Back
/ 43
Chapter 22

Chapter 22

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  විසි දෙවැනි  වැනි කොටස 🌙

................................................................

ආගත් සර් ආවේගශිලීව පිටතට එද්දි රෙහාන් මගෙ දිහා බැලුවෙ මොකද වෙන්නෙ කියලා අහන බැල්මකින්. ඒත් එක්කම ඉක්මන් වුන රෙහාන් ආගත් සර් වෙනුවෙන් මෝටර් රථයේ දොර විවර කලා. ආගත් සර් මෝටර් රථයට නැගුනෙ ඔහුට ලැබුණු ඇමතුමකට පිළිතුරු දෙන අතරේමයි.

මෝටර් රථය හෝටල් සංකීර්ණයෙන් පිටතට එනවත් එක්කම මගේ ඇස් නතර වුනෙ හෝටල් සංකීර්ණය වෙත පිවිසෙන මෝටර් රථයක් ලග. වීපි සර්ගෙ  රතු පැහැති නවීන වර්ගයෙ මෝටර් රථය හදුනගන්න මට ඒ තරම් අපහසු වුනේ නෑ.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

ඊයේ දවසේ අයිෂා මිස්ව මුණගැහුනට පස්සෙ අමතක වෙලා තිබුණු දෙයක් මගේ මතකෙට ආවා.

එදා අයිෂා මිස්ගෙත් ආගත් සර්ගෙත් රණ්ඩුවට මැදි වූ දවසෙ මට හමු වුන මුදුව ගැන මට වගක්වත් තිබුනෙ නෑ. පළමු දින කිහිපයෙ නම් ඒ නිවසට නැවතත් අයිෂා පැමිනෙවි දැයි විමසිල්ලෙන් වුන්නත් කාලයත් ඒක්ක මට ඒ ගැන අමතකම වුණා.

ආගත් සර් කාර්යාලයට පැමිණෙන තුරු මම බලාගෙන වුන්නෙ මුදුව අද ඔහුට ලබා දෙන අරමුණෙන්. මට අයිති නැති දෙයක් තවදුරටත් මගේ ලග තියාගන්න මට අයිතියකුත් නෑ.

" අලුත් නිව්ස් එක ආරංචි ද..... "

පහළ මහලයෙන් ඕපදූපයක් හොයාගෙන ආව තාරක ඒ කතාව රසකරමින් කියන්න සැරසුනා. සුපුරුදු පරිදි මගේ කාර්යාල මිතුරන් තාරකව වට කරගත්තේ තත්පර කිහිපයක අවෑමෙන්.

" මොකක්ද මේ පාර වෙලා තියෙන්නෙ... "

සයුරි ඇහුවෙ ලොකු උනන්දුවකින්.

" අපේ බොස් වැඩකාරයා....

අන්න හොරු අල්ලගෙන.. "

" ඒ කිවුවේ..... "

දේවින්ද එහෙම ඇහුවෙ අපි කාටත් තාරක කියු දේ නොතේරුන තැන.

" දන්නව ද...

අපේ ප්‍රොඩක්ට් එකේ ඩීටේල්ස් වීපි ගෘප් එකට දීලා තියෙන්නෙ කවුද කියලා.... "

තාරක හඬ ගැඹුරු කරලා එහෙම කියද්දි මගේ මුලු ඇඟම සීතල වුණා. ලගම තිබුණු මේසයට වාරු වුන මට දැනුනෙ හුස්ම ගන්නත් බැරි තරම් අපහසුවක්.

දෙවියනේ මම කොහොමද මේ හැමෝටම මූණ දෙන්නෙ... මට මොකද වෙන්නේ...

මගේ හිත මගෙන්ම ප්‍රශ්න කරද්දි ඒ ප්‍රශ්න වලට පිළිතුරු මට පේන තෙක්මානයකවත් තිබුනෙ නෑ. හිමාෂා මගේ අත තදින් අල්ලගත්තෙ මුකුත් වෙන්නෙ නෑ කියන හැගීමකින්.

