Back
/ 43
Chapter 8

Chapter 08

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  අටවන කොටස 🌙

................................................................

" වීපිගෙ දේකට අත තියපු කාවවත් මම නිකම් අතාරින්නෙ නෑ බේබි ඩෝල්....

හොදට මතක තියාගන්නවා බේබි ඩෝල්.......

මම කාවවත් අතාරින්නෙ නෑ... එකෙක්වවත්.....

තමුසෙ මගේ විතරයි.... මගේම විතරයි... "

ඇමතුම විසන්ධි වෙලත් විනාඩි ගානක් යන තුරුම මගේ දෙසවන් අතර රැව්දුන්නෙ ඒ හඬ.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

දින කිහිපයක් ගත වන තුරුම මිස්ටර් මහේලගෙ මරණය මගේ හිතට වද දුන්නා. ඒ පීඩනය මඟහරින්න ඕනෙ නිසාම කාර්යාලයේ මට නොපැවරුනු රාජකාරි පවා ස්වකැමැත්තෙන්ම ඉටු කරන්න මම පෙළඹිලා උන්නා. අධික ලෙස කාර්යබහුල වීම හිතට වද දෙන කාරනා ලේසියෙන්ම අමතක කරන්න පුලුවන් ක්‍රමයක් ලෙසයි මා හදුනගෙන තිබුනෙ. ඉතිං හැකි සෑම මොහොතකම කාර්යබහුල වෙන්න මම දෙවරක් හිතුවෙ නෑ.

" සිනුදි... මං පොඩි ප්‍රශ්නයක් අහන්නද තරහ වෙන්නෙ නැත්නම්... "

ආගත් සර් විසින් අවසන් කර දෙන්න යැයි මා හට පැවරු කන්දක් උස ලිපිගොනු අතර පැටලිලා උන්න මම ඔලුව උස්සලා බැලුවෙ සයුරිගෙ හඬට. ඇයගෙ මේසයට හේත්තු වෙලා සයුරි මම දිහා බලාගෙන උන්නෙ ඒ තරම් හිත හොදකින් නම් නොවන බව ඒ බැල්මෙන්ම මා තේරුම්ගත්තා.

" අහන්න අනේ... "

මම කිවුවේ ලියමින් උන්න පෑන පවා පසෙකට කරමින්.

අපේ කතාවට කාර්යාලයේ මිතුරන් සියල්ලෝම පාහෙ අවදානය දුන් බව මම තේරුම්ගත්තෙ හැමෝගෙම ඇස් අපි ලග නතර වුනාට පස්සෙ.

" ඔයාගෙ ජොබ් එක මොකක්ද සිනුදි... "

සයුරි කතා කලෙ හිත යට මොනවද හංගගෙන.

" ඇයි ඒ වගේ ප්‍රශ්නයක් අහන්නෙ.... "

මම ඇහුවෙ පුදුමයෙන්. සයුරිගෙ ප්‍රශ්නයෙ සැගවිලා තිබුණු කතාව මට පැහැදිලි උනෙ නෑ.

" මොකද ලගකදි ඉදන් ඔයාට ඔයාගෙ ජොබ් එක අමතක වෙලා සිනුදි....

ඔයා මෙතන අකවුන්ට් ඇසිස්ටන් මිසක් අපේ බොස්ගෙ පර්සනල් සෙකට්‍රි නෙමේ නේ.... "

ඒ කතාවට නම්  කෙලින්ම මගේ ඇස් නතර වුනෙ මේසය මත තිබුණු ලිපිගොනු මත. ඇත්තටම ඒ ලිපිගොනු සම්පූර්ණ කිරීම මගේ රැකියාවට අදාල දෙයක් නොවේ.

" ඔයාට ඕනෙ වෙලා තියෙන්නෙ බොස්ගෙ හිත දිනාගන්න නේද....

ඊට පස්සේ අපි ගැන බොස්ට කේලම් එහෙමත් කියන්න පුලුවන් නේ.... "

එකපාරටම සයුරි කිවුවේ මගේ තුන් හිතකවත් නොතිබුණු දෙයක්. මගේම කාර්යාල මිතුරන්ට විරුද්ධව කේලම් කියන්න තරම් පහත් තත්වයකට වැටෙන්න මට ඕන වුනෙ නෑ.

