයව නතර කරගන්න ඒ පිටුපසින් යන්න හැදුවත් අම්මා මාව නවත්තගත්තා.

" සිනුදි.....

එයාව නවත්තන්න එපා..... "

" සිම්මි ජීවිතෙ වරද්ද ගන්නකම් බලන් ඉන්න කියල ද ඔයා කියන්නෙ අම්මේ... "

" හැමෝටම හැම තිස්සෙම වරදින්නෙ නෑ සිනුදි....

අනිත් එක හැම පිරිමියම වීපි සර් වගේ වෙන්නෙත් නෑ නේ....

දැන් වීපි සරුත් නැති එකේ මේ ගෙදර රෙන්ට් එක ගෙවාගන්න හරි අපිට කාගෙ හරි උදව් ඕනේ....

ඔයාට නිදහස් වෙන්න නෙ ඕන වුනේ... දැන් ඔයා නිදහස් සිනුදි....

ඒ නිසා සිම්මිගෙ ජීවිතෙට ඇඟිලි ගහන්නෙ නැතුව ඉන්න....

එයා කැමති පාරක කැමති විදියට ගියදෙන්.... "

" මං හිතුවෙ ඔයා වෙනස් වුනා කියලා අම්මේ....

ඒත් නෑ මට ආයෙත් වැරදිලා.... "

" මං වෙනස් වුණා සිනුදි....

මං වෙනස්  වෙලා නැත්නම් දැනටමත් මම ඔයාට අලුත් කස්ටමර් කෙනෙක් හොයලා ඉවරයි....

ඒත් මං එහෙම කලෙ නෑ නේ....

ඒකෙ තේරුම මම වෙනස් වෙලා කියන එක....

අනිත් එක මම ඔය දෙන්නටම පොරොන්දු වුණා ඔය දෙන්නගෙ ජීවිතෙ ගැන ඔය දෙන්නගෙ අකැමැත්තෙන් කිසිම තීරණයක් ගන්නෙ නෑ කියලා....

ඒත් සිම්මිගෙ කැමැත්ත ඒක නම්... මම අනිවාර්යෙන්ම එයාට උදව් කරනවා.... "

අම්මා මටත් ගස්සගෙන ගේ ඇතුලට යද්දි මට හිතාගන්න බැරි වුණා.. කවුරු කාටද වැරැද්ද කරන්නෙ කියලා.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

මම බස් එකට නැග්ගෙත් සිම්මි ගැන හිත හිත.  සිහිය මොන තරම් දුර ගිහින් ද කිවුවොත් මගේම දුරකථනය නාද වන බව මට දැනුම් දුන්නෙ බස් එකේ මට එහා පැත්තෙන් අසුන්ගෙන උන් පුද්ගලයා. ඔහුට ස්තූතියි කරලා මම දුරකථනය අතට ගත්තා. දුරකථන තිරයෙ ආගත් සර්ගෙ නම ලියැවෙද්දි මම ඇමතුම ලබාගත්තෙ කලබලයෙන්.

" හෙලෝ සර් ගුඩ් මෝනින්.... "

" කොහෙද ඉන්නේ.... "

" සර් මං තාම එන ගමන්....

හදිස්සියක් ද.... "

" ඊළග ස්ටෑන්ඩ් එකෙන් බහින්න.... "

" මොකක්!!! "

මම එහෙම කියද්දිත් ඔහු ඇමතුම විසන්ධි කර අවසන්. ආගත් සර් කිවුවේ මොකක්ද කියලා හිතන්නවත් වෙලාවක් ලැබුනෙ නෑ බස් එක ඊළග නැවතුමෙන් නතර වුණා.