ඔව්.. වෙන්න තියෙන නරකම දේ වෙලා ඉවර වුණාට පස්සේ තව වෙන මොනවා වෙන්නද...

හැමෝගෙම අවදානය තිබුනෙ තාරක ලග.

" කවුද බන් ඒ බලු වැඩේ කරලා තියෙන්නේ..... "

සහන් ඇහුවෙ පිළිකුලකින්.

සැවොම නොයිවසිල්ලෙන් වුන්නෙ තාරකගෙන් පිළිතුරු ලැබෙන තුරු.

ඔහු ඒ වැරදිකාරයා ගැන කතා කලෙත් තරහින්.

වැරදිකාරයෙක් ගැන මොන මනුස්සය ද ආදරෙන් කතා කරන්නෙ..

" වෙන කවුද බන්....

ෆැක්ට්රියේ මෑනේජර්කාරයා.....

පොරව දැනටමත් පොලිසියෙන් ඇරෙස්ට් කරලා ලූ..... "

තාරකගෙන් අපි බලාපොරොත්තු වුනාට වඩා වෙනස් පිළිතුරක් ලැබෙද්දි මමත් හිමාෂත් මූණට මූණ බලාගත්තා. මගෙත් හිමාෂගෙත් හැගීම පුදුමයක් වුනත් අනිත් හැමෝගෙම මුහුණු වල ඇදිලා තිබුනෙ කර්මාන්තශාලාවේ කළමනාකරු ගැන උපන් තරහවක්.

" ඔප්පු කරන්න සාක්ෂි තියෙනව ද.....

පොලිසියටයි බොස්ටයි වැරදුනා වෙන්න බැරි ද..... "

හිමාෂා ඇහුවෙ මගේ හිතෙ තිබුනු ප්‍රශ්නෙ. මම කරපු වරදකට වෙන කෙනෙක් දඬුවම් විදින්නෙ ඇයි කියන එකට උත්තර මට හොයාගන්න ඕන වුණා.

" සාක්ෂි තියෙනවා.....

පොර පොලිසිය ඉස්සරහම පිළිඅරගෙන හැමදේම කලෙ ඌ කියලා....

ඒ විතරක් නෙමේ... කලින් චෙයාර්මන් සර් ඉන්න කාලෙත් ඒ මිනිහා ඔය වගේ කේස් දෙක තුනකටම සම්බන්ධ වුණා ලූ.... "

තාරකට කතාව ඉවර කරන්න ලැබුනෙත් නෑ සහන් මැද්දෙන් පැන්නා.

" එහෙනම් ඒක තමයි....

හැම ප්‍රොජෙක්ට් එකකදිම වීපි ගෘප් එක අපිට වඩා ඉස්සරහින් වුන්නෙ.... "

සහන්ගෙ කතාවට සයුරිත් එකතු වුණා.

" අපේ කලින් චෙයාර්මන් සර් වීපි බොස්ට වැදගෙන නෙ උන්නෙ....

පේනව නේ හීන් නූලෙන් කරලා තියෙන දේවල්.... "

" ඒකට දැන්....

ආගත් බොස් නම් වීපි කාරයව සතේකට ගනන් ගත්තෙ නෑ....

මතක නෙ වීපි බොසා අතටම ගෙනත් දුන්න ප්‍රොජෙක්ට් එකත් අපේ බොස් කුණු කූඩෙට දාපු ලස්සන... "

දේවින්ද කතා කලෙ ආගත් සර් ගැන උජාරුවෙන්.

" ඇත්තටම ඇයි බන් අපේ බොස් ඒ ප්‍රොජෙක්ට් එක කලෙ නැත්තෙ.... "

සහන්ගෙ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ හිමාෂා.

" අපි ඒ ප්‍රොජෙක්ට් එක කලා නම්.... ඒ හරියෙ තියෙන කඩෝලාන පරිසරය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා....

ආගත් බොස්ගෙ ප්‍රතිපත්ති වලට ඒ ප්‍රොජෙක්ට් එක ගැලපෙන්නෙ නෑ....

