Back
/ 31
Chapter 2

1.

ඩැන්ඩිලයන් 💮 (Dandelion)

Shenal POV,

" චූටි පුතා~  පහලට එන්න"

කියව කියව හිටපු පොත පැත්තක දාල මං පහලට ආවේ අම්මගෙ කෑගැහිල්ලට,

පහල සෝෆා එකේ හිටපු අමුත්තො දෙන්නව මං දැක්කෙ එතකොට, අම්මගෙ වයසෙ විතර ගැණු කෙනෙක් මට කට පුරා හිනා වෙද්දී  ඒ ලගින් ඉදන් හිටි මගේ වයස වගේ පිරිමි ළමයෙක්, මාව දැක්ක හැටියෙ බිම බලා ගත්තා.

" මදාරාගෙ කපාපු පලුව වගේ නොවැ " අර ගෑණු කෙනා කියද්දි මං යන්තන් හිනා වෙලා අම්මා ගාවින් හිට ගත්තා.

" මූන විතරයි " අම්මා එහෙම් කීවෙ මගෙ කොන්ඩේ අව්ස්සන ගමන්, මං අම්මට රවලා එහාට වුනේ අර ගෑණු කෙනා මං දිහා බලලා හිනා වෙද්ද.

" පුතා මේ ඉන්නෙ සමනලී නැන්දා අම්මගෙ පොඩි කාලෙ හොදම යාලුවා, අර එයාගෙ පුතා සිහින අද ඉඳන් අපේ දිහා නවතිනවා " අම්මා එහෙම කියද්දි මට අම්මා දිහා බැලුනා මොකද එයා කලින් කවුරුත් අපේ ගෙදර නවතින්න එන කතාවක් මට කියලා තිබුනෙ නෑ,

" ඔයා පහුගිය ටිකෙ ගෙදර හිටියෙ නෑනෙ පුතා, අයියා දාන්න කැම්පස් ගිය වෙලාවක මට අහම්බෙන් තමයි සමනලී හම්බුනේ, සිහින පුතා කොළඹ කැම්පස් සිලෙක්ට් වෙලා එයාට නවතින්න තැනක් හොයන්න ඇවිත් තියෙන්නෙ, මං ඉතින් අප්පච්චිගේනුත් අහලා අපේ ගෙදර නවතින්න එන්න කීවා. අයියා නම් දන්නවා විස්තරේ, සිහිනත් අයියගෙ ෆැකල්ටි එකටම තමා සිලෙක්ට් වෙලා තියෙන්නෙ. "

අම්මා හේතු කියද්දි මං අහන් හිටියා, සිහින දිහා මං ආයෙත් පාරක් බැලුවා තාම ඉස්කෝලේ යන වයසෙ ළමයෙක් වගේ පෙන්නේ, බැලුවම කියන්න බෑ මට වඩා වැඩිමල් කියලා.

" වෙලාවෙ හැටියට ලොකු උදව්වක් මදාර කලේ මයෙ හිත දුන්නෙම නෑ සුදු මහත්තයා තනි පංගලමෙ තියන්ට, ඉපදුන දා ඉඳන් මයෙ අස්සෙ හැදුනා මිසක් ගමේ කොල්ලො කුරුට්ටො එක්කවත් ඇයි හොදැයිකම් පාන්ට ගිහින් නෑ නොවැ ගේ අස්සටම වෙලා.පොතේ ඇලිලා හිටිය එක තමා කරේ ඔන්න"  තව මොනවද කියන්න ගියත් සිහින ලාවට කොනිත්තපු නිසාද මංදා සමනලී නැන්දා කට වහ ගත්තෙ සිහිනගෙ අතට තට්ටුවකුත් දාන ගමන් , අන්න ඒ පාර අම්මට රවනව තොලත් නොපිට පෙරලන් පෙනුම අහිංසක වුණාට අහිංසකම නැද්ද මංදා.