" හොදටම ඇති සයුරි.... ඔය කතාව හොදටම ඇති.... "

සයුරිට පිළිතුරු දෙන්න මා හිතන අතරෙ ඉස්සර වුනෙ හිමාෂා.

" සයුරි ඔයාට අමතක ද බොස්ට තාම පර්සනල් සෙකට්‍රි කෙනෙක් නෑ....

HR එකෙන් අලුත් කෙනෙක්ව හයර් කරනකම් අපේ බොස්ට සපෝට් කරන්න ඕනෙ අපි...

ඒ ගැන කම්පැනි එකේ වෙන එක ඩිපාට්මන්‍ට් එකකටවත් නැති වගකීමක් අපිට තියෙනවා....

මොකද අපි බොස්ගෙ ටීම් එක...

අපේ බොස් ෆේල් වෙනව කියන්නෙ ඒක අපේ ටීම් එකෙ වැරැද්ද...

ඔයාට තේරුනාද සයුරි.....

අපිට අනිත් ඩිපාට්මන්‍ට් වල අයට වගේ අදාල දේ විතරක් කරලා උඩ බලන් ඉන්න බෑ... "

හිමාෂාගෙ පැහැදිලි කිරීමට සයුරිගෙ කට වැහෙද්දි අනිත්  කාර්යාල මිතුරන් උන්නෙත් හිමාෂාගෙ පැත්තෙ. මම හිමාෂා දිහා බැලුවෙ ස්තූතියි කියන්න හැගීමෙන්. ඒ අතරෙ අපේ කතාවට සහන් ද එකතු වුණා.

" ඒක ඇත්ත....

අනික අපි හැමෝම සිනුදි ගැන  දන්නව නේ.... එයා කවදාවත් ඔය වගේ දෙයක් නම් කරන්නෙ නෑ.... "

මං දිහත් බලලා සහන් එහෙම කියද්දි මම ස්තූතියිපූර්වක හිනාවක් ඔහු වෙත පා කර හැරියා. ඔහු එය පිළිගත්තෙ කාටත් නොපෙනෙන්න මට ඇහැක් ඉගි කරමින්.

" දැන් ඔය කතාව ඇති අහ්....

මෙ සිනුදි.., බොස්ගෙ ෆයිල් ටිකක් අපේ සයුරිටත් දෙන්න එතකොට ප්‍රශ්නෙ ඉවරයි නේ..... එයත් ආස ඇති නෙ බොස්ගෙ ෆයිල් කම්ප්ලීට් කරන්න.....  "

තාරකගෙ කතාවට අනිත් හැමෝම වගේ හිනාව තද කරගද්දි සයුරිගෙ මූණ තරහින් තවත් රතු වුණා.

" අනේ.... මට ඔය කාගෙවත් කුණු අදින්න උවමනාවක් නෑ.... "

සයුරි එහෙම කියලා ගස්සගෙනම එළියට යන්න හැරෙද්දිම ආගත් සර් අපේ කාර්යාල කාමරය ඉස්සරහ හිටගෙන වුන්නෙ කලිසම් සාක්කුවලට අතත් ඔබාගෙන. ආගත් සර් කොයි වෙලාවෙද එතනට ආවෙ කියන එක ගැන අපි කාටවත් ඉනව්වක් තිබුනෙ නෑ. ඒ නිසාම ඇස් ලොකු කරගෙන අපි මූණට මූණ බලාගත්තෙ පුදුමයෙන්.

" ගු.... ගුඩ් මෝනින් සර්...... "

අපි හැමෝගෙම නිහඬබව බිදිමින් කතා කලෙ දේවින්ද. ඔහු තනිවම උදෑසන සුභ පැතුම් එක්කරද්දි සර් අපි දිහා බැලුවෙ ගොලු වෙලාද කියන සැක සහිත බැල්මෙන්.

" ගුඩ් මෝනින් සර්....!! "

ඊළගට අපි හැමෝම ආයෙත් එකවර උදෑසන සුභ පැතුම් එක්කලෙ සර්ට කිසිවක් ඇහිල නොතිබෙන්න කියන ප්‍රාර්ථනයත් එක්ක.