ඒ නිසයි අපි ඒක කලෙ නැත්තෙ.... "

" මොනා උනත් බන්.. ඔය කේස් එකෙන් පස්සෙ තමයි වීපි බොසා අපෙන් පන්න පන්න පලි ගත්තෙ....

ඒ වගේම බන් අපි ඔය ප්‍රොජෙක්ට් එක නොකලත් වීපි බොස් වෙන කම්පැනි එකක් එක්ක එකතු වෙලා හරි ඕක කරයි... "

තාරකගෙ කතාව හැමෝම වගේ ස්තීර කලා.

" අනිවාර්යෙන්ම ඒ ප්‍රොජෙක්ට් එක වීපි බොස් කරයි...

මේ සිස්ටම් එකේ පොඩි  නෙමේ ලොකු අවුලක් තියෙනව කියලා ඒකෙන්ම පේනව නේ..... "

හිමාෂා කතා කලෙ එපා වුන ස්වරයකින්.

මුදල් මත්තෙම නැහෙන මිනිස්සුන්ට පරිසර තුලිතතාවය තවත් එක මාතෘකාවක් විතයි. හැබැයි ඒ වැඩි කාලෙකට නොවේ. ස්වභාධර්මය මිනිසාට එරෙහි වූ දිනක ඔවුන් තේරුම්ගනිවි සල්ලි මත්තෙ හැම දෙයක්ම මැනිය නොහැකි බව.

" දැන් නම් වීපි ගෘප් එකේ කට්ටියට ඇඩිලා ඇති....

සෙට් එක හිතන්න නැතුව ඇති නේ අපේ බොස් මේ වගේ ගේමක් ගහයි කියලා.... "

" මට ආරංචි වීපි බොසා රටිනුත් පැනලලු ලැජ්ජාවට.... "

" ඌට බිස්නස් ට්‍රිප් එකක් සෙට් වෙලා බන්.... අම්මෝ බන් උඹලත් කාට හරි පදයක් හදන්නමයි බලන් ඉන්නෙ... "

මගේ කාර්යාල මිතුරන් තවත් බොහෝ දේ කියවමින් වුන්නා. ඒත් මගේ කල්පනාව තිබුනෙ වෙනතක.

ඇයි ඒ මනුස්සයා වැරැද්ද පිළිගත්තේ.. ඒ වැරැද්ද කලෙ මම නේ... එයා නෙමේ..

මගේ හිතේ කැකැරුනු එකම ප්‍රශ්නෙ වුනේ ඒක. ඇත්තටම ඇයි... ඇයි මොකක්ද හේතුව. මොනතරම් හිතුවත් මට ඒ ප්‍රශ්නෙට පිළිතුරු ලැබුනෙ නෑ.

" බොස් එනව.... බොස් එනවා..... "

සුපුරුදු ආඩම්බරයෙන් ආගත් සර් අපේ කාර්යාලය පසු කරගෙන යද්දි මගේ කාර්යාල මිතුරන් ලොකු ලොකු රාජකාරීන් වල. අයිෂා මිස්ගෙ මුදුව අතට ගුලි කරගත්ත මම ඉක්මනින්ම දිවුවේ ආපනශාලාවට. ආපනශාලාවෙන් ආගත් සර්ගෙ උදෑසන කෝපි එක අරගත්ත මම සර්ගෙ කාර්යාලයට ඇතුලු වුනෙ අවසර අරගෙන.

මම ඔහුගෙ කාර්යාලයට ඇතුලු වන විටත් ඔහු උන්නෙ දුරකථන ඇමතුමක නියැලෙමින්.

" මොකක්ද....

නෑ නෑ... දැන්මම වීපි කම්පැනි එකට කේස් එකක් ෆයිල් කරන්න එපා...

මට තව හොයාගන්න වැදගත් තොරතුරු ටිකක් තියෙනවා....

ඒ තොරතුරු ලැබුනට පස්සෙ අපි තීරණය කරමු මොකක්ද කරන්නෙ කියලා...

