Back
/ 43
Chapter 19

Chapter 19

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  දහනව වැනි කොටස 🌙

................................................................

" ඒ කියන්නෙ... මේ සුපුන් කවුරු වුනත් එයා දන්නව සිම්මිට මම සම්බන්ධයි කියලා...

ඒ නිසයි කට් කලේ...

කවුද මේ සුපුන්.... "

මගේ හිතෙ ප්‍රශ්න දාහක් මැවුනා.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

අම්මා මාව කතාවට අල්ලගත්තෙ මා කාර්යාලයට යන්න සූදානම් වන අතරෙ.

" සිනුදි....

මං පොඩි දෙයක් අහන්න ඔයා ඇත්තම මට කියනව ද.... "

අම්මා ඇහුවෙ ලතාවකට.

" අහන්නකෝ බලන්න.... "

තොල් සායම් කරමින්ම මම කතා කලෙ ඒ ගැන වැඩි අවදානයක් යොමු නොකර.

" එදා.... වීපි සර් ඇවිත් මේ ගෙදර පිස්සු නටපු දවස මතක ද.... "

" මට ඒ කිසිම දෙයක් අමතක වෙන්නෙ නෑ අම්මා..... "

උදේ පාන්දරම වීපි සර්ගෙ නම ඇහුන නිසා මම මූණ බෙරිකරගත්තා.

" එදා.... ඔයා බොස් එක්ක එළියට ගිහින් ද වුන්නේ..... "

අම්මා ඇහුවෙ මම බලාපොරොත්තු නොවුන ප්‍රශ්නයක්.

" ඔව්....

ඒත් අම්මා ඇයි එක පාරටම ඒ ගැන අහන්නෙ.... "

" නෑ මේ....

මට දැනගන්න ඕනේ ඇත්තටම....

ඔය දෙන්නා අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනව ද....

එදා වීපි සර් ඔය තරම් තරහ ගත්තෙ ඒ නිසා ද.... "

මා සුදානම් වීම පසෙක තබා උලුවස්සට හේත්තු වෙලා උන්න අම්මට ලං වුණා.

" අම්මේ.... වීපි සර් ගැන නම් මම දන්නෙ නෑ... ඒත් මගෙයි මගේ බොස්ගෙ අතරෙයි ඔයා හිතාගෙන ඉන්න විදියෙ සම්බන්ධයක් නෑ....

අනික එදා බොස් ඩිනර් අරන් දුන්නෙ මට විතරක් නෙමෙ...

අපේ මුලු ටීම් එකටම... "

අම්මා කල්පනාවකට වැටෙද්දි මම බෑග් එක අතට ගත්තෙ බිත්ති ඔරලෝසුවේන් වෙලාව බලමින්.

" අයියෝ... මට හොදටම වෙලා ගිහින්....

මම යනව අම්මා.... "

බෑග් එකත් අරගෙන කාමරයෙන් එළියට යන්න ගිය මාව අම්මා නවත්තගත්තා.

" මොකද අනේ මේ......? "

මං ඇහුවෙ කුතුහලයෙන්.

" සිනුදි....

ඔයාගෙ බොස් ලොකු සල්ලිකාරයෙක් වෙන්න ඇති නේද.... "

අම්මා මගේ බොස් ගැන කතා කලෙ ලොකු හිනාවකින් මූණ පුරෝගෙන.

" ඉතිං.... ? "

" ඉතිං කියන්නේ මොනාද...

සිනුදි... මේ අහන්නකෝ දැන් ඔය දෙන්නා අතර සම්බන්ධයක් නැති වෙන්න පුලුවන්....

ඒත්, ඉස්සරහට සම්බන්ධයක් ඇති වෙන්න පුලුවන් නේ...

එහෙම නේද.... "

අම්මා කතා කලෙ හීන ලෝකෙක ඉදන්. අම්මගෙ යටි අරමුණ මොකක්ද කියලා තේරුම්ගන්න මට වැඩි වෙලාවක් ගත වුනෙ නෑ. මට දැනුනෙ තරහක්.

ඒ මොහොතෙ අම්මා ගැන දැනුන ආවේගයෙන්ම මම ඇයවත් තල්ලු කරගෙන එළියට ආවා.

" සිනුදි මේ රතු ලිෆ්ටික් එක ගාගෙන යන්න....