" ඉස්කෝලෙ ලග බහින අය ඉක්මන් කරන්න...... "

කොන්දොස්තර මහතා එහෙම කියලා කෑගහද්දි ස්කෝලෙ යන පොඩි උන් ටිකක් තෙරපගෙන බස් එකෙන් බැහැගත්තා. මට තවමත් කරන්න ඕනෙ මොකක්ද කියලා තීරණයක් තිබුනෙ නෑ. සර්ට වැරදුනා ද එහෙම නැත්නම් මට ඇහුනෙ වැරදියට ද කියලා හිතලම මගේ ඔලුවත් අවුල් වෙලා. මම බෑග් එක අතට ගත්තෙ ඕන දෙයක් උනා දෙන් කියලා බස් එකෙන් බහින්න. ඒත් එක්කම ගමනට ලෑස්ති වුන බස් එක ආයෙත් නතර වුණා.

ඊළගට බස් එකේ ඉදිරිපස දොරින් ඇතුලට ආව ආගත් සර්ව දුටු පමණින්ම මා හුන් අස්නෙන් නැගිටුනා. මගේ ඇස් ලොකු වෙන්න වැඩි වෙලාවක් ගත වුනෙ නෑ. කෝට් කිට් එකකින් සැරසි අව්කණ්නාඩි පවා පැළදගෙන සිටි ඔහු දෙස බස් එකෙ උන්න බොහෝ දෙනා බැලුවෙ පුදුමයෙන්. ඇත්තටම ඒ විලාසිතාව බස් එකකට නොගැලපෙන එකක්.

බස් එකට ගොඩ උන ඔහු කෙලින්ම ආවේ මගේ ලගට. මා වෙත පැමිණි ඔහු අනවසරයෙන්ම  මගේ අතින් අල්ලගත්තා. ඔහු බස් එකෙන් එලියට යද්දි මා ද ඒ පිටුපසින් ඇදිලා ගියෙ නිරන්තරයෙන්ම.

අපි එළියට එනවත් සමගම බස් එක නැවතත් ගමන් ආරම්භ කලා. ඔහු මගේ අතින් අතැරියෙ ඉන් මොහොතකට පසුයි.  බස් නැවතුම ඉදිරිපිට නවතා තිබුණු මෝටර් රථයට හේත්තු වී ඔහු මා දෙස බැලුවෙ තරවටු බැල්මකින්.

" සිංහල තේරෙනව ද....

බස් එකෙන් බහින්න කිවුවාම බහින්න ඕනේ....

මොන මගුලක් ද තවත් ඒක අස්සට වෙලා කලේ.... "

මම උන්නෙ පියවි සිහියට එන්න බැරුව. මොහොතකට පෙර සිදු වූ සියල්ල මට දැනුනෙ චිත්‍රපටි දර්ශනයක් වගේ. ආගත් සර් පළමු වතාවට මගේ අතින් අල්ලපු මොහොතෙ විදුලියක් වදිනව වගේ දැනුනු ඒ හැගීම විස්තර කරන්න බැරි තරම්. ඒ නිසාම  සිදු වූ ඒ සියල්ල මට තවමත් ඇහැරගන්න බැරි හීනයක් වගේ.

" සිනුදි....! "

ඔහු අල්ලගෙන සිටි මගේ දකුණු අත දිහා බලාගෙන හීන ලෝකෙක අතරමන් උන මම පියවි සිහියට ආවේ ආගත් සර්ගෙ ගෝරනාඩුවට.

" මොන ලෝකෙක ද තමුන් ඉන්නෙ සිනුදි.... "

" සො... සොරි සර්..... "

මා වෙත නැවතත් සුපුරුදු තර්ජනාත්මක බැල්ම හෙලු ඔහු අව්කණ්නාඩි පළදමින්ම මෝටර් රථයේ රියදුරු අසුනට බර වුණා. ඊළග මොහොතෙ මගේ තත්පරයක පමාව ඉවසිය නොහැකි තැන ඔහු මෝටර් රථයේ නළාව සද්දෙට නාද කරන්න පටන්ගත්තා. පාරෙ යන එන හැමෝම මං දිහා බලද්දි ඉක්මනින්ම මම අනෙක් අසුනට හේත්තු වුනෙ තවත් ලැජ්ජා වෙන්න බැරි තැන. මූණත් බෙරි කරගෙන  ආරක්ෂක පටිය මම පැලදගත්තෙ ද ඔහුගෙ ආඩම්බරයට හිතින් දොස් තියමින්.