ඒ වගේම මිස්ටර් සමරනායක අර මනුස්සයගෙ ප්‍රශ්නෙ විසදෙන්න දෙන්න... අපේ පැත්තෙන් කේස් එක තද කරන්න යන්න එපා.....

ඔකේ.... "

ආයතනයෙ නීතී අංශයෙ ප්‍රධානි මිස්ටර් සමරනායක සමගින් ඇමතුම අවසන් කල ආගත් සර් දුරකථනය පසෙකින් තැබුවා.

" ගුඩ් මෝනින් සර්... "

ආගත් සර්ට උදෑසන කෝපි එක පිළිගන්නවා අවසානයෙ සුපුරුදු ලෙස මා ඔහුට උදෑසන සුභ පැතුම් එක් කලෙ පෙරලා ඔහුගෙම් පිළිතුරු නොලැබෙන බව අත්දැකීමෙන්ම දැනගෙන.

" සිනුදි මේක සයින් කරලා යන්න... "

ලිපියක් ද ඔහුගෙ පෑනද මා වෙත දිගු කල ඔහු නැවතත් ලිපිගොනු අතර බැල්ම රදවා ගත්තා. අදාල ලිපිය මත අත්සන තැබූ මා අතේ ගුලි කරගෙන වුන්න මුද්ද දෙස බලාගෙන  කල්පනා කලෙ කතාව කොහෙන් පටන්ගන්නද කියලා.

ඊයේ සිද්දියත් එක්ක මුද්ද දැකලා ආගත් සර් ආයෙත් මගේ ඇඟට කඩන් පනිවිදෝයි මම බිය වුණා.

" කියන්න මොනා හරි තියෙනව ද.... "

මා තවමත් කාර්යාල කාමරයෙන් පිටතට නොගිය තැන ආගත් සර් ප්‍රශ්න කලෙ මගේ උවන මත ඇස් නතර කරගෙන.

" සර්.... මේ....

මං ලග... සර්ට අයිති දෙයක් තියෙනවා....

මං ඒක සර්ට දුන්නට කමක් නැද්ද.... "

මම ඇහුවෙ බිම බලාගෙන.

" මොන වගේ මෝඩ ප්‍රශ්නයක් ද ඔයා ඒ ඇහුවේ සිනුදි.... මට අයිති දෙයක් නම් ඔයා ඒක දෙන්න ඕනෙ මට... නැතුව වෙන කාටවත් නෙමේ....

වෙන කාටවත් දෙන්නත් එපා..... "

මම ගැස්මක් එක්ක ඔලුව උස්සලා බැලුවෙ ආගත් සර්ගෙ කතාවට. ඒ මූණෙ ඇදිලා තිබුනු දඟකාර හිනාව මම බලනවත් එක්කම ඔහු සගවගත්තා. ඒ හිනාව මගේ මනස තුළ ඇදෙන්න ගත වුනෙ තත්පර කිහිපයක් විතරයි. ඒත් ඒ දගකාර හිනාවෙන් මිදෙන්න නම් මට ඊට වඩා වෙලාවක් ගත වුණා.

ඉක්මනින්ම පියවි සිහියට ආව මම අතේ ගුලි කරගෙන වුන්න මුදුව ආගත් සර් පෙරලගෙන වුන්න ලිපිගොනුව මතින් තිබ්බෙ නිහඬවම. ඔහු මා දෙසත් මුදුව දෙසත් පුදුමයෙන් කිහිපවතාවක්ම බලනව මම බලාගෙන.

" සර්ට මතකද අපි මුණ ගැහුණු පළවෙනි දවස....

එදා අහම්බයෙන් මට මේ මුද්ද හම්බවුනා....

සමාවෙන්න මෙච්චර කාලයක් ඔය මුද්ද මගේ ලග තියාගෙන වුන්නට....

ඇත්තටම ඊයේ අයිෂා මිස්ව නොදැක්ක නම් අදවත් මට ඕක මතක් වෙන්නෙ නෑ ....