ඔයාගෙ බොස් අනිවාර්යෙන්ම වශී වෙයි.... "

ගෙදරින් එලියට අඩිය තියලත් මම ආයෙත් හැරුනෙ අම්මගෙ කියවිල්ල මාව තව තවත් නොසන්සුන් කල තැන.

" අම්මේ ඕක නවත්තන්න.....

මට පිස්සු හදවන්න එපා.....

ඔයා හිතාගෙන ඉන්න දේවල් සිද්ද වෙන්නෙ නෑ....

ඔය හීනෙන් ඇහැරෙන්න අම්මේ... "

මගේ කෑගැහිල්ලට අම්මා නිශ්ශබ්ද වුණා. ලොකු හුස්මක් අරගෙන හිත සැහැල්ලු කරන් යන්න හැරුනු මං දෙවෙනි වතාවටත් නතර වුනෙ අහම්බයෙන් මතක් වුන දෙයක් නිසා.

" අහ් අනික...

ලගදි දවසක මට වීපි සර්ව මුණගැහුනා...

එයා ඔයාට කියන්න කිවුවා... ඔයාගෙ හිතේ තියෙන ප්ලෑන් එයා ඉෂ්ඨ වෙන්න දෙන්නෙ නෑ කියලා..... "

මං එහෙම කියද්දි අම්මගෙ ඇස් ලොකු වෙනව මං බලාගෙන. මම ඒ මුහුණෙ ඇදෙන හැගීම් දකීවිදෝ බයෙන් ඇය උත්සහ කලෙ මගේ මුහුණ හංගගන්න. ඒ ක්ෂණිකවම ඇය කලබලයෙන් කියවන්න පටන්ගත්තෙ අහක බලාගෙන.

" පිස්සු මනුස්සයෙක්....

ඒ මිනිහට ඕන අපි තුන්දෙනාව වෙන් කරන්න... එතකොට ඔයාව අයිති කරගන්න ඒ මිනිහට ලේසි නේ....

සිනුදි ඔයා වීපි සර්ව විශ්වාස කරන්න එපා.... "

අම්මා කතා කලෙ අවවාදාත්මක ස්වරයෙන්.

" මම වීපි සර්ව විශ්වාස කරන්නේ නෑ අම්මේ.... ඒ වගේම මට ඔයාවත් විශ්වාස නෑ..... "

ඒ කතාව තවත්  දුරදිග ගෙනියන්න මට ඕන උනෙ නෑ. වීපි සර් සම්බන්ධ හැම කතාවක්ම මට මහා අප්‍රසන්නයි. ඒ නිසාම අම්මා නිහඬ වූ තැන මම තවත් වචනයක් හෝ නොකියා පාරට ආවා.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

මම වුන්නෙ ආයතනයට එන හරස් මාර්ගයෙ. පාර දිගට නතර කරලා තිබුණු මෝටර් රථ අතරින් මට ඇහුනෙ දෙදෙනෙකුගෙ සංවාදයක්. ඔවුන්ගෙ කතාවට අවදානය නොදුන්නත් උස් පහත් වෙන හඬවල පැහැදිලි වචන මට ඇහුනෙ අනවසරයෙන්ම.

" දැන් ඉතිං කරන්න දෙයක් නෑ....

උඹ නම් මහ මෝඩයෙක් බන්...

ඕක බොසා දැනගත්ත ගමන් උඹේ ජොබ් එක ඉවරයි....

කරන්න දෙයක් නෑ කොල්ලො...

මං උඹට කිවුවා ඕක කරන්න එපා කියලා...... "

" අනේ අයියෙ මොකක් හරි ශේප් එකක් දාලා දෙනවකෝ...

ඒ වගේ කෙල්ලෙක්ව බයිට් කරන එක ඔය තරම් කේස් එකක් වෙන්නෙ කොහොමද...

බොසුත් කොල්ලෙක් නෙ බන්...

බොස් මාව තේරුම්ගනි නේද අයියේ... "

" ඔව් ඔව්... බොස් තේරුම්ගනි...

උඹ උන හැම දෙයක්ම බොස්ට ගිහින් කියපන්කෝ...

එතකොට උඹටම බලාගන්න පුලුවන් බොසා තේරුම්ගන්න ලස්සන.... "

" ජොබ් එකට බබා හම්බවෙයි ද අයියේ...

ශිට්.... !!