" කොල්ලො වුනාම ඉතින් ටිකක් සමාජෙ නම් ආශ්‍රේ කරන්න ඕනි තමයි එහෙමයි කියලා නොගැලපෙන මිනිසුන් ආශ්‍රේ කරන්න ඕනි නෑ ඔය ගම ගැන මං නොදන්නවැයි සමනලී , ඔය ගති දැන් කැම්පස් යන්න ගියාම ඇරිලා යාවි, "

එයාගෙ පැත්තට කතා කරපු නිසාද කොහෙද සිහින අම්මා එක්ක කට පුරා හිනා වුනා , හිනා වෙනකොට ඒ කම්මුල් වල ගැහෙනවා. මමයි අම්මයි දෙන්නම ඒ හිනාව දිහා බලන් ඉන්න ඉන්නවා දැකලද කොහෙද සිහින ආයෙත් ලැජ්ජවෙන් බිම බලා ගත්තා.

" අහිංසක වුණාට කමක් නෑ පුතේ ඒත් මේ කොළඹ මිනිසුන් හරි වෙනස් ඒ නිසා පරිස්සම් වෙන්න ඕනි අවුරුදු විස්ස වුණාට තාම අපිට ඔයාලා අත දරුවෙ ගානයි, මං කොහොමත් අයියට කියලා තියෙන්නෙ කැම්පස් එක ඇතුලෙදි ඔයාව බලන්න කියලා අද අයියා ආවම විස්තර අහ ගන්නකෝ එයාගෙන් "  සිහිනගෙ ඔලුව අත ගාන ගමන් අම්මා කීවෙ හරි ආදරෙන් අම්මා කොහොමත් එහෙමයි එයාට හැමොගෙග දරුවො එක වගේ , ටීච කෙනෙක් නිසාද දන්නෙ නෑ.

" මේ චූටි මහත්තයා එතකොට තාම ඉස්කෝලේ යනවද ? " සමනලී නැන්දා ඒක කෙලින්ම ඇහුවේ මගෙන්,

" ඔව් නැන්දා ලබන අවුරුද්දේ ඒලෙවල් "

" කරදඩු උස් වුණාට තාම පොඩී නොවැ " මං හිනා වුනා.

" අප්පච්චි වගේ දොස්තර කෙනෙක් වෙන්නනෙ ඉගන ගන්නේ "

" අනෙ කොච්චර දෙයක්ද "

" අම්මා මං උඩට යන්නද? " තවත් මෙතන ඉඳලා තේරුමක් නෑ වගේ නිසා මං ඇහුවා,

" පුතා එහෙනම් ඒ ගමං සිහින අයියවත් කාමරේට එක්ක යන්නකො, උඩ මැද කාමරේ මං අස් කරලා තියෙන්නෙ.

" සිහින පුතා මල්ලි එක්ක යන්න ගිහින් බෑග් එහෙම තියලා එන්න අම්මා අපහු ගමේ යන්නත් එපැයි කෝ ඉතින් ඉදල යන්න කීවට අහන් නෑනෙ"

" ඉන්න නම් ආසයි මදාරා එත් කඩේ වහල බෑ නොවැ ගමේම ඈයො බඩුවක් ගන්නෙ ඕකෙන්නෙ "

අම්මලා අයේ එයාලගෙ කතාව පටන් ගන්න අතරේ මං සිහින ගාවට ගියේ දාගෙන අවිත් තිබුන බැක් පැක් එකයි  ට්‍රැවලින් බෑක් එකකුයි තව පොත් වගයක් තිබිබ බෑග් එකකුයි එයා තනියම උස්සගන්න හදද්දී, එයගෙ බැක් පැක් එකයි ට්‍රැවලින් බෑග් එකයි මොකුත් නොකියම අරගත්ත මම අනික් බැග් එක විතරක් එයාට ඉතුරු කරලා උඩට එන්න ආවා.