සෑම දිනකම අපි සර්ට උදෑසන සුභ පැතුම් එක්කලත් කිසිම දිනක ආගත් සර්ගෙන් නම් පෙරලා එයට සුභ පැතුම් එක් වුනෙ නෑ. සරලවම කිවුවොත් ගුඩ් මෝනින් කියන පුරුද්දක් සර්ට තිබුනෙ නෑ.

" තාරක...

ඊයේ සේල්ස් මීටින් එකෙ සමරි එක අරන් මගේ කැබින් එකට එන්න.... "

" ඕකේ බොස්.... "

සුපුරුදු ආඩම්බරයෙන්ම කාර්යාල කාමරයට ගොස් ආගත් සර් දොර වහගත්තට පස්සෙයි අපි හුස්මක් ගත්තෙ.

" අනූ නමයෙන් බේරුනේ.... "

තාරක ලිපිගොනු කිහිපයක්ද අතට අ‍රගෙන සර්ගෙ කැබින් එකට දිවුවේ එහෙම කියාගෙනම. තවමත් තුෂ්නිම්භූත වෙලා උන්න සයුරි නලලත පිරිමදිමින්ම විවේක කාමරයට වැදුනෙ අපි හැමෝම ආයෙත් කරමින් සිටි කාර්යයන් වලට අවදානය දෙද්දි.

" සයුරි කියන කතාවත් ඇත්ත.... "

මොනවදෝ ලියමින් උන්න හිමාෂා නොසිතු මොහොතක කතාව පටන්ගත්තෙ මට විතරයි ඇහෙන ගානට.

" ඒ කිවුවේ.... "

" නෑ ඉතිං.... අපිට තමයි ෆොටෝ කොපි එකක්වත් ගහලා දෙන්න බැරි...ඒකට බොස්ගෙ ෆයිල් පිටින් උස්සන් ඇවිත් කම්ප්ලීට් කරන්නෙ.... "

හිමාෂා කතා කලෙ හිනා වෙවි. ඒ ස්වර ඇතුලෙ තිබුනෙ දඟකාර නෝක්කාඩුවක්. මම හිමාෂාගෙ අතින් අල්ලගත්තෙ මදහස් හිනාවකින් මූණ සරසගෙන.

" රහසක් කියන්න ද.... "

" මොකක් ද.... "

හිමාෂා ඇහුවෙ උනන්දුවෙන්.

" මම මේ දේවල් කරන්නෙ ජොබ් එක නිසාම නෙමේ....

ඇත්තටම බොස්ට මම ණයයි..... "

" මෙ සති දෙක තුනට උඹ බොස්ගෙන් ලෝන් එකකුත් ගත්ත ද.... "

හිමාෂා කලෙ විහිලුවක් බව දැන දැනම මම මූණ බොරුවට නරක් කරගත්තා.

" එහෙම නෙමේ අනේ....

එකපාරක් බොස් මගේ ජීවිතෙ බේරගත්තා....

ඒ නිසා මම බොස්ට ජීවිතයක් ණයයි.... "

" මොකක්ද ඒ කතාව

මට තේරුනෙ නෑ..... "

ඉතිං හිමාෂා ඉදිරියෙ එදා රෑ සිද්ද වුන සියල්ල හෙලි කරන්න මම තීරණය කලා. වීපි සර්ගෙ උවමනාවට උත්සවයෙ නාට්‍යංගනාව වූ සැටි වගේම මහේල සිරිවර්ධනගෙ ක්‍රියාකලාපයත් විස්තර කරන විට හිමාෂාගෙ ඇස් වලත් කදුළු පිරිලා තිබුණා. වීපි සර් මාව තටාකයට තල්ලු කල විදියත් ආගත් සර් මාව බේරගත්ත විදියත් මම එකින් එකට විස්තර කලා. අදුරු වෙලා තිබුණ හිමාෂාගෙ මූණට හිනාවක් ආවේ ආගත් සර් මාව බේරගත්ත සිද්දියෙදි. ඒ සිද්දිය විස්තර කරමින් මා හැඩිය යුතු වුනත් ඒ මොහොතෙ  මගේ හිත කෝලකමින් පිරිලා තිබුනෙ මොකක්දෝ හේතුවකට. සුදු පාට කම්මුල් රෝස පාටට හැරෙන්න වැඩි වෙලාවක් ගත වුනෙත් නෑ.