මටත් අතපය තියාගෙන ඉන්න බෑ නේ... "

" උඹ අපේ බොස්ගෙ නමත් එක්ක සෙල්ලම් කලෙ කොල්ලෝ....

බොසා ඕක දැනගත්ත ගමන් උඹ කොහොමත් ඉවරයි....

අනික මොනා උනත් අර කෙල්ලත් පව් බන්....."

" ලයින් එකක් ගහගන්න ගියෙ අයියේ...

වැඩේ වැරදුනා නේ.... "

ඔවුන්ගෙ කතාව ඇහුනත් එයට අවදානය නොදිම මම ඉස්සරහට අඩි තිබ්බා. ඒත් මේ කටහඩ වල අයිතිකාරයෝ කවුරුන් දැයි දැනගන්න මට ඕන වුනේ ඔවුන්ට අනතුරු අඟවන්නත් එක්ක. මොකද දැනටමත් පාරෙ යන එන බොහෝ දෙනා ඔවුන්ගෙ සංවාදයට කන් දීගෙන වුන්න නිසා.

ආගත් සර්ගෙ මෝටර් රථයට හේත්තු වීගෙන සිටි රෙහාන් තවත් තරුණ සේවකයෙකු සමගින් කතා කරමින් වුන්නා. මා දුටු වහාම ඔවුන් බෙහෙවින් කලබල වෙනව මම බලාගෙන.

" ගුඩ් මෝනින් රෙහාන්.... "

රෙහාන්ට උදෑසන සුභ පැතුම් එක් කල මා අනෙක් සේවකයාට සිනහවක් ත්‍යාග කලෙ ඔහුගෙ නම නොදන්න නිසා.

" ගුඩ් මෝනින් සිනුදි....

ඔ... ඔයා මොකද මෙතන කරන්නෙ.... "

" මං මේ ඔෆිස් එකට යන ගමන්...

ඔයාව දැකලා නැවතුනේ.... "

" මේ වෙලාවේ....? "

රෙහාන් පුදුමයෙන්  අත බැදි ඔරලෝසුවේන් වෙලාව බැලුවෙ කාර්යාලය ආරම්භ වෙලා හෝරාවකුත් ඉක්මව ගොස් තිබුණු නිසා විය යුතුය.

" ඔෆිස් එකේ වැඩකට උදේන්ම බෑන්ක් එකට ගියා....

ඒකයි මේ වෙලාවේ.... "

මම හිනා වෙලා එහෙම කියද්දි ඔවුන් දෙදෙනා මුහුණට මුහුණ බලාගත්තෙ ඇස් ලොකු කරගෙන.

කාර්යාලය  ආරම්භ වී තිබු හෝරාවක මේ හරස් මාර්ගය බොහෝ දෙනා පාවිච්චි නොකරන නිසාම ඔවුන් දෙදෙනා යන එන අය ගැන සැක නොහිතාම හිතේ හැටියට කතා කරමින් ඉන්නට ඇති. ඉතිං මෙතරම් වෙලා කෙරුනු ඔවුන්ගෙ සාකච්ඡාව මට ඇහෙන්නට ඇති යැයි ඔවුන් බිය වී ඇති සැටියකි.

ඒ බය වෙලා තිබුණු මූණු දිහා බලාගෙන මම හිනාව මැඩගත්තෙ උත්සහයෙන්. ඒ අතරෙ රෙහාන් අනෙක් සේවකයාට එතැනින් පිටව යන ලෙස ඇස් වලින් සංඥා කලා.  රෙහාන් කතා කලෙ ඔහු එතැනින් පිටව ගිය පසු.

" මේ....

සිනුදි...... ඔයාට අපි කතා කරපුවා ඇහුන ද...... "

" මොනවද ඇහුනා... හැබැයි මුකුත් තේරුනෙ නෑ....

ඒ නිසා බය වෙන්න එපා.... "

රෙහාන් හුස්මක් ගත්තෙ මම එහෙම කිවුවට පස්සෙ. ඇත්තටම ඉතිං ඒ දෙන්නගෙ කතාව මට ඇහුනට ඒ කතාවේ අඟක් මුලක් මට තේරුනෙත් නෑ නේ.

" හැබැයි ඉතිං අනිත් දවසෙ පරිස්සම් වෙන්න....