මගෙ පස්සෙ සද්ද නැතුවම ආපු එයාට , එයාගෙ කමරේ පෙන්නලා බැග් එකත් තියල මං එන්න හැරුනා.

" මල්ලි "  මං නැවතුණා, ඒ තමයි සිහින මට මුලින්ම  කියපු වචනෙ , ඒත් මොකද්ද හේතුවකට එයා මට මල්ලි කියන එකට මගෙ හිතේ අකමැත්තක් දැනුනා.

" ම්ම්? "

" තැන්ක් යූ " අයෙත් අර කම්මුල් වල ගැහෙන හිනාව, කොල්ලෙක්ට පුළුවන්ද එච්චර ලස්සනට හිනා වෙන්න?

යන්තම් ඔලුව විතරක් වනපු මම ආපහු මගෙ කාමරේට ගියා. හිත ටිකක් නොසන්සුන් , මෙච්චර කාලෙකට නෑ කෙනෙක් ඇවිත් ඉඳලා ගියා මිසක් පිට කවුරුත් අපේ ගෙදර නැවතිලා ඉඳලා නෑ ඒ නිසාද මේ?

මං අයේ පහලට ගියේ සමනලී නැන්දා යන්න හදනවා කියලා අම්මා කතා කරපු නිසා,

මං පහලට යද්දී සිහින එයගේ අම්මට වදිනවා, එයා නැගිටින කොටම සමනලී නැන්දා එයාව බදා ගත්තා

" පරිස්සමට හිටපං රත්තරනේ "

" අම්මත් පරිස්සමට ඉන්න, සිරිය නැන්දලා එක්ක රණ්ඩුවට යන්න එපා මාත් ගෙදර නෑනෙ "

" එව්වා මං බලා ගන්නම් උඹ මෙහාට වෙලා හොදට ඉගනගෙන ලොකු මහත්තයෙක් වෙයං"

" චූටි මහත්තයා මං ගිහින් එන්නම්, අපේ සුදු මහත්තයා ගැන ටිකක් බලන්න පුතේ මේ සිදාදිය ගැන තේරුමක් නෑ නොවැ පුතාලට වගේ " සිහිනගෙන් ඇත්වෙලා සමනලී නැන්දා ඒක කීවේ මගෙ ඔලුවත් අත ගාන ගමන්, මං ඔලුව වනලා හිනා වුනා.

අම්මා කොටුවට යන්න කියලා කතා කරලා දුන්න පික් මී එකේ නැගලා සමනලී නැන්දා යන්න ගියා ,ඇස් දෙකේ කදුලු පුරවන් සිහින වීල් එක නොපෙනී යනකල්ම ගේට් එකේ එල්ලිලා බලන් හිටියා, එයාට දුක ඇති.

" සමනලී හිටියෙ ලොකූට කතා කරල යන්නම් කියලා ඒත් ලොකූ එන්න රෑ වෙනවා කීවනෙ "

" ඇයි ලොකූ අද කැම්පස් නෙවේද ගියේ? "

" කැම්පස් නම් තමා ඔන්න ඔය මොකද්ද එහෙක වැඩ වගයක් තියනවා කීවෙ දන්නවනෙ ඉතින් එයාගෙ වැඩ සිහින පුතා ගැන බලන්න කීවට එයාට ඒක ඇතුලේ තියන වැඩ නිසා මේ දරුවා මග ඇරෙයිද දන්නෑ. "

ලොකූ කියන්නෙ මගෙ අයියා, එයා තමයිලු එයලගෙ බැජ් එකේ රෙපා, ඒ මදිවට තව මොනවද සංගම් වගේකත් ඉන්නවලු ඉතින් කාටත් නැති වැඩ තමා එයාට තියෙන්නෙ. අයියා කොහොමත් ඉස්සර ඉදන්ම ගොඩක් සෝශල් කෙනෙක් මං වගේ නෙවේ , ඒ ගති නිසාම කැම්පස් එකෙත් එයා ගොඩක් ප්‍රසිද්ධයිලු , ඌ තමා කියන්නෙ කවුද දන්නේ ඉතින්

