Back
/ 43
Chapter 7

Chapter 07

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  හත්වන කොටස 🌙

................................................................

" ඔව්.. කොහොමත් එයා මාව මරන එකක් නෑ.....

මොකද මාව මැරුවොත් එයාට සෙල්ලම් කරන්න බෝනික්කෙක් නැතුව යනව නේ....... "

ජනේලයෙන් පිටත බලාගෙන මම කිවුවේ නොරිස්සුමෙන්.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

" ඒ මිනිහා ආයෙත් ඇවිත් නේද... "

හිමාෂා එහෙම ඇහුවෙ මගේ අත තදින් අල්ලගමින්. දෙදිනක පෞද්ගලික නිවාඩුත් සති අන්තයෙ නිවාඩු දින දෙකත් නිදහසේ ගත කර මා කාර්යාලයට පැමිණියෙ දින හතරකට පසුව. හිමාෂා මා කතාවට අල්ලගත්තෙ විවේකාගාරයෙදි. හදිසියේම මා අසනීප වීම පිටුපස වීපි සර් ඉන්න බවට ඇය දැනටමත් සැක කර අවසන්. ඉතිං තව දුරටත් ඇයගෙන් සත්‍ය සගවා තේරුමක් නොමැති තැන මා හිස සෙලවුයෙ ඔහු නැවතත් මගේ ජීවිතයට පැමිණ ඇති බව හැඟවීමට.

" මම හිතුවා....

සිනුදි උඹ ආයෙත් අත් දිග ඇදුම් අදින්න ගත්ත දවසෙම මට සැක හිතුනා ඒ මිනිහා ආයෙත් ඇවිල්ලා ඇති කියලා.... "

ඇය එසේ කියමින්ම මගේ අත් දිග බ්ලව්සයෙ අත වැලමිට තෙක් ඉස්සුවේ මම අසරණව මූණ බිමට හරව ගද්දි. අත පුරා තිබුණු  තැලුම් පාරවල් වල රටා හිමාෂාගෙ ඇස් වලට කදුළු අරන් ආවෙ ඉබේටම. මගේ ඇස් දිහා බලාගෙන ඇය බරැති හුස්මක් හෙලුවෙ වචන කතා කරගන්න බැරි තැන.

හිමාෂාගෙ ඇස් වලින් මම දැක්කෙ  අනුකම්පාවක්. මගේ අම්මට මම ගැන නොදැනෙන ඒ අනුකම්පාව වෙනත් කෙනෙක්ගෙ ඇස් වලින් දකිද්දි එක්තරා විදියකට මගේ හිත ආයෙත් පාරනවා.

" උඹ ඇයි මෙහෙම දුක් විදින්නෙ සිනුදි....

ඇයි උඹට බැරි ඔය අපායෙන් එළියට එන්න....

ඇයි උඹට බැරි උඹ වෙනුවෙන් සටන් කරන්න....

ඇයි සිනුදි... ඇයි ඔයා ඔය තරම් මෝඩ විදියට හැසිරෙන්නෙ.... "

හිමාෂා මට කෑගැහුවේ හොදටෝම තරහින්. ඒ රතු වුන මූණෙ ඇස් වල මා වෙනුවෙන් උපන් කදුළු නලියනව මම බලාගෙන. ඉතිං ඒ ආදරය නෙමේ ද..  ඒ කේන්තිය අස්සෙ මං දැක්කෙ සිනුදි  වෙනුවෙන් ඇති ආදරය නොවේද.

" මම උත්සහ කලේ නෑ කියල ද කියන්න යන්නෙ....

නෑ හිමාෂා... මම උත්සහ කලා....

එකපාරක් දෙපාරක් නෙමේ හත් පාරක්ම මම ඒ අපායෙන් පැනල ආවා....

ඒත් මම කලෙ කිසිම කමකට නැති තේරුමක් නැති දෙයක් කියලා තේරුම්ගන්න මට වැඩි වෙලාවක් ගියෙ නෑ....

ඔව් හිමාෂා මට වැඩි වෙලාවක් ගියෙ නෑ....

මොකද ඒ හැම වතාවකදිම මම පැනලා ආවටත් වඩා ඉක්මනින් වීපි සර් මාව හොයාගත්තා...

ඒ වගේ සිද්දියකින් පස්සෙ එයාට ආයෙත් අහුවෙනවට වඩා මැරෙන එක දාහකින් හොදයි....