මොකද ඊළග දවසෙ ඔයාලගෙ කතාව ආගත් සර්ටම උනත් ඇහෙන්න බැරි නෑ..... "

" අම්මෝ.....

මතක් කරන්න එපා...... "

" අහ් මේ... රෙහාන්....

ඔයා දන්නවද... අපේ ඔෆිස් එකේ ඉන්න සුපුන් කියලා කෙනෙක්ව.... "

ඒ නම අහපු මොහොතෙ රෙහාන් මුලින්ම කලබල වුණා. මම ඔහු දෙස සැකෙන් බැලු නිසාද කොහෙද ඉක්මනින්ම ඔහු කල්පනාවකට වැටුනා.

" සුපුන්..... සුපුන්.... ම්ම්......

එහෙම කෙනෙක්ව මට නම් මතක නෑ....

ඇයි සුපුන් කෙනෙක් ගැන හොයන්නෙ... "

මම දුරකථනය ගෙන සුපුන්ගෙ අංකය රෙහාන්ට පෙන්නුවෙ ආගත් සර්ගෙ ආරක්ෂකයා විදියට ඔහු නොදන්න කෙනෙක් මේ ආයතනය තුළ සිටිය නොහැකි නිසා.

" කම්පැනි නම්බර් එකක් නේද....

ඔය කියන සුපුන් බ්‍රාන්ච් එකක ළමයෙක් වෙන්න බැරි ද.... "

රෙහාන්ගෙ කතාවත් ඇත්ත. අප ආයතනයේ ශාඛාවන්ම කීයක් තියෙනවද.

" එහෙම වෙන්නත් පුලුවන් නේද....

එහෙනම් මම යන්නම් රෙහාන්... පස්සෙ හම්බවෙමු...."

මගෙ හිතෙ තිබුණු එක ප්‍රශ්නයකටවත් පිළිතුරු නොලැබුන තැන මම රෙහාන්ට සමු දී කාර්යාලය තුළට අඩි තිබ්බා.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

මම කාර්යාලයට විත් ටික වෙලාවකින් නැවතත් සුපුන්ගෙ අංකයට ඇමතුමක් ලබා ගන්න උත්සහ කලා. නමුත් ඒ මොහොතෙදිත් දුරකථනය ක්‍රියාවිරහිත කර තිබුණා.

මම කරදරයෙන් ඉන්න බව තේරුම්ගත් හිමාෂා මගේන් ඒ ගැන ප්‍රශ්න කල මොහොතෙ මම ඇයට සියල්ල පැහැදිලි කලා.

" සුපුන් කියන්නෙ හරිම කොමන් නේම් එකක් නේ.....

අපේ කම්පැනි එකේ සුපුන් කෙනෙක් නැති වෙන්න බෑ....

අපි හොයාගමු.... "

හිමාෂා කවදත් එහෙමයි. මොන දේකදිවත් මාව තනි කලෙ නෑ.

හත්වෙනිදා උත්සවයෙ කල යුතු කාර්යයන් තවත් බොහෝමයක් ඉතිරිව තිබුණා. සුපුන් ගැන සෙවීම මදකට පසෙකට කල මා සම්පූර්ණ අවදානය දුන්නෙ මට පැවරී ඇති රාජකාරීන් වලට.

" සුපුන්ට ෆෝන් එක දෙන්නකො මම කියන්නම් කරන්න ඕන දේ.... "

තාරක දුරකථන ඇමතුමක් අතරෙ සුපුන් යන නම කියද්දි මාත් හිමාෂාත් ඔහු දෙස බැලුවෙ ක්ෂනිකවම. මට කරමින් සිටි කාර්ය පවා අමතක වුණා වගේ. ඇමතුම විසන්ධි කර කාර්යාලයෙන් පිටතට යන්න සුදානම් වූ තාරක නතර වුනෙ හිමාෂාගෙ හඬට.

" තාරක  ඔයා කතා කලෙ අයිටී එකේ සුපුන්ට ද.... "

හිමාෂා කතා කලෙ රාජකාරි ස්වරයෙන්. ඒ පැනයට තාරක පිළිතුරු දුන්නෙ ලිපිගොනු කිහිපයක් අතට ගනිමින්.

" අයිටී එකේ කොහෙද බන් සුපුනෙක් ඉන්නේ.....

සුපුනා ඉන්නෙ අකවුන්ට්ස් එකේ.... "

" අහ්... සොරි සොරි වැරදුනා....