" අර දරුවා තාම ගේට් එක ගාවද පුතා? අයියාව එක්කන් ගෙට එන්නකො ,පව් සමනලී අස්සේමනෙ හැදිලා තියෙන්නෙ දුක ඇති. " එහෙම කියන් අම්මා ගෙට ගියේ මගේ පිටටත් තට්ටුවක් දාල

සාක්කුවට අත් දෙකත් දාන් මාත් ටිකක් එයා දිහා බලන් හිටියා, සමනලී නැන්දා ගිහිනුත් දැන් ගොඩක් වෙලා වෙනවා එයා තාම පාර දිහා බලාගෙන, අඩනවද කොහෙද සැරින් සැරේ ඇස් පිහ දානවා පේනවා , ටිකක් එයාට එහෙන්ම ඉන්න ඇරලා මං ලගට ගියා

" ඇතුලට යමු "

එයාගෙ පිට පස්සේ හිටන් මං එයාට කතා කරාම එයා ගැස්සුනා , ඒ වෙලේ කවුරුත්  එතනට එයි කියලා හිතන්න නැතුව ඇති  , ඒ මං කියලා  දැක්කම එයා හිනා වුනා ඇස් වල තාම කදුලු මූනත් මැලවිලා. එයා මෙහෙම ලාවට හිනාවෙනකොට අර ඩිම්පල්ස් පෙන්නේ නෑ ,

මං යන්න හැරෙද්දී මොකුත් නොකියම එයා පස්සෙන් ආවා. සාලෙදි අම්මා එයාව අල්ල ගත්ත නිසා මං ආපහු කාමරේට ආවා.

ආයෙත් මං ආයෙ පහලට ගියේ අම්මා රෑට කන්න කතා කරපු වෙලේ,

" බලන්නකො චූටි පුතා මේ දරුවා මං එපා කියද්දි උයන්න උදව් කරානෙ ඔයාලට තමා පොල් ටිකක් වත් ගාලා දෙන්න බැරි "

" මං කැමැත්තෙන් කලේ නැන්දා , මං ගෙදරත් අම්මට උදව් කරනවනේ "  කෑම මේසෙට කෑම තියන්න අම්මාට උදව් කරන ගමන් සිහින උත්තර දුන්නා, හවස තිබුන මූනෙ මැලවුන ගතිය නම් නෑ දැන් මෙලහකට අපේ අම්මා හොද කයියකට අල්ල ගන්න ඇති උයන ගමන් ,

" ආ හිචිචි ඩොකා කන්න වගේ"  කොහෙද ඉඳන් මතු වෙච්චි ලොකූ මගේ ඔලුවටත් එකක් ගහලා කතා කරා, මේකා දැන්ද කොහෙද ඇවිත් තියෙන්නෙ

" පලකො හඩ්ඩා හැටි තමුසෙගෙ " උදේ සුදනා වහේ ගියාට හැමදාම මේක ගෙදර එන්නේ මෙහෙම හඩු පෙරාගෙන, කැම්පස් කොසේ වෙතත් කුඹුරු කොටන්න ගිහින් වගේ එන්නේ

" අනේ පලයං උඹ ඉතින් ගොඩ සුද්දනෙ තමුසෙට තේරෙනවද මේ අයියා දාඩිය දාගෙන  නිදහස් අධ්‍යාපනය රැක ගන්න කන කට්ට අපි වගේ උන් හින්දායි උඹලා තාම ඉගන ගන්නේ"  අනේ මුගෙ බයිලා , මොකුත් නොකියා මං ඌට මැද අගිල්ල පෙන්නුවා,

ඌත් ඒකම කරලා කුස්සිය පැත්තට යන්න හැරෙනකොටා කිචන් එකේ ඉඳලා මොනද දීසියක් උස්සන් ආපු සිහිනගේ ඇගේ වැදුණා , සිහිනට බැලන්ස් එක නැතිවෙලා වැටෙන්න ගියේ මට නිකම්ම පුටුවෙන් නැගිට්ටුනා.