ඔහු මට ඇමතුම ලබාගෙන ඇත්තෙද මා සිටි බස් රථය පසුපස හඹා එමින් බව ස්තීරයි. නමුත් හදිස්සියේම මේ සිදුවන්නෙ කුමක් ද කියන එක ගැන මට දැනීමක් තිබුනෙ නෑ. ආගත් සර්ගෙන් ඒ ගැන අහන්න කලින් කුමක් හෝ මට අතපසු වුණා දැයි මා මතක් කරගත්තා.

ඒ අතරෙ පසුපස අසුනෙ තිබු ලිපිගොනු කිහිපයක් ගෙන ඔහු මගේ අත උඩින් තිබ්බෙ මෝටර් රථය ක්‍රියාත්මක කරන අතරතුර.

ලිපිගොනු දෙසත් ඔහු දෙසත් මා පුදුමයෙන් බැලුවෙ තේරුම්ගත නොහැකි තැන.

" ඔය ෆයිල් ටික ස්ටඩි කරන්න පටන්ගන්න....

මට තව විනාඩි විස්සකින් ඕකෙ සමරි එක ඕනේ..... "

ඔහු මෝටර් රථයේ පුවරුවෙන් වෙලාව බලමින්ම මෝටර් රථය ඉදිරියට ධාවනය කලා.

" මොකක් විනාඩි විස්සකින්.... ?? "

" ඔව්... ඇයි බැරි ද.... "

" නෑ.... පුලුවන් සර්....

සර් මට දැනගන්න පුලුවන් ද... අපි මෙ කොහෙද යන්නෙ කියලා... "

" එමර්ජන්සි කොන්ෆ්‍රන්ස් එකක්...

තමුන්ගෙ ඔය ෆෝන් එක දිහා බලනවා.... මං ඊයේ රෑ ඉදන් කෝල් කරන්නෙ....  "

ආගත් සර් එහෙම කියද්දි නම් වැරැද්ද මගේ කියන එක මම තේරුම්ගත්තා. ආගත් සර්ගෙන් පෙරදින රාත්‍රියේ ඇමතුම් කිහිපයක් ලැබුන ද එයට පිළිතුරු නොදි මා මඟහැරියෙ හිතාමතාම.  රෙහාන් විසින් මා මුහුණ දුන් අනතුර පිළිබඳ  ආගත් සර් දැනුවත් කලාට පසු ඔහු මෙලෙස ඇමතුම් ගන්නවා යැයි මා සිතන්නට පෙළඹුණා. ඔහුට දෙන්න උත්තරයක් නොමැති තැන මා දුරකථනය පවා ක්‍රියාවිරහිත කලා. ඒ ක්‍රියාවිරහිත කල දුරකථනය අද බස් එකට ගොඩ වෙන්න මොහොතකට පෙර  නැවතත් ක්‍රියාත්මක කල බව මට මතක් වුනෙ ඒ මොහොතෙදි.

ආගත් සර් මගේ දුකසැප විමසීමට ඇමතුම් ගන්නවා යැයි මා සිතු සිතුවිල්ලම කොතරම් වැරදි ද. එලෙස සිතන්නට මා පෙළඹුනෙ කෙසේ දැයි ද මා නොදන්නා නමුත් එය මහා පරිමාණයෙ අනුවනකමක් බව මට දැන් සක්සුදක් සේ පැහැදිලි.

ඉතිං සිදු වූ ලැජ්ජාවෙන් මූණ රතු කරගෙන මං ලිපිගොනු මතට අවදානය යොමු කලා.

ලිපිගොනු මත අවදානය රදවාගෙන මට ඉදිරියට යන්න වුනෙ කෙටි දුරයි. විනාඩි කිහිපයක නිහඬබව බිදින්නට ආගත් සර් ඉස්සර වුණා.