සොරි සර්.... "

ආගත් සර් මගේ දිහා බලාගෙන වුන්නෙ අමුතුම හැගීමකින්. කියන්න ගොඩක් දේවල් තිබුනත් කියාගන්න බැරි විදියෙ අසරණ හැගීමකින්.

කට කොනකට මවාගත්ත හිනාවකින් ආගත් සර් මුදුව අතට ගත්තා.

" ඇයි ඔයා ආයෙත් මට මේක දුන්නෙ... "

ආගත් සර් එහෙම ඇහුවෙ මුදුව අතින් කරකව කරකව.

" ඕක මට අයිති දෙයක් නෙමේ නෙ සර්...

මං කැමති නෑ වෙන කෙනෙක්ගෙ දෙයක් මගේ ලග මගේ වගේ තියාගන්න.... "

මම කිවුවේ බිම බලාගෙනමයි.

" ඒත්  ඔයා දැනටමත් එහෙම කරනවා.... "

" මොකක්ද.... "

මම ඇහුවෙ පුදුමයෙන්.

" මගේ පෑන... "

ආයෙත් වරක් ඒ දගකාර හිනාව ඔහුගෙ මුහුණ මත ඇදිලා මැකිලා ගියෙ ඉබේටම. ලිපිය අත්සන් කරන්න අතට ගත්ත පෑන තවමත් මගේ අතේ. හිත නොසන්සුන් වෙලා තිබුණු නිසා මට ඒ ගැන වගක් තිබුනෙ නෑ. ඉතිං මගේ මුහුණ රතු වෙන්න ලොකු වෙලාවක් ගත වුනෙ නෑ.

රතු වුන මූණ හංගගෙනම පෑන ආගත් සර්ගෙ  මේසය මතින් තියපු මම ඉක්මනින් ඔහුගෙ කාර්යාල කාමරයෙන් පිටතට දිව ආවා. මොකක්දෝ නොතේරෙන හැගීමකින් මුලු හිතම පිරිලා. මම දන්න එකම දේ. ඔහු පේන මානයෙ ඉන්න හැම මොහොතකම හිතට දැනෙන්නෙ ලොකු සැහැල්ලුවක්. මීට කලින් කවදාවත්ම විදලා නැති තරමෙ සැහැල්ලුවක්. මට හිතුනෙ මගේ හිත නොදන්න මංමාවත් දිගෙ සැහැල්ලුවෙන් පියඹනව හා හැගීමක්.

ඔහු අසලදි වායු සමීකරණයෙන් ගෙනෙන වියලි සුළග මගේ ගත දැවටුවෙ නැවුම් සිසිලසකින්.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

කාර්යාල වෙලාව අවසන් වෙලා තිබුණු නිසා කාර්යාලයේ තවමත් වුන්නෙ සීමිත පිරිසක් විතරයි. ආගත් සර් අද කලින් කාර්යාලයෙන් පිට වූ නිසා මගේ හිත පාලුවෙන් පිරිලා.

දෙවියනේ මට මොනවද මේ වෙලා තියෙන්නෙ.

මම මගෙන්ම ප්‍රශ්න කලෙ හිතට දැනෙන හැගීම් තේරුම්ගන්න බැරි තැන.

ආගත් සර්ගෙ සුවඳ රැදුනු කාර්යාල කාමරයට යන්න මම බොරු හේතුවක් හදාගත්තා. අවසන් කල ලිපිගොනු කිහිපයක් තුරුලු කරගත්ත මම ආගත් සර්ගෙ කාර්යාල කාමරයට ඇතුලු වුනෙ ඒ ලිපිගොනු අදාල ස්ථානයෙන් තියන අරමුණෙන්. ඒත් ආගත් සර්ගෙ ඒ දඟකාර හිනාව මගේ ඇස් ඉස්සරහ මැවෙද්දි මම ආගත් සර්ගෙ සීට් එක දිහා ඇහි පිය නොසොලාම බලාගෙන වුන්නා. මට දැනුනෙ ආගත් සර් තවත් එතනට වෙලා ඉන්නව වගේ හැගීමක්.

" සිනුදි මිස්..... "

මම හීන ලෝකෙන් ඇහැරුනෙ කාර්යාල සේවිකාවකගෙ හඬට. මම ඉක්මනින්ම පියවි සිහියට ඇවිත් ඇය දෙස බැලුවෙ ඇයි කියලා අහන බැල්මකින්. ඇය අඩියට දෙකට මට ලං වුණා.

" සිනුදි මිස් බලන්නකො මට හම්බවුන දේ....... "

සේවිකාවගෙ අතේ තිබුනෙ අයිෂා මිස්ගෙ මුදුව. එය දුටු පමණින්ම මම ආයෙත් පුදුම වුණා.

" ඔයාට කොහෙන්ද මේක.... "

" ලොකු සර්ගෙ ඩස්බින් එක අස් කරද්දි මේක හම්බවුනේ....

වටින එකක් වගේ නේද මිස්....

සර්ගෙ අතින් වැරදිලා වැටෙන්න ඇත්තේ....

මං මේ දුවගෙන ආවේ සර් යන්න කලින් මේක දෙන්න.... "

ආගත් සර්ට වැරදෙන්න ඇති කියලා සේවිකාව හිතුවත් මම එහෙම හිතුවෙ නෑ. නිසැකවම ආගත් සර් හිතාමතාම මේ මුදුව කුණු කූඩෙට දාන්න ඇති. ආගත් සර්ට ඒ තරමටම අයිෂා මිස්ව එපා වෙලා ද.

මට මතක් වුනෙ එදා අයිෂා මිස් මාවත් තල්ලු කරගෙන ගිහින් වෙන පිරිමියෙක්ට තුරුලු වුන සැටි. අයිෂා මිස්ව මේ තරම් එපා වෙන්න තරම් ආගත් සර් දැනගගත්ත ඇත්ත මට දැන් පැහැදිලි. ආගත් සර්ගෙ අවුරුදු හතරක ආදර කතාව ඒ විදියට අවසන් නොවි තියෙන්නයි තිබුනෙ.

" සිනුදි මිස්.....

මිස්ට පුලුවන් ද ලොකු සර්ට හෙට මේක දෙන්න....

අනේ මිස් මගේ ලග තිබිලා මෙච්චර වටින මුද්දක් කරුමෙට නැති වුනොත් එහෙම මම මොන දෙයියන්ට කියන්න ද.... "

සේවිකාව බලහත්කාරයෙන් ඒ මුදුව මගේ අත උඩින් තිබ්බා. ඇය ඒ වගකීමෙන් නිදහස් වෙලා කාකාර්යාල කාමරයෙන් පිටතට යද්දි මම බැලුවෙ මගේ අත උඩ තිබුණු මුදුව දෙස.

" ඔයා ඇයි මගේ ලගටම එන්නෙ......

ඔයා මට අයිති දෙයක් නෙමේ..... "

නැවතත් මුදුව ආගත් සර්ට දීමේ ප්‍රයෝජනයක් නොමැති බව තේරුම්ගත් මා මුදුව මා ලග සුරැකිව තියාගන්න තීරණය කලා. අයිෂා මිස්ගෙත් ආගත් සර්ගෙත් ප්‍රශ්න විසදි ඔවුන් නැවතත් එකතු වන දිනක් වන තුරු මුදුව මා ලග තියේවි.

ඒත් ආගත් සර් ආයෙත් අයිෂා මිස්ගෙ වෙනව කියන හැගීම මට දැනුනෙ මගේ හිතට කවුරු හරි උල් පිහි තුඩකින් අනිනව වගේ හැගීමක්.

" මම මොනවද මේ හිතන්නෙ. මට පිස්සු හැදීගෙනවත් එනව ද.... "

මම නළලත පිරිමදිමින්ම ආගත් සර්ගෙ කාමරයෙන් පිටතට අඩි තිබ්බා.

................................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට මගේ අකවුන්ට් එකේ ඇති සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු

Share This Chapter