ඊටත් වඩා මම අන්තිම පාර පැනල යන්න උත්සහ කරපු වෙලාවේදි තමයි අම්මා සුයිසයිඩ් කරගන්න හැදුවේ....

දන්නවද හිමාෂා එදා අම්මගෙ ජීවිතෙ බේරගත්තෙ අමාරුවෙන්....

මම නිසයි අම්මා මැරෙන්න ගියෙ...

ඒ දවස මතක් වෙද්දි ආයෙත් ඒ වගේ මෝඩ වැඩක් කරන්න හිතෙන්නෙ නෑ මට... "

මම කියපු හැමදෙයක්ම අහගෙන වුන්න හිමාෂා කතාව පටන්ගත්තෙ මම නවත්තපු තැනින්.

"  උඹ අම්මට ආදරෙයි.... ඒත් අම්මා ඔයාට ආදරෙ නෑ සිනුදි.... "

හිමාෂා මේ නොකියා කියන්නෙ මම අම්මා ගැන හිතන්න ඕනෙ නෑ කියල ද... අම්මට මොනව උනත් මම නිදහස හොයාගෙන යන්න ඕනෙ කියලද... නෑ... ඒ තරම් නපුරු වෙන්න මට කවදාවත් බැරි වෙයි...

" වෙන්න ඇති....

ඒ මොනව උනත් මම අම්මට ආදරෙයි...

අපි ඔය කතාව නවත්තමු හිමාෂා...

කොහොමත් මට දැන් සටන් කරලා දිනාගන්න තරම් දෙයක් නෑ...

බලාපොරොත්තු, හීන.. ඒ කිසිම දෙයක් මගේ ජීවිතෙ දැන් නෑ....

ඉතිං මම මොනව වෙනුවෙන් සටන් කරන්න ද....

වීපි සර්ට ඕනෙ කාලයක් වෙනකම් මම ජීවත් වෙනව...

ඒක තමයි මගේ දෛවය.... "

පිටි අත්ලෙන් කදුළු පිසලාගත් මා නැගිටලා යන්න හැදුවත් හිමාෂා මගේ අතින් අල්ලගත්තා.

" බලාපොරොත්තු ලැබුනොත්.... හීන ආයෙත්  ජීවිතේට ආවොත්... සිනුදි... උඹ සටන් කරනව ද.... "

හිමාෂා මේ කතා කරන්නෙ මොනව ගැනද කියලා නොතේරුනත් මට දැනුනා සතුටක්. ඔව් එහෙම දවසක් ආවොත් මම ආයෙත් සටන් කරයි.. ඒ වෙද්දි මට ශක්තිය ඉතුරු වෙලා තිබුනොත්.

" සමහරවිට.... "

මම දුන්න අවිනිශ්චිත පිළිතුරෙන් හිමාෂා සෑහීමකට පත් වුනෙ නෑ..

" ඔව් ද... නැද්ද...... "

හිමාෂා ඇහුවෙ ස්තීරවම.

" ඔව්... එහෙම දවසක් ආවොත් මම අනිවාර්යෙන්ම මගේ බලාපොරොත්තු , හීන වෙනුවෙන් ආයෙත් සටන් කරයි... "

හිමාෂාගෙ මූණෙ ලොකු හිනාවක් ඇදුනෙ සතුටින්. ඔව් මටත් ඕනෙ වුණා හිනා වෙන්න.. හැමදෙයක්ම අමතක කරලා මොහොතකට හිනා වෙන්න.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

කාර්යාලයට ආවත් හරි මම ආගත් සර්ගෙ කාර්යාල කාමරය පැත්තට නොයා ඉන්න වග බලාගත්තා. ඒත් කාර්යාල වෙලාව අවසන් වෙන්නත් ආසන්න වෙලා හදිසියේම ලැබුනු කැදවීමකට අනුව මම ආගත් සර්ගෙ කාර්යාල කාමරයට ඇතුලු වුනෙ ඒ තරම් කැමැත්තකින් නොවේ.

ලිපිගොනු කිහිපයක් අතර තනි වෙලා උන්න ඔහු ඔලුව උස්සලා බැලුවෙ මම මේසය ලගටම ඇවිත් හිටගත්තට පස්සෙ. මොකක්දෝ හේතුවකට සර්ගෙ මූණ දිහා කෙලින් බලන්න බැරි තැනට මගේ හිත ගැස්සෙනවා.

කරමින් උන්න කාර්ය පසෙක දමා නැගිටගත් ඔහු අතිරේක මේසය මත තිබු බෑගය ගෙනවිත් මට දුන්නෙ කිසිවක්ම නොපවසා. මම පුදුමයෙන් බෑග් එකට එබුනෙ ඔහු අත් දෙකත් බැදගෙන  සුපුරුදු රැවිල්ලෙන් මා දිහා බලාගෙන ඉන්න විට.

සිදුව ඇති දේ තේරුම්ගන්න මට අපහසු වුනේ නෑ. බෑගය තුළ තිබුනෙ එදා රාත්‍රියේ මා හැදගෙන සිටි ලෙහෙන්ගාව. නිසැකවම ඔහුට මෙය ලැබෙන්න ඇත්තෙ රෝහලෙන්.

" තැන්ක් යු සර්.... "

මම කතා කලෙ බෙහෙවින් ස්තූතියි පූර්වකව.

" තැන්ක් යූ සර් නෙමේ... ඕක හරියට චෙක් කරනව....

ඊළගට කියයි අර ජුවලරි එක අඩුයි මෙක අඩුයි කියලා.... "

මා බෑගය තුළ වූ සියලු ආභරණ පිටතට ගෙන පරීක්ෂා කලෙ මගේ අවශ්‍යතාවයට නොව ඔහුගෙ උවමනාවටය.

" සේරම හරි....

ආයෙත් පාරක් තැන්ක් යූ සර්.... "

එදින පැලදගෙන සිටි ආභරණ මොනවද කියලවත් මතක නැති මම පිටතට ගත් ආභරණ සියල්ල සෙවිල්ලකින් බැලිල්ලකින් තොරවම ආයෙත් බෑගය තුළට ඔබා ගත්තෙ ඉක්මනින් ආගත් සර්ගෙ කාර්යාලයෙන් පිට වීමෙ උවමනාවට.

" කිසිම වගකීමක් නැති කෙල්ලෙක්... " මට නොඇසෙන්නට රහසෙන් මිමිණුවත් ආගත් සර්ගෙ වචන පැහැදිලිවම මගේ සවන් අතර නතර වුණා.

" සර් මොනා හරි කිවුව ද... "

" මම... ?

නෑ... නෑ.... මම මුකුත් කිවුවෙ නෑ.... "

ආඩම්බරකාර නපුරා පළවෙනි වතාවට මගේ හඬට ගැස්සුනා. ඉතිං  අමුතු සතුටක් නොදැනුනා කිවුවොත් බොරු. යටි තොල සපාගෙන මම පිටතට පනින්න දැගලු සිනහව තද කරගත්තේ ඉක්මනින්.

" සර්...

එදා මාව බේරගත්තට ස්තූතියි.... "

අත් දෙකත් බැදගෙන ඔහු හිස සැලුවෙ මා කියු දේ වැඩි ගනනකට නොගෙන. ආයෙත් ස්තූති කරලා යන්න හැරුනත් මම නතර වුනෙ ආගත් සර්ගෙ හඬින්.

" සිනුදි....! "

" සර්... ? "

මම ඇහුවෙ කලබලයෙන්.

" ඊළග දවසෙ පූල් එක ලග සෙල්ලම් කරන්න යන්න එපා....

තේරුනා නේ.... "

ආගත් සර්ගෙ හඩේ තිබුනෙ පොඩි එකෙක්ට උපදෙස් දෙන ස්වරයක්.

" තේරුනා සර්...  "

මං ගැන ඒ විදියට කරදර වෙද්දි ආගත් සර් ගැන මට දැනුනෙ ආයතනික ප්‍රධානියාට වැඩි දෙයක්. ඔව් මට ඔහුව ඊට  වඩා හදවතට ලග කෙනෙක් ලෙස දැනුනා.

මම කාර්යාල කාමරයෙන් එළියට එන්න මොහොතකට කලින් ආයෙත් පාරක් හැරිලා සර් දිහා බැලුවෙ මොන හේතුවකට ද මන්දා. ඒත් දැකපු දෙයින් මම සත්තකින්ම  පුදුම වුණා. අත් දෙකත් බැදගෙන මේසයට හේත්තු වෙලා ආගත් සර් මම යන දිහා බලාගෙන වුන්නෙ දගකාර හිනාවකින් මූණ පුරෝගෙන. ඒත් ඉතිං ඒ දගකාර හිනාව මැකිලා ගිහින් තත්පරෙට සුපුරුදු සීතල රැවිල්ල මගේ උවන මත නතර වුනෙ මම ආයෙත් හැරිලා බලනවත් එක්කම.

ආගත් සර් අමුතු බව දුටු මුල් දිනයෙ පටන්ම දැනගෙන වුන්නත් දැන් දැන් ඉදහිට දැනෙන මේ අමුතු හැගීම් මගේ හිත හිරිවට්ටන බව නම් සත්තමයි.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

දින ගනනකින් වීපි සර් මා හමුවිමට නොපැමිණි අතර අම්මා නම් ඒ ගැන උන්නෙ නොරික්සුමෙන්. මගේ අකීකරු ක්‍රියාකලාපය  නිසා වීපි සර්ට මං ගැන ඇති ඇල්ම අඩු වේවි යැයි ඇය පසු වුනෙ බියෙන්. ඉතිං මා දකින දකින තැන හිත රිදෙන වචනයක් කියලා මට දොස් තියන්නත් ඇය අමතක කලෙ නෑ.

මෑත කාලිනව වීපි සර්ගෙ ව්‍යාපාරයෙ විසදාගත නොහැකි තරම් ගැටලු මතු වී ඇති බව මම දැනගෙන උන්න කරුණක්. ඉතිං ඔහු නිසැකවම මේ දිනවල ව්‍යාපාරික කටයුතු හා කාර්යබහුල වී ඇති.

ඒ මොනව උනත් වීපි සර්ගෙ නොපැමිනිම නිසා මා දවස ගෙව්වෙ සැහැල්ලුවෙන්.

කාලෙකට පස්සේ හිතට දැනුන පහසුව නිසාම හිරු අවරට ගිය සැන්දෑවක මා පොතක් අතට ගත්තෙ ආසාවෙන්. සෝෆාවට බර වෙලා සැහැල්ලුවෙන් කියවන්න ලැබුනෙ පිටු කිහිපයක් පමණයි. මගේ දුරකථනය නොසිතු මොහොතක නාද වුනෙ වීපි සර්ගෙ අංකයෙන්. වෙනදාට දුරකථන නාදයෙන් පවා වෙව්ලන පටන්ගන්න මම අද හැගීමකින් තොරව දුරකථනය දෙස බලන් වුන්නෙ ඇමතුමට සම්බන්ධ නොවි.

මගේ හිත වෙනදට වඩා හිතුවක්කාර වෙලා.  අම්මා කියන කතාව හරි.. ටික දවසක ඉදන් මමත් මගේ වෙනසක් දකිනවා. වීපි සර්ට බය වෙලා උන්න සිනුදි ටික ටික වෙනස් වෙනව.. ඒත් ඒකට හේතුවක් මට තේරුනෙ නෑ..

දෙවෙනි වතාවටත් දුරකථනය නාද වෙද්දි කොහෙදෝ ඉදන් ආව අම්මා දුරකථන තිරයට එබුනා.

" සිනුදි මොන ලෝකෙද ඉන්නෙ...

පේන්නෙ නැද්ද වීපි සර් කෝල් කරනවා...

ඉක්මනට ආන්ස්වර් කරන්න... "

වෙනදාට නම් වීපි සර්ගෙ අංකයෙන් ලැබෙන ඇමතුම් පළවෙනි තත්පරය තුළ ලබා ගන්න මම අද දෙවෙනි ඇමතුමත් විසන්ධි වන තුරුම බලාගෙන වුන්නා. මට දැනුනෙ සතුටක්. ඒක මොන වගේ සතුටක් ද කියලා නොතෙරුනත් මම කට කොනින් හිනා වුනෙ දුරකථනයට.

තුන් වෙනි වතාවට දුරකථනය නාද වෙද්දි මගෙන් දුරකථනය උදුරගත්ත අම්මා ඇමතුම ලබා ගෙන මගේ අත උඩින් තිබ්බෙ තර්ජනාත්මක බැල්මකින්.  හුස්මක් අරගෙන මා දුරකථනය සවනත රදවාගත්තෙ අම්මාට රවමින්මයි.

" බේබි ඩෝල්.... තමුසෙට මැරෙන්න ඕනෙ වෙලාද මගේ කෝල් ආන්ස්වර් නොකරන්නෙ.... "

බලාපොරොත්තු උන විදියටම වීපි සර් යක්ෂාරූඩයෙන් කඩාගෙන පැන්නා.

" මෙ වෙලාවෙ නෑවා නම් හරියට කොන්ඩෙ පිහාගන්න  සිනුදි අසනීප වෙන්නෙ නැතුව..... "

අම්මා මගේ කන ලග ඉදන් කෑගැහුවෙ වීපි සර්ට ඇහෙන්න. මම නිදහසට බොරු කරුණු නොකියාවි යැයි ඇය බියවන්නට ඇති.

" ආහ්.... බේබි ඩෝල් නෑව ද....

කලින් කියන්න තිබුනනෙ බේබි ඩෝල්....

ඔයා මාව බොරුවට තරහගස්සනවා.... "

අම්මගෙ මූණට හිනාවක් ආවේ වීපි සර් එහෙම කිවුවට පස්සෙ.

" මට හිතුනා ඔයාට තෑග්ගක් දෙන්න ඕනෙ කියලා බේබි ඩෝල්...

නිව්ස් බලන්න...

ඔයා ඒ තෑග්ගට ගොඩක් කැමති වෙයි... "

වීපි සර් ඇමතුමෙ ඉද්දිම මම රූපවාහිනීය ක්‍රියාත්මක කලේ සැකයෙන්. ඒ වන විට විකාශනය වෙමින් තිබුණු පුවත මගේ මුලු ඇඟම සීතල කලෙ ඉබේටම.

" එම හදිසි අනතුරෙන් ජීවිතක්ෂයට පත් වී ඇත්තෙ ප්‍රසිද්ධ ව්‍යාපාරික මහේල සිරිවර්ධන මහතා වන අතර ඒ මහතාගේ  බිරිද තවමත් දැඩි සත්කාර ඒකකයෙ ප්‍රතිකාර ලබයි.... "

මට හීල්ලුනෙ ඉබේටම. මහේල සිරිවර්ධන.. ! ඔව් මට මතකයි එදා රෑ මට කරදර කරන්න උත්සහ කලෙ ඔහුයි.

" බේබි ඩෝල් ඔයා ඒ ප්‍රසන්ට් එකට කැමති ද.... "

මට මතක් වුනෙ එදා වීපි සර් ඔහුට අතට අත දිලා පරිස්සමෙන් ඉන්න කියපු වචන.

" පරිස්සමෙන් ඉන්න මිස්ටර් මහේල...

මේ දවස් වල අපි හිතන්නෙ නැති දේවල් ගොඩක් සිද්ද වෙනවා... "

දෙවියනේ ඒ කියන්නෙ එදා රෑම ඒ මොහොතෙදිම මිස්ටර් මහේලව මරන්න වීපි සර් තීරණය කරලා ඉවරයි.. ඇයි මට ඒක නොතේරුනෙ.. මම හිතුවෙ ප්‍රශ්නෙ විසදුනා කියලා.. මම හිතාගෙන උන්නෙ මම නිසා මැරෙන්න ගිය මනුස්සයව මම බේරගත්තා කියලා.. ඒත් එහෙම වෙලා නෑ...

මම නිසා කෙනෙක්ගෙ මරණය ලියවිලා කියලා තේරුම්ගද්දි මට මං ගැනම දැනුනෙ පව්කාර හැගීමක්.

මම ඇඩුවා... ඒ මිස්ටර් මහේල වෙනුවෙන්වත් ඔහුගෙ බිරිද වෙනුවෙන්වත්  නෙමේ... මම වෙනුවෙන්,.. මගේ පව්කාරකම වෙනුවෙන්.

මම වගේ පව්කාරියක් නොසිටින්න මිස්ටර් මහේල තවමත් ජීවත් වෙනවා. මට හිතුනෙ එහෙම.

දුරකථනයෙන් ඇහෙන්නෙ වීපි සර්ගෙ අකාරුණික වියරු හිනාව...

" වීපිගෙ දේකට අත තියපු කාවවත් මම නිකම් අතාරින්නෙ නෑ බේබි ඩෝල්....

හොදට මතක තියාගන්නවා බේබි ඩෝල්.......

මම කාවවත් අතාරින්නෙ නෑ... එකෙක්වවත්.....

තමුසෙ මගේ විතරයි.... මගේම විතරයි... "

ඇමතුම විසන්ධි වෙලත් විනාඩි ගානක් යන තුරුම මගේ දෙසවන් අතර රැව්දුන්නෙ ඒ හඬ.

................................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

✒️ ශාන්‍යා ප්‍රනාන්දු ✒️

Share This Chapter