එත් එයාට වැටෙන්න නොදී ලොකූ එයාව අල්ල ගත්තා. කොහොමත් එයා හිටියෙ මට ඈතින්  එයාව අල්ලන්න වෙන්නෙ නෑ ලගට ගියත්, මං ආපහු ඉඳ ගත්තා.

" කවුද බොලේ ඇලිස් " බය වෙලා වගේ ලොකූ දිහා බලන් හිටි සිහනගෙන්  ලොකූ අහුවේ තාම එයාව අල්ලගෙන මයි බයවෙන්නෙ නැතුව ඇයි අපේ එකා කොන්ඩ රැවුල් වවන් ජූතක බමුණ වගේ මූනට එබිලා ඉද්දි සිහින ලොකූව එහාට කරලා හිටගත්තා,

" ආපු  ගමන් බය කරාද මේ ළමයව "

" කවුද අම්මා මේ?"

" ඇයි මං ඔයාට කීවෙ පුතා , අර අම්මගේ ගමේ යලුවගේ පුතා ඔයාලගෙ කැම්පස් එකට සිලෙක්ට් වෙලා කියලා මේ ඒ දරුවා"

" ආ මෙයද ඒ , සොරි වෙන්ඩ ඕනි මල්ලි මං දැක්කෙ නෑ "

" ක~ කමක් නෑ අයියේ " මට හිතුන විදියද මංදා එත් සිහින අයියට කතා කරේ වෙනස් විදියකට, අපේ එකා බය කරපු නිසා වෙන්න ඇති

" අලි කුලපුවනෙ ඉතින් , ලොකූ ගිහින් වොශ් එකක් දාන් එන්න කන්න "

කන්න කියලා පහලට ආවට ඉතින් අර යකා එනකල් ඉන්න උනා මං කෑම මෙසේ ඉඳන් ගේම් එකක් ගහන අතරේ සිහිනයි අම්මයි නම් එයගෙ ගමේ විස්තර අහ අහ ලොකු කතාවක අම්මා ගමේ දන්න දන්න අය ගැන විස්තර අහද්දී සිහින ඒ කියන සමහර අය ගැන මුලින්ම ඇහුවෙත් අද වගේ තමයි කතා කරේ සමනලී නැන්දා කීව වගේ ගෙයින් පිට අඩියක් තියල නැද්ද කොහෙද හැබැයි එයා දන්න කෙනෙක් ගැන කියද්දි ඇස් දෙකත් ලොකු කර කර අම්මට හරි හරියට විස්තර කීවා අපේ අම්මත් හිනා වෙවී අහන් ඉන්නවා අම්මටම හරියනවා,

" අම්මෝ බඩගිනි " අම්මලගේ කතාව නැවතුනේ බඩගිනි කියලා බෙරිහන් දීගන පහලට ආපු ලොකූ නිසා, එහෙන්ම ඇවිත් කෑම මෙසෙන් ඉඳගෙන කාටත් කලින් කෑම බෙදා ගන්න ගත්තා අපරදේ මූ එනකල් බඩගින්නෙ හිටියෙ

" මොකද තමුසෙ ඔරවන්නෙ "

" අසාවට "

" ආ ඔන්න පටන් ගත්තා දෙන්නත් එක්ක මේ ළමයත් බය වෙනවා " අම්මත් එක්ක මෙච්චර වෙලා කොච්චිය වගේ කියෙව්ව  සිහිනගෙ කට වැහිලා තිබුනා,