" එතකොට සිනුදි.... අපේ බොස් වීපි සර්ව දැක්ක ද.... "

මගේ රෝස පාට කම්මුල් මැලවිලා ගියෙ වීපි සර්ගෙ නම ඇහුනු පමාවෙන්. සැනසුම් සුසුමකට පසු මම කතා කලා.

" නෑ.... වීපි සර්ව එයා දැකල නෑ.....

ආගත් සර් එද්දිම වගේ එයා පැනල යන්න ඇති... මොකද වීපි සර් එතන වුන්නා නම් හැමෝම එයාව ඒ වෙලාවෙ සැක කරනවා.....

හැබැයි මම පූල් එකට වැටුනා නෙමේ... කවුරු හරි මාව තල්ලු කලා කියලා ආගත් සර් සැක කරනවා.... එයා කියපු දේවල් එක්ක මට එහෙම හිතුනා.... "

මගේ කතාව අහගෙන වුන්න හිමාෂා කතා කලෙ ටික වෙලාවක් මගේ ඇස් දිහාම බලන් ඉදලා... ඇය බොරු හිනාවක් මූණට ආරූඪ කරගන්නව මම බලාගෙන.

" අපරාදෙ.... අපේ බොස් අර මිනිහව දකින්න තිබුනෙ...

එහෙම වුනා නම් හින්දි ෆිල්ම් එකක වගේ ෆයිට් එකක් බලාගන්න තිබුනා.... "

මගේ මූණට හිනාවක් ආවේ හිමාෂා රඟපාමින්ම එහෙම කියද්දි. මගේ හිනාව දිහා බලාගෙන ඇයත් සතුටු වුණා. හිමාෂා ඒ වගේ දෙයක් කිවුවේ මාව හිතාමතාම මාව හිනස්සන කියන දේ මට පැහැදිලි වුනෙ ඇයගෙ ඒ ලෙන්ගතු බැල්මෙන්.

" ඒ දෙන්නා ෆයිට් කරලා ඉවර වෙනකම් එතකොට මම පණ ඇද ඇද ඉන්න ඕනේ ද...... එහෙනම් දැනටමත් මම මැරිලා... "

" අහ්... උඹට තමයි බැරි....

ඇයි ඔය නිලියො ඕන තරම් වෙලා ඉන්නෙ... කෝ ඌන් මැරෙනව ද... නෑ නේ.... "

අපි දෙන්නගෙ හිනා සද්දෙට අනිත් කාර්යාල මිතුරන් අපි දිහා බැලුවෙ පුදුමයෙන්.  ඒ ක්ෂනයෙන් මම ලිපිගොනුවකින් මූණ වසාගත්තෙ සිනහව පාලනය කරගත නොහැකිම තැන.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

ඇද විට්ටමට හේත්තු වෙලා වුන්න සිම්මි සැරින් සැරෙට දුරකථනය අතට ගෙන බැලුවෙ උනන්දුවෙන්. ඒත් ඇය බලාපොරොත්තු වූ ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් නොමැති තැන දුරකථනය ඇද උඩට විසි කරන්නෙ හුස්මක් පහත දමමින්.

සිම්මිත් මමත් ලේ බැදිමෙන් සහෝදරියන් නොවුනත් අපි හිත් වලින් සහෝදරියන් සේ බැඳි අවසන්. ඉතිං ඇයගෙ පුංචි පුංචි වෙනස්කම් වුනත් තේරුම්ගන්න මට අපහසු වුනේ නෑ. දින කිහිපයක සිටම සිම්මි උන්නෙ  කුමක් හෝ  හිතට වද දෙන ගැටුමක.

විනාඩි විස්සක් ඇතුලත දහ වෙනි වතාවටත් දුරකථනය අතට ගත්ත ඇය එය පසෙකට තල්ලු කලෙ බලාපොරොත්තු බිදගෙන.

" සිම්මි...??? "

මම ඇයට ලං උනෙ කියවමින් උන්න පොත ද පසෙකට කර.

" මොකද වුනේ සිම්මි.....

ඔයා මොකක් හරි ප්‍රශ්නෙක ඉන්නෙ... මට ඒක තේරෙනවා.... "

මම ඇහුවෙ සිම්මිගෙ මූණ දෝතට ගෙන. ඒ ඇස් වල කදුළු නලියන බව පැහැදිලිවම මම  දැක්කෙ ඒ මොහොතෙදි.

" එයා මාව මඟහරිනව සීනු.... "

ජනේලයෙන් පිටත බලාගෙන ඇය වචන එකතු කරගත්තේ හැඩුම් ස්වරයෙන්.

" කවුද සිම්මි.... "

මම ඇහුවෙ  පුදුමයෙන්. සිම්මි මේ තරම්ම දුක් වෙන්න තරම් මා හැරුනාම ඇයට සමීප කෙනෙක්  මගේ මතකයෙ වුන්නෙ නෑ. ඉතිං ඒ තරම්ම ඇයගෙ ජීවිතයට ලං වූ කෙනෙක් ගැන මතකය මට නෑ කියන්නෙ කොතනකදි හෝ මට ඇය මඟහැරිලා.

ඒ නිසාම ගෙවුන දින කිහිපයෙ දි මට සිම්මිව මඟහැරුනාදෝ කියන බියත් මගේ  හිතට වද දුන්නා.

" එයා සීනු..... එයා.....

එයා මාව මඟහරිනව.....

මගේ කෝල්ස් ආන්ස්වර් කරන්නෙත් නෑ....

මැසෙජ් වලට රිප්ලයි කරන්නෙත් නෑ....

ආයෙ මාව එක්කගෙන යන්න ආවෙත් නෑ...... "

සිම්මිගෙ වචන මට මතක් කලෙ ඔහුව. දිනක් ඇයව මිලදිගත් ඔහුව.  සිම්මි කතා කරන්නෙ ඔහු ගැන නම් මට ඇය ගැන පවා ඇති වුනෙ තරහක්.

" සිම්මි ඔයා ඔය කියන්නෙ අර මනුස්සය ගැන ද....

ඔයා කොහොමද ඔච්චර මෝඩ වුනේ සිම්මි..... "

" එයා වීපි සර් වගේ නෙමේ සීනු... එයා වෙනස්...

ඇත්තටම එයා හොද කෙනෙක්.... "

" මෝඩ වෙන්න එපා සිම්මි... ඔයා ඇත්ත දන්නවා... බොරුවට හිත රවට්ටගන්න එපා...

ඒ වගේ මිනිස්සු අපි වගේ කෙල්ලොන්ව හොයාගෙන එන්නෙ එයාලගෙ ජීවිතෙ හිස්තැනක් පිරවෙනකම් විතරයි....

ඔයාගෙ ඔය සර්ගෙ ජීවිතෙ හිස්තැන  එයාගෙ තත්වෙට ගැලපෙන කෙනෙක් පුරවල ඇති....

ඒකයි එයාට දැන් ඔයාව ඕන නැත්තෙ...

සිම්මි අමතක කරන්න එපා.... අපි ඒ මිනිස්සු ලග සෙල්ලම් බඩු විතරයි....

බොරුවට බලාපොරොත්තු තියාගෙන විදවන්න එපා ළයෝ..... "

මගේ කතාව අතරමැදදි හඬන්න පටන්ගත්ත ඇය මට තුරුලු වුනෙ ඉකිබිදිමින්මයි.

" එතකොට වීපි සර්....

ඇයි එයා ඔයාව අතාරින්නෙ නැත්තෙ.... "

සිම්මිගෙ තුරුලෙන් ඈත් වුන මං නැගිටගත්තෙ තරහින්.

" ඒ මිනිහ පිස්සෙක්....

ඔයාට ඒක තේරෙන්නෙ නැද්ද සිම්මි....

ඒ මිනිහ මානසික ලෙඩෙක්....

එහෙම නැත්නම් කෙනෙක්ව රිද්දලා , බය කරලා සතුටු වෙන්න පුලුවන් කාට ද...."

මට කතාව ඉවර කරන්න ලැබුනෙත් නෑ කාමරයට එබුනෙ අම්මා.

" ඔයාලා මෙච්චර රෑ වෙනකම් මොනාද කරන්නෙ නිදාගන්නෙ නැතුව.... "

අම්මට පිළිතුරු නොදිම මම ගිහින් ආයෙත් මේසෙන් වාඩි වුනෙ පොතේ ඉතිරිය කියවන්න. සිම්මි ඔලුවෙ ඉදන්ම පොරෝනයෙන් වහගෙන නිදාගන්න ලෑස්ති වෙද්දි මගේ ලගට ආව අම්මා අනවසරයෙන්ම මම කියවමින් සිටි පොත ඇදල ගත්තා.

" අම්මා මොකක්ද ඒ කලෙ..... "

මම කතා කලෙ නොරික්සුම් හඬින්.

" ගිහින් නිදාගන්න සිනුදි.... රෑට පොත් කියවන්න හොද නෑ.... "

" ඔයා කවදා ඉදන්ද අපි ගැන හිතන්නගත්තේ අම්මේ.... "

" මොනාද මේ කියන්නෙ....

මම හැමදාම හැමතිස්සෙම ඔයාලා ගැනයි හිතන්නෙ...

ඔයා රෑට පොත් කියවලා ඩාක් සර්කල්ස් එහෙම ආවොත්....

ඔය ලස්සන මූණ කැත වුනොත්...

මට නම් ඒ වගේ දෙයක් ගැන හිතෙද්දිත් බය හිතෙනවා...

ඒක නපුරු හීනයක් වගේ.... "

" ඔයා වෙනස් වෙන්නෙ නෑ අම්මේ.... කවදාවත් නෑ....  "

අම්මගෙ අතේ තිබුණු පොත උදුරගත්ත මම එය මේසය මතට විසි කරලා නිදාගන්න ඇදට ගියෙ අම්මත් එක්ක තර්ක කරලා තේරුමක් නැති නිසා. එයත් එක්ක කතා කරන වචන පවා අපරාදෙ කියලයි මට හිතුනෙ...

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

" අහන්න අහන්න.... හැමෝම අහන්න.... "

කාර්යාලයෙ පහළ මහලයෙ ඉදන් දුවගෙන ආවේ සයුරි. පහළින් මොකක්ම හරි ඕපදූපයක් දැනගෙන ඇවිත් ඒක අපිට කියන්නයි ඇය ඔය දගලන්නෙ.

" මොකද බන්...

හොල්මනක්වත් දැක්ක ද..... ? "

දේවින්ද ඇහුවෙ සයුරි වේගයෙන් හුස්ම ගද්දි.

" නෑ බන්.... මම කුමාරයෙක් දැක්කා...

අම්මෝ ඒ ලුක් එක....

මාව පිස්සෙක් කලා දෙයියනේ..."

සයුරි පපුවටත් අත තියාගෙන එහෙම කියද්දි සිද්ද වෙලා තියෙන දේ අපි තේරුම්ගත්තා. සයුරිගෙ ඇස් ඉතිං කොහොමත් හොයන්නෙ කඩවසම් රූප. නිසැකවම අලුතින් කාර්යාලයට පැමිණි කොල්ලෙකු වෙන්න ඇතැයි මා සිතුවෙ මෙ දිනවල රැකියා පුරප්පාඩු කිහිපයක්ම අප ආයතනය තුළ ඇති වී තිබුණු නිසා.

" එයා මේ පැත්තට ආවේ...

බොස්ගෙ යාලුවෙක් ද දන්නෙත් නෑ....

තව ටිකකින් උඩට එයි...

මට නම් පිස්සු වගේ... "

සයුරිට එහෙම කියලා හුස්මක් ගන්නවත් නිදහසක් ලැබුනෙ නෑ විදුලි සෝපානයෙ දොර විවෘත වුණා. අපි හැමෝගෙම අවදානය ඒ වෙත යොමු වුනෙ සයුරිගෙ කුමාරයා දැකගැනීමේ ආසාවෙන්.

දොර විවෘත වුන සෝපානයෙන් පිටතට අඩි තිබ්බ ඔහුව දුටු පමණින්ම මගේ හදගැස්ම නතර වුණා.

" වීපි සර්...!!! "

මා අඩියක් පිටුපසට තල්ලු වුනෙ ඉබේටම. දෙපා පන නැති වෙද්දි පිටුපසින් පිටුපසට තල්ලු වී බිත්තියට හෙත්තු වුන මම නොවැටි බේරුනෙ උපරිම වීරයෙන්.

................................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

✒️ ශාන්‍යා ප්‍රනාන්දු ✒️

Share This Chapter