" අතට මොකද වුනෙ.... "

බැන්ඩේජ් කරලා තිබුණු වමතෙ දබරැගිල්ල දෙස හොරැහින් බලමින් ආගත් සර් ඇහුවෙ එතරම් ගනනකට නොගෙන.

" මන් හිතුවේ රෙහාන්... සර්ට කියන්න ඇති කියලා...... "

" මොනව ද....? "

ඔහු ඇහුවෙ කිසිවක් නොදන්න ගානට.

" නෑ මේ... රෙහාන් තමයි මාව හොස්පිට්ල් අරන් ගියෙත්..... "

" ඉතිං මට මොකද.....

රෙහාන් ජොබ් එකෙන් පිටදි කරන දේවල් මට අදාල නෑ.... "

ඔහු කතා කලෙ සුපුරුදු ආඩම්බර මාන්නයෙන්.

" සර් අහපු නිසා කිවුවේ.... සොරි....

මාව බාත් රූම් එකෙ වැටුනා එච්චරයි.... "

" ස්විමින් පූල් වල බාත් රූම් වල වැටෙන එකද ඔයාගෙ පුරුද්ද.....

එක අතකට පුදුම වෙන්න දේකුත් නෑ.... "

" ඒ ඇයි.....? "

" මොලයක් නැති මිනිස්සුන්ගෙන් ඔයිට වඩා මොනව බලාපොරොත්තු වෙන්න ද.... "

මම ලිපිගොනු ටික වහලා දැම්මේ සද්දෙට.

" සමරි එක හදලා ඉවරයි සර්..... "

මම ඒ ටික කියාගත්තෙ ඔහු නිසා ඇති වුන තරහ පිට කරන්න ලොකු හුස්මක් අරගෙන අවසානයෙ.

ඒත් ආගත් සර් මං දිහා බැලුවෙ පුදුමයෙන්.

" මෙච්චර ඉක්මනින් ඉවර කලා ද.... "

" ඔව්...

මොලේ නැති මිනිස්සුන්ට ෆයිල් වල සමරි හදන එක ලොකු දෙයක් නෙමේ...

ඒක තේරුම්ගන්නවත් මොළයක් නැති එක ගැනයි දුක.... "

" ඉස්සර වගේමයි.... "

" කවුද....? "

මම ඇහුවෙ පුදුමයෙන්.

" මේ ගස්....

මේවා මම ඇමරිකා යන්න කලිනුත් ඒ වගේමයි.... "

ඔහු කිවුවේ පාර දෙපස තිබුණු අරලිය ගස් පේළිය පෙන්වමින්.

" ඒවා අරලිය ගස්....

මම දන්න කාලෙ ඉදන්ම ඕවා ඔතන තමයි තියෙන්නෙ.... "

" ඉතිං මට මොකද...

ඔය කතාව නවත්තලා සමරි එක මට මේල් කරනවා.... "

දුරකථනයෙන් සෑදු ලිපිගොනුව විද්‍යුත් තැපෑල ඔස්සෙ ආගත් සර්ගෙ ලිපිනයට යවපු මම අවසානයෙ එය අවසන් බව ඔහුට දැනුම් දුන්නා. හදිසියේම පැවරු රාජකාරියක් මේ තරම් ඉක්මනින් අවසන් කිරීම ගැන පුංචි ස්තූතියක්වත් නැතුව ඔහු ඔහුගෙ දුරකථනයෙන් ලිපිගොනුව දිගහැර ගද්දි මම හොරැහින් රැව්වෙ එළිපිට ඔහුට රවන්න බැරිකමට.

ඊළගට මම අත්දෙකත් බැදගෙන අසුනට හේත්තු වුණේ තවදුරටත් ඔහුත් එක්ක කතා කරන්න තිබුණු අකමැත්තට.

................................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට මගේ අකවුන්ට් එකේ ඇති සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු ✒️

Share This Chapter