සිහින ඉඳන් හිටියේ මට ඉස්සරහ, ලොකූ එහා මට එහා පැත්තෙ , ආව ගමන් කන්න ගත්තා මේ මෝඩයා තව කෙනෙක් ඉන්නවා කියල වත් ගාණක් නෑ මං හැදුවේ ප්ලෙට් එකක් අරං සිහිනට දෙන්න ඒත් මට කලින් ලොකූ ඉස්සර වුනා,

" එයා මොකට බය වෙන්නද අනික ඔහොම පොඩි පොඩි දේවල වලට බය වෙලා නම් කැම්පස් එකෙ ඉන්න බෑ කොල්ලෝ," ලොකු එයාට බෙදා ගත්ත බත් එක සිහින අතට දෙන ගමන් කීවා

" මට මෙච්චර වැඩීනෙ " ලොකූටත් පිස්සු එකා කොත ගහල වගේනෙ කන්නේ සිහිනගේ ඇඟ දැක්කම කියන්න පුළුවන් එච්චර කන්නෙ නෑ කියලා

" කන්න කන්න  හෙට කැම්පස් ගියාම කන්න වෙයිද ශුවර් නෑනෙ "  වෙන පිගානකට බත් බෙදා ගන්න ගමන් ලොකු කියනකොට සිහින එයා දිහාම බලන් හිටියා , මෙලහකට ඇති යක්කු ටික ලෑස්ති වෙලා රැග් කරන්න, විකාර වැඩ මං  නම් කොහොමත් ගවන්මන්ට් යුනිවසිටි එකකට යන්න අදහසක් නෑ මං ඒලෙවල් ඉවර වෙනකල් ඉන්නේ අප්පච්චි ගාවට යන්න එයා ඉන්නෙ කැනඩා වල එහෙ යුනි එකක ලෙක්චස් කරනවා මටත් එතනට යන්න පුළුවන්.

" අනේ ලොකූ මල්ලි ගැන ටිකක් බලන්න හොදද , සමනලී මග දිගටත් කිය කිය ගියේ ඔයාට කියන්න කියලා"

" ම්ම් කොහොමත් අරුන් ටික ඉන්නෙ අලුත් බැජ් එක එනකල් ,මටත් ඉතින් ඒවට නම් අත දාන්න බෑ සෙකන්ඩ් ඉයර් ඉන්න කලේ අපිත් රැග් කරානෙ අනික ඉතින් ෆස්ට් ඉයර් එකේ ඔය කට්ට කන්නම ඕනි නැත්තම් බැජ් ෆිට් එකක් හදන්න බෑ , ඕවා කරන්නෙ නිකම් ආවට ගියාට නෙවේ අනික.....බ්ලා බ්ලා බ්ලා " මගෙ කන් දෙකත් පිරුනා ඒවා අහලා සිහින නම් අයියා දිහාම බලන් ඉන්නවා බත් කන එකත් අමතක වෙලා

" එයාල කියන එකක් කරන් පාඩුවේ ඉන්න එතකොට ෂේප් " කියවල කියවල ඕක තමා ලොකූ අන්තිමට දීපු උපදෙස මාර උපදෙස් තමයි එක එකා කියන ඒවා කරන්නද කැම්පස් යන්නේ , සිහින නම් ඔලුව වැනුවා හා කියන්න වගේ , ඔය තරමය කීකරු වුනාම මදැයි.

මට හෙට ඉඳන් ආයෙ ඉස්කෝලෙ පටන් ගන්නවා ඊළඟට පුරුදු දින චරියාවම තමයි.  වෙනසකට තියෙන්නෙ අපේ ගෙදර තව කෙනෙක් ඉන්න එක විතරයි , ඒත් ඉතින් එහෙමයි කියලා වෙන්න මහ ලොකු වෙනසක් නෑනෙ. මං හිතුවෙ එහෙම ඒත්,

.............................................................

.

කියවන කවුරුත් ඉන්නවා නම් අදහස් කොටන් යන්න. මේක දෙන්නද?

Share This Chapter