අයිටී එකේ ඉන්නෙ කසුන් නේ සුපුන් නෙමේ....

තාරක යන ගමන් මේ ෆයිල් එක අයිටී එකේ කසුන්ට දීගෙන යන්න පුලුවන් ද.... "

මේසය මත තිබුණු කිසිදු අදාලත්වයක් නොමැති ලිපිගොනුවක් හිමාෂා තාරක වෙත දිගු කලෙ ඔහු එය රැගෙන නොයන බව අත්දැකීමෙන්ම දැනගෙන.

" අනේ මේ...

මට බෑ ආයෙත් උඩට යන්න..... "

තාරක ලිපිගොනුව මඟහැර යන විට හිමාෂාගෙ මුවග රැදුනෙ කපටි දගකාර හිනාවක්.

" හිමාෂා ඔයා නම්......... "

මාත් හිමාෂාත් ඉක්මන් වුනෙ ගිණුම්කරණ අංශයට යන්න.

" අයිටී එකට ගෙනියන්න ෆයිල් තියෙනව ද...... "

ඒ අතරෙ සහන් ඇහුවෙ මනමාල හිනාවකින්. තොරතුරු තාක්ෂන අංශයෙ ගෑණු ළමයෙක් ගැන සහන් උනන්දු බව අපි කා අතරත් නොරහසක්. මොකක් හරි බොරු හේතුවක් හදාගෙන තාක්ෂණ අංශයට යන එක සහන්ට දැන් පුරුද්දට ගිහින්.

" අනේ මේ සහන්... ඔයාගෙ අතේ ෆයිල් එක යැවුවොත් අන්තිමට ෆයිල් එකත් නෑ ඔයත් නෑ..... "

හිමාෂාගෙ කතාවට කාර්යාල මිතුරන් හිනා වෙද්දි සහන් මූණ ඇඹුල් කරගත්තා.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

බොරු හේතුවක් හදාගෙන මාත් හිමාෂාත් ගිණුම්කරණ අංශය තුළට ඇතුලු වුණා. එහි සුපුන් යන නමින් සිටි ගිණුම්කරු දෙස බලාගෙන මා කල්පනා කලා.

හරිම සාමාන්‍ය පෙනුමක් තිබුණු ඔහු ගැන මට සැක නොහිතුනු තරම්.

සිම්මිගෙ තෝරාගැනීම කෙසේ වෙතත් මම මගේ අම්මාගෙ තෝරාගැනීම ගැන හොදටම දන්නවා. අම්මා මෙවැනි සාමාන්‍ය ගිණුම්කරුවෙකු සමගින් ගණුදෙනු කරන්නියක නොවේ.

විසි කරන්න පුලුවන් තරමෙ සල්ලි තියෙන වීපි සර් වැනි ගණුදෙනු කරුවන් හා මිස මගේ අම්මා මෙවැනි සාමාන්‍ය මිනිසුන් සමග නම් හිනා වෙලා කතා කරන්නෙත් අහම්බයෙන්. ඉතිං මට හිතුනෙම ඔහු මා සොයන සුපුන් නොවන බවයි.  සිම්මි ඒ ගණුදෙනුකරුවා හා සම්බන්ධය නතර කලාට පසුව අම්මා ඒ ගනුදෙනුකරුවාව අහිමි වීම ගැන කෙතරම් දුක් වුණා ද.. ඒත් මා මේ දකින සුපුන් මගේ අම්මාට නම් ඒ තරම් වටින කෙනෙක් වෙන්න කොහෙත්ම බෑ.

" අපිට වැරදිලා සිනුදි

මේ අපි හොයන සුපුන් නෙමේ...... "

ගිණුම්කරණ අංශයෙ මිතුරෙකු හා කතා කරමින් වුන්න හිමාෂා මා වෙත පැමිණ රහසින් වගේ එහෙම කිවුවෙ එළියට යමු කියලා ඇස් වලින් ඉගි කරමින්. හිමාෂා කතාව සම්පූර්ණ කලෙ අපි එළියට ආවට පස්සෙ.

" ඒ ළමයා කැකිරාව පැත්තෙ බෝයි කෙනෙක්... මෙහෙ බෝඩ් වෙලා ලු ජොබ් එකට එන්නෙත්....

සිනුදි... ඒ ළමයා කොහෙත්ම අපි හොයන සුපුන් නෙමේ.... "

" මට හිතුනා.... "

මම කතා කලෙ සුපුන්ව හොයාගන්න බැරි වුන දුකින්.

මගේ මැලවුණු මුහුණ දිහා මොහොතක් බලාගෙන වුන්න හිමාෂා ඊළගට මාවත් ඇදගෙන ආවේ සම්පත් කලමනාකරණ අංශයට.

එහි වූ නිලදාරිනියකට දුරකථන අංකය ඉදිරිපත් කල හිමාෂා උත්සහ කලෙ ඔහු ගැන තොරතුරු දැනගන්න.

" සොරි.... අපිට මෙයා ගැන තොරතුරු දෙන්න අවසර නෑ....

මොකද මේ නම්බර් එක අයිති ඔෆිසර් දැනටමත් රිසයින් වෙලා ඉන්නෙ...

ඒ නිසා එයාගෙ පෞද්ගලික තොරතුරු කොහොමටත් ඔයාලට දෙන්න බෑ.... "

මානව සම්පත් කලමනාකරණ අංශයෙන් ද අපිට අහන්න ලැබුනෙ ඒ වගේ කතාවක්. කාර්යාලයට විත් මම මගේ අසුනට වැටුනෙ අවසන් බලාපොරොත්තුවත් නැති කරගෙන.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

අවසන් දින උත්සවයේ දහසක් රාජකාරි අතර අතරමං වෙලා වුන්න මං ආගත් සර්ගෙ කාර්යාලයෙන් ලැබුණු ඇමතුමට  පිළිතුරු දුන්නෙ කරමින් සිටි සියල්ල පසෙකලා.

" රෙහාන්ට කාර් එක ලෑස්ති කරන්න  කියන්න...

සිනුදි ඔයත් ලෑස්ති වෙන්න....

අපිට එළියට යන්න වෙනවා.....  "

එපමණක් කියලා ඔහු ඇමතුම විසන්ධි කලා. යන්නෙ කොහෙටද කරන්නෙ මොනවද ඒ කිසිම දෙයක් ඔහු කිවුවේ නෑ. ඒක ඉතිං ආගත් සර්ගෙ ආඩම්බරකාර තවත් එක පුරුද්දක්.

ඊළගට වෙන්නෙ මොකක්ද කියන එක ගැන මම අවදානයෙන් ඉන්න ඕන ලු. පෞද්ගලික ලේඛම්වරියකට ඉව කියන දේ තියෙන්න ඕනලු.. මම හොද සිහියෙන් ඉන්න ඕන ලු. මගේ අතින් පොඩි වැරැද්දක්වත් වෙන්න බෑ ලූ...

එකි මෙකි නොකි ආගත් සර්ගෙ ආඩම්බරකාර කතා අහලම මට දැන් ඇති වෙලා තියෙන්නෙ.

ආගත් සර් කැබින් එකෙන් එලියට එද්දි ලිපිගොනු කිහිපයකුත් තුරුලු කරගෙන මම ඔහු පස්සෙන් දිව්වා.

ආගත් සර්ගෙත් රෙහාන්ගෙත් අතර සේවයට එහා ගිය මිත්‍රත්වයක් තිබුණා.

ඒත් අද කුමක් හෝ වෙනසක් සිදු වෙලා. ඔවුන් දෙදෙනාගෙම හැසිරීම මට එය තේරුම්ගන්න තවත් පහසු කලා.

ආගත් සර් රෙහාන්ව ගනන් නොගෙන ඉන්න උත්සහ කරද්දි රෙහාන් උත්සහ කලෙ කොහොම හරි නැවතත් ආගත් සර්ගෙ හිත දිනා ගන්න.

" කොහෙටද යන්නෙ බොස්.... "

"  චිලව් බ්‍රාන්ච් එකට... "

රෙහාන් ආගත් සර්ගෙන් අහපු ප්‍රශ්නෙට ආගත් සර්  කඩන් පනිනවා වගේ පිළිතුරු දෙද්දි මම ඒ දෙන්නා දිහාම මාරුවෙන් මාරුවට බැලුවෙ මොකද වෙන්නෙ කියලා හිතාගන්න බැරුව.

................................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට මගේ අකවුන්ට් එකේ ඇති සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු ✒️

Share This Chapter