Back
/ 43
Chapter 9

Chapter 09

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃 නවවන කොටස 🌙

................................................................

දොර විවෘත වුන සෝපානයෙන් පිටතට අඩි තිබ්බ ඔහුව දුටු පමණින්ම මගේ හදගැස්ම නතර වුණා.

" වීපි සර්...!!! "

මා අඩියක් පිටුපසට තල්ලු වුනෙ ඉබේටම. දෙපා පන නැති වෙද්දි පිටුපසින් පිටුපසට තල්ලු වී බිත්තියට හෙත්තු වුන මම නොවැටි බේරුනෙ උපරිම වීරයෙන්.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

දකුණතින් කොන්ඩය සකසමින් වීපි සර් ඉස්සරහට අඩි තිබ්බෙ කිසිවෙකුත් ගනනකට නොගෙන. ඇත්තෙන්ම ඔහු මාව නොදැක්ක ගානින් මාව පසු කර ඉදිරියට ඇදුනා.

සයුරි කියූ කුමාරයව දුටු මගේ කාර්යාල මිතුරන් සියල්ලන්ගෙම ඇස් තිබුනෙ නළල උඩ. වීපි සර්ට කැබින් එකට ඇතුලු වෙන්න දොර විවර කර දුන් ඔහුගෙ ආරක්ෂකයන් කාර්යාල කාමරයෙන් පිටත රැදි සිටින්නට වුණේ අපේ ඇස් තවමත් ආගත් සර්ගෙ කැබින් එක පැත්තට යොමු වෙලා තියෙද්දි.

ආගත් සර්ගෙ කාර්යාල කාමරයෙ වීදුරු අතරින් බොදව පේන රූපයන්ට අපි කාගෙත් අවදානය යොමු වුණා. කාර්යාල කාමරය තුළට පැමිණි වීපි සර්ව පිළිගන්න ආගත් සර් අතට අත දුන්නෙ සුපුරුදු ආඩම්බර හිනාවෙන්මයි.

ඊළග මොහොතෙ දෙදෙනාම ඔවුන්ගෙ අසුන් වලට බර වෙලා සාකච්ඡාව ආරම්භ කලේ ව්‍යාපාරික හමුවක ස්වරූපයෙන්.

මගේ කාර්යාල මිතුරන් තවමත් ආගත් සර්ගෙ කාර්යාල කාමරයට එබිකම් කරද්දි මම මගේ අසුනට වැටුනෙ දෝතින්ම හිස බදාගෙන.

හදිස්සියේම වගේ මට මතක් වුනෙ සයුරිගෙ වචන.

" මම කුමාරයෙක් දැක්කා...

අම්මෝ ඒ ලුක් එක.... "

කුමාරයෙක්!!

එතකොට සයුරිගෙ කුමාරයා වීපි සර් ද.. ඒත් කවදාවත් වීපි සර්ව කඩවසම් කුමාරයෙක් විදියට මම දැකල තිබුනෙ නෑ. ඉතිං මට වැරදුනාදෝයි හිතට දැනුන කුතුහලයත් එක්ක මම ටිකක් ඉස්සිලා ආගත් සර්ගෙ කාර්යාල කාමරය දෙස බැලුවෙ වීපි සර්ව දැකගැනීමෙ අරමුණෙන්.

ඒ කැරලි අකීකරු කොන්ඩෙන්, සරාගි තොල් වලින් විතරක් නෙමෙ ඒ දිලිසෙන ලොකු ඇස් වලින් වත් මට කඩවසම් කුමාරයෙක් අදටත් පේන්නෙ නෑ. වීපි සර්ව මුලින්ම හමු වුන දවසෙ මට ඇති වුන ඒ පිළිකුල් හැගීම ඒ විදියටම තවමත් දැනෙනවා මිසක. මම දෑත් මිටි මොලවාගත්තෙ ඒ පිළිකුල නහරයක් නහරයක් ගානෙම උඩු දුවද්දි.

සයුරි දැකපු ඒ කඩවසම් කුමාරයට හැංගිලා ඉන්න නපුරු රාක්ෂයා ගැන දන්නෙ මම විතරයි. සුදු මූණකින් අහිංසක හිනාවකින් ලස්සන ඇස් වලින් කඩවසම් රූපයකින් අපිට පුලුවන් ද මනුස්සයෙක්ව මනින්න.

කෙනෙක්ගෙ ඇත්ත ස්වරූපය තේරුම්ගන්නකම් අපි හැමෝම බාහිර පෙනුමට රැවටෙනව. ඒකයි ඇත්ත.

ඔහු ගැන මම දන්න ඇත්ත මගේ කාර්යාල මිතුරනුත් දැනගෙන වුන්නා නම් වීපි සර්ව අද කඩවසම් කුමාරයෙක් ලෙස ඔවුන් දකී ද කියලා මට සැකයි..

ගැඹුරු කල්පනාවෙන් මා මිදුනෙ මගේ කාර්යාලීය දුරකථනය නාද වන විට. ආගත් සර්ගෙ කාර්යාල කාමරයෙන් ලැබෙන ඇමතුම ලබා ගන්න පවා මම බිය වුණා. නමුත් දුරකථනය දිගින් දිගටම නාද වන විට එයට පිළිතුරු නොදි ඉන්න සාදාරන හේතුවක් මට තිබුනෙ නෑ.

" සිනුදි මට අර ෆයිල් එක අරන් එන්න.... "

ආගත් සර් එපමණක් කියලා ඇමතුම විසන්ධි කලත් මම උන්නෙ හුස්ම ගන්නත් අමතක වුන ගානට. මම මගේ ජීවිතෙ දකින්න අකමැතිම කෙනා ලගට මට යන්න වෙනව. ආගත් සර් උදේ සම්පූර්ණ කරන්න කියලා දුන්න ලිපිගොනුව මම පපුවට තුරුලු කරගත්තෙ හුස්මක් අරගෙන. වීපි සර්ට මගේ හිතේ තියෙන බය හංගගෙන ඔහුව මීට කලින් නොදන්න ගානට ආගත් සර් ලගදි මට හැසිරෙන්න වෙනව. ඉතිං මම ලොකු හුස්මක් ගත්තෙ හිතට ශක්තියක් ගන්නත් එක්ක.

ආගත් සර්ගෙ කාර්යාල කාමරය ඉදිරියෙ සිටගෙන සිටි ආරක්ෂකයින් දෙදෙනාව පසු කරමින් මම ඉදිරියට අඩි තිබ්බෙ නොගිහින් බැරිකමට. මම කාර්යාල කාමරයෙ දොර අභියස නතර වුනෙ ආගත් සර්ගෙන් අවසර ලැබෙන තුරු. ඔහු මට එන්න කියලා අතින් සංඥා කරනවත් එක්කම දොරට පිටුපා හිදගෙන සිටි වීපි සර් පිටුපස හැරි බැලුවෙ කට කොනකට මවාගත්ත හිනාවකින්. ඒ බැල්ම මගේ ඇස් වල ගැටෙන්න කලින්ම මම බිම බලාගත්තා. අමාරුවෙන් හිර කරගෙන වුන්න ඉකියක් එළියට පනින්න දැගලුවත් මම මටම තරවටු කරගත්තා.

බිම බලාගෙන ඉස්සරහට අඩි තිබ්බ මම ආගත් සර්ගෙ මේසය මතින් ලිපිගොනුව තැබුවෙ හිත ගල් කරගෙන.

ලිපිගොනුව පෙරලමින්ම ආගත් සර් හඬ අවදි කරද්දිත් වීපි සර්ගෙ ඇස් තිබුනෙ මගේ ලග. මාව අපහසුතාවයට පත් කරන ඒ හිනාව කාටත් හොරෙන් වීපි සර්ගෙ මුහුණ මත ඇදිලා තිබුණා.

" අඩන්න එපා..... අඩන්න එපා සිනුදි අඩන්න එපා.... "

මම මටම මුමුණගත්තෙ දෑත් මිටි මොලවගෙන.

" මිස්ටර් වීපි මොනවද බොන්නෙ.... "

ආගත් සර් ඇහුවෙ ඔහුට අවශ්‍ය පිටුව ලිපිගොනුවෙන් පෙරලගෙන අවසානයෙ.

" එයා දන්නව.... "

මගේ මුලු ගතම සීතල වෙලා ගියෙ දුරදිග නොහිතා වීපි සර් කියපු ඒ කතාවට. මම ගැස්සිලා ඔහු දිහා බලනවත් එක්කම ආගත් සර් අපි දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බලනව මම බලාගෙන.

" මොකක්ද....? "

ආගත් සර් සැකයෙන් කතා කරද්දි මෙතරම් වෙලා මගේ උවන මත නතර වෙලා තිබුණු බැල්ම වීපි සර් ලෙන්ගතු හිනාවක් එක්කම ආගත් සර් වෙත යොමු කලා. අතින් කොන්ඩය සකසමින් පුටුවට හේත්තු වන අතරෙ ඔහු පිළිතුරු දුන්නෙ ආගත් සර් ඇසු ප්‍රශ්නෙට.

" මිස්ටර් ආගත් මේ ඔෆිස් එකට අලුත් වුනාට මම අලුත් නෑ නේ.....

මිස්ටර් අතපත්තු වුන්න කාලෙත් මේ ඔෆිස් එකට මම නිතරම ඇවිත් තියෙනව....

ඉතිං මෙයාලා දන්නව මම මොනවද බොන්නෙ.. මොනවද බොන්නෙ නැත්තෙ කියලා....

එහෙම නේද....? "

වීපි සර් අවසන් ප්‍රශ්නය යොමු කලෙ මට. මම පිළිතුරු නොදිම බිම බලාගත්තා.

මම මෙහි රැකියාවට පැමිණි පසුව නම් වීපි සර් එක් දිනකවත් මෙහෙට ඇවිත් තිබුනෙ නෑ. නමුත් අපේ ආයතනය වීපි ගෘප් එකත් එක්ක ව්‍යාපෘති කිහිපයක්ම කල බව මා දැනගෙන වුන්නා. වීපි සර්ගෙත් අතපත්තු සර්ගෙත් තිබුණු මිත්‍රත්වය නිසාම වෙන්න ඇති ඔහු මට මේ ආයතනයට සම්බන්ධ වෙන්න අවසර දුන්නෙ.

කොහොම වුණත් වීපි සර්ගෙ පිළිතුර ආගත් සර්ගෙ මුහුණෙ ඇදිලා තිබුණු සැකය මකලා දාන්න සමත් වුණා.

ආගත් සර්ගෙනුත් ඔහුගෙනුත් අවසර රැගෙන මා පිටතට ආවේ ඔහුට ආගන්තුක සත්කාර කලයුතු දේ රැගෙන යන්න.

" බ්ලැක් කොෆී දෙකක් ඕනෙ සීතා ආන්ටි....

එකකට සීනි හැදි පහක් දාන්න....

අනිත් එක නෝමල්.... "

" සීනි හැදි පහක් ?? "

සීතා ආන්ටි ඇහුවෙ පුදුමයෙන්.

" ඔව්.. පහක්..."

හිනාවකින් කාර්යාලයෙ සේවිකාවකට කල යුතු දේ ගැන උපදෙස් දුන්න මම ආපනශාලාවෙ පුටුවකට බර වුණා. වීපි සර්ගෙ කෝපි එක තරම්ම ඔහුත් පැණි රස වුනා නම් මට ඔහුව තිත්ත කසායක් සේ නොදැනෙන්න තිබුනා නොවේද.

මම කල්පනා කලෙ වෙන්න යන්නෙ මොකක්ද කියලා. ජීවිතෙ නිදහසෙ ඉන්න තියෙන මෙ හෝරා කිහිපයත් වීපි සර්ගෙ මූණ දිහා බලන් ඉන්න සිද්ද වුනොත්.. මගේ හිත බය වුනෙ ඒ ගැන.

" මිස්...

ඔයා ඉල්ලපු කෝපි දෙක.... "

" කෝකද වැඩි සීනි එක.... "

" වම් පැත්තෙ තියෙන්නෙ ඒ කෝපි එක මිස්.... "

" හරි මට මතකයි...

තැන්ක් යූ සීතා ආන්ටි.... "

සේවිකාවගෙන් ට්‍රේ එක ඉල්ලගත්ත මම ආයෙත් ආගත් සර්ගෙ කාර්යාල කාමරයට යන්න හිත හදාගත්තා.

අවසර අරගෙන කාර්යාල කාමරයට ඇතුලු වුන මා වැඩි සීනි කෝපි කෝප්පය වීපි සර්ට පිළිගැන්නුවේ මූණ හංගගෙන. බැරි වෙලාවත් ඒ ඇස් දිහා කෙලින් නොබලා ඉන්න මම වගබලාගත්තා. ඊළගට අනිත් කෝපි කෝප්පය ආගත් සර්ට පිළිගන්වන්න හදනවත් එක්කම වීපි සර් මගේ කකුල පෑගුවෙත් එයින් බිය වුන මගේ අතින් කෝපි කෝප්පය ගිලිහුනෙත් එකම මොහොතක. ඉක්මන් වුන මා පිළිකුලෙන් ඔහුගෙන් පිටතට තල්ලු වෙනවත් එක්කම ආගත් සර් නැගිටගත්තෙ කලබලයෙන්. මගේ ඇස් වලට කදුළු පිරෙන්නත් මාව වෙව්වලන්න පටන්ගන්නත් වැඩි වෙලාවක් ගත වුනෙ නෑ.

" ඔහ්... මිස්ටර් ආගත්.... ආර් යු ඕකේ... "

වීපි සර්ගෙ වචන වලටයි මම පියවි සිහියට ආවේ. ඒ වෙද්දිත් ආගත් සර්ව උණු කෝපි කෝප්පයෙන් නෑවිලා. ශර්ට් එක පුරාම කෝපි පැල්ලම්. ඒ මොහොතෙදි නම් තවත් ඉවසන්න පුලුවන් වුනෙ නෑ. මම අඬන්න පටන්ගත්තෙ දෝතින්ම මුහුණ වහගෙන.

" ඉට්ස් ඔකේ සිනුදි.... ඉට්ස් ඕකේ.... "

ආගත් සර් මාව සනසන්න එහෙම කිවුවත් මගේ ඇඩිල්ල නම් නතර වුනෙ නෑ.

" ස.... සොරි සර්....

අනේ මං හිතල කලෙ නෑ.... "

" ඉට්ස් ඔකේ සිනුදි....

ඔයා එලියට යන්න... "

ආගත් සර් කතා කලෙ ශර්ටයෙ ගෑවුන කෝපි පැල්ලම් පිහිදමින්. ඒ හැමදේම එහෙම සිද්ද වෙද්දි වීපි සර්ගෙ මූණෙ ඇදිලා තිබුනෙ සුපුරුදු කඩාකප්පල්කාරී ඒ හිනාව. ඔහුට ඕන වෙන්න ඇත්තෙත් ඒ දේමයි. අවස්ථාවක් ලැබුන හැම මොහොතකම මාව අඩවලා සතුටු වෙන ඔහුට මේකත් එක අවස්ථාවක් විතරයි.

ආගත් සර්ගෙ ශර්ටය කෝපි කෝප්පයෙන් නෑවිලා තියෙන හැටි දැක්කාම හිත මොකක්දෝ දුකකින් පිරුනෙ ඉබේටම. ආගත් සර්ගෙ ඒ ශර්ට් එකට මගේ හිතෙ කැමැත්තක්වත් තිබුනද.. එහෙම නැත්නම් මම ඇයි ඒ ගැන මේ තරම්ම දුක් වෙන්නෙ.. මට දැනෙන හැගීම මොකක්ද කියලා මට තේරුනෙත් නෑ.

ඉතිං මම උත්සහ කලෙ ආගත් සර්ට උදව් වෙන්න.

" අනේ මට සමාවෙන්න සර්....

මං හිතලා... "

මට කියලා ඉවර කරන්න ලැබුනෙත් නෑ ආගත් සර් කෑගැහුවේ තරහින්.

" සිනුදි!.... යනව එළියට.... "

ආගත් සර්ගෙ හඩින් මම ඔහු වෙත තිබ්බ අඩිය පිටුපසට ගත්තා. නොපෙන්නුවට ආගත් සර් ඉන්නෙ මං ගැන තරහින්. ඉතිං මේ ඔහුට කරුණු පැහැදිලි කිරීමට හොදම වෙලාව නොවන බව මා දන්නව. මම අසරණව යන්න හැරුනෙ ඒ නිසයි. ඒත් මම නතර වුනා. වීපි සර්ගෙ බැල්මෙ තිබුණු ඒ අපහසය නිසාම මම නතර වුණා. මෙච්චර වෙලා ඒ ඇස් දිහා කෙලින් බලන්න බය වෙලා වුන්න මම ඒ ඇස් දිහා බැලුවෙ අහිංසකියක මෙන් නම් නොවේ.

ඔහු නිසා නොවේද මේ හැමදෙයක්ම සිද්ද වුනේ. ඉතිං මට ඔහු ගැන ඇති වුනෙ තරහක්. හිතට දැනුන නොසන්සුන් බව නිසාම ජීවිතෙ පළවෙනි වතාවට මම වීපි සර්ට රැව්වා. මගේ ඒ රැවිල්ලට පිළිතුරු ලෙස මට කම්මුල් පහරක් දීගන්න බැරුව වීපි සර් අත් මිටිමොලවගත්තෙ පුදුම තරම් ආවේගයෙන්. ඒත් ඒ මොහොතෙ සියල්ල පරදා මට ඔහු ගැන තිබුණු බිය ඉස්මතු වුනෙ නෑ. වීපි සර් ගැන තිබුණු බයට ඉස්මතු වෙන්න බැරි තරමටම වෙන මොකක්දෝ හැගීමකින් හිත පිරිලා තිබුණා.

ඒ නිසාම ආයෙත් පාරක් හැරිලා ආගත් සර් දිහා බලපු මම වීපි සර්ට රවාගෙනම කාර්යාල කාමරයෙන් පිටතට ආවේ වේගයෙන්.

ඔවුන්ගෙන් වෙන් වුනාට පස්සෙයි මම කලෙ මොකක්ද කියලා මට හරියටම තේරුනෙ.

" දෙයියනෙ මම වීපි සර්ට..... මොකක්ද ඒ කලේ......

ම.... මම....මොකක්ද ඒ කලේ....

එයා දැන් අනිවාර්යෙන්ම මාව මරලා දායි.... "

මට දැනුනෙ හුස්ම හිරවෙනව වගේ.

................................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට මගේ අකවුන්ට් එකේ ඇති සස්වාමිකයි ඈ ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු ✒️

Share